Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

බාධාවක් නැතුව ‘අහන්න දකින්න’ ලැබෙන සමුළු

බාධාවක් නැතුව ‘අහන්න දකින්න’ ලැබෙන සමුළු

2024 ජූලි 1

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අවුරුදු 130කට වඩා වැඩි කාලයක් තිස්සේ සමුළු පවත්වනවා. සමුළු වැඩසටහනකට දේශන 40ක්, සංගීතය, සම්මුඛ සාකච්ඡා සහ වීඩියෝ වගේ දේවල් ඇතුළත්. සමුළු වැඩසටහනෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලැබෙන්නේ සමුළු වැඩසටහන හොඳට ‘අහන්න දකින්න’ ලැබුණොත් විතරයි. (ලූක් 2:20) ලෝකේ කොහේ ජීවත් වුණත් හැමෝටම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සමුළු සංවිධානය කරන්න ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන්නේ කොහොමද?

තැනට ගැළපෙන විදිහට ඕඩියෝ/වීඩියෝ තාක්ෂණය

 බටහිර රටවල තියෙන ගොඩක් ක්‍රීඩාංගණ සහ රංග ශාලාවල ඕඩියෝ/වීඩියෝ පද්ධතියක් තියෙනවා. ඒත් ඒ වගේ තැන්වල සමුළු තියද්දී ඇයි අපි අපේම ඕඩියෝ/වීඩියෝ උපකරණ පාවිච්චි කරන්නේ? ලෝක මූලස්ථානයේ බ්‍රෝඩ්කාස්ටිං අංශයේ සේවය කරන ඩේවිඩ් මෙහෙම කියනවා. “ඒ වගේ තැන්වල තියෙන ඕඩියෝ/වීඩියෝ පද්ධති හදලා තියෙන්නේ පැය 6ක විතර කාලයක් තිස්සේ දෙන දේශන විකාශනය කරන්න පුළුවන් විදිහට නෙමෙයි. උදාහරණයකට ක්‍රීඩාංගණවල තියෙන ඕඩියෝ/වීඩියෝ උපකරණ තියෙන්නේ නිවේදනයක් දෙන්න එහෙම නැත්නම් මියුසික් එකක් ප්ලේ කරන්න වගේ දේවලට විතරයි. ඒවායේ තියෙන වීඩියෝ ස්ක්‍රීන් හදලා තියෙන්නෙත් තරඟයේ ලකුණු, වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරන්න සහ ක්‍රීඩා තරඟ ඉසව් නැවත නැවත ප්ලේ කරන්න. ඒත් අපේ සමුළුවලදී දවස පුරාම වේදිකාවෙන් ඉදිරිපත් කරන දේශන හැමෝටම හොඳට ඇහෙන්න ඕනේ. ඒ වගේම අපේ වීඩියෝ හැමෝටම පැහැදිලිව බලන්න පුළුවන් වෙන්නත් ඕනේ.”

 සමුළු තියෙන තැන් හැම එකක්ම එක වගේ නැති නිසා තැනට ගැළපෙන විදිහට ඕඩියෝ/වීඩියෝ පද්ධති වෙනස් කරන්න වෙනවා. සමුළු තියන්න තැනක් තෝරගත්තාට පස්සේ සමුළුවට එන අය ඉඳගන්නේ කොහෙද කියලා ශාඛා කාර්යාලයේ තියෙන බ්‍රෝඩ්කාස්ටිං අංශයෙන් තීරණය කරනවා. ඒක කරන්නේ සමුළුවට සහභාගි වෙයි කියලා හිතන අයගේ ගාණ සහ ශාලාවේ ප්‍රමාණය සැලකිල්ලට අරන්. ඊටපස්සේ ස්පීකර් සහ වීඩියෝ ස්ක්‍රීන් දාන්න ඕනෙ කොහෙටද කියලා සලකලා බලනවා. වීඩියෝ ස්ක්‍රීන් එකිනෙකට සම්බන්ධ කරන සැලැස්මත් එයාලා හදනවා. හැමෝටම වැඩසටහන පැහැදිලිව අහන්න පුළුවන් විදිහට තියෙන්න නම් අවශ්‍ය කරන උපකරණ මොනවාද කියලා එයාලා ලැයිස්තුවකුත් හදනවා.

ශාඛා කාර්යාලයේ බ්‍රෝඩ්කාස්ටිං අංශයේ (LBD) සහෝදරයන් සැලැස්මේ තියෙන විදිහට වැඩ කරනවා

 සමුළු වැඩසටහන භාෂා ගොඩකින් ඉදිරිපත් කරන්න වෙද්දී ඒක තවත් සංකීර්ණයි. උදාහරණයකට සමුළුවක දේශනයක් පරිවර්තනය කරනවා නම් ඒ දේශනය දෙන සහෝදරයාගේ හඬ සහ වීඩියෝ එක පරිවර්තනය කරන සහෝදරයාට පැහැදිලිව අහන්න දකින්න ලැබෙන්න ඕනේ. ඊටපස්සේ ඒ පරිවර්තනය අදාළ භාෂාව කතා කරන සහෝදරයන්ට පැහැදිලිව අහන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක කරන්න විශේෂ සොෆ්ට්වෙයාර් (special media players) එකක් පාවිච්චි කරනවා. ඒ සොෆ්ට්වෙයාර් එක නිසා සමුළු වැඩසටහන භාෂා අටකින් පරිවර්තනය කළත් හැමෝටම එකම වෙලාවේ ඒ හඬ අහන්න අවස්ථාව ලැබෙනවා. ඩේවිඩ් මෙහෙමත් කිව්වා. “මේ වැඩේ ගොඩක් සංකීර්ණ නිසා ඒකට හවුල් වෙන ස්වේච්ඡා සේවකයන්ව හොඳට පුහුණු කරන්න ඕනේ.”

 ගොඩක් ශාඛා කාර්යාලවල සමුළුවලට පාවිච්චි කරන්න ඕනෙ කරන ඕඩියෝ/වීඩියෝ උපකරණ තියෙනවා. සමුළුවක් තියද්දී ඒ උපකරණ එතනට ගෙනි යන්න සහෝදරයෝ සැලසුම් කරනවා. එක්සත් ජනපදයේ විතරක් හැම අවුරුද්දකම මේ උපකරණ එහෙට මෙහෙට ගෙනි යන්න ඩොලර් a ලක්ෂ 2කට වඩා වැය කරනවා. ඒත් ඒ ගාණ අලුතින් උපකරණ ගන්න සහ ඒවා නඩත්තු කරන්න යන වියදමට වඩා අඩුයි. කැනඩාවේ පවත්වන සමුළුවල ඕඩියෝ/වීඩියෝ අංශයට උදව් කරන ස්ටීව් මෙහෙම කියනවා. “අපේ ඕඩියෝ/වීඩියෝ ටීම් එක මේ උපකරණ බලාගන්න ගොඩක් මහන්සි වෙනවා. එයාලා හැම නට් එකක්ම, බෝල්ට් එකක්ම, වයර් එකක්ම ගණන් කරනවා. එයාලා මේ හැම උපකරණයක්ම හරිම පරෙස්සමට සමුළුවලට අරන් යන්නත් ආපහු ගේන්නත් වගබලා ගන්නවා. ඒ නිසා කිසිම බාධාවක් නැතුව ඊළඟ සමුළුව පවත්වන්න අපිට පුළුවන්.”

උපකරණ මිල දී ගැනීම සහ නඩත්තුව

 ඕඩියෝ/වීඩියෝ උපකරණ කුලියට ගන්න ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ ගන්න උපකරණත් එච්චරම හොඳ තත්වයක නැහැ. ඒ නිසා තමයි අපි අපිට අවශ්‍ය උපකරණ මිල දීලා ගන්නේ. අඩි 16x10 LED වීඩියෝ වෝල් එකක් ඩොලර් 24,000ක් විතර වෙනවා. අඩි 50ක් දිග මයික්වලට හයි කරන කේබල් එකක් ඩොලර් 20ක් විතර වෙනවා. මේ ඕනෙම උපකරණයක් මිල දී ගන්න කලින් බ්‍රෝඩ්කාස්ටිං අංශය, භාණ්ඩ හා සේවා සැපයුම් අංශය එක්ක වියදම් ගණන් බලනවා. (ලූක් 14:28) උදාහරණෙකට එයාලා මේ වගේ ප්‍රශ්න ගැන කල්පනා කරලා බලනවා. මේ උපකරණයෙන් කීදෙනෙක් ප්‍රයෝජන ගනීද? මේ උපකරණ ගන්න එකෙන් අපේ අවශ්‍යතාවය ඉටු වෙනවාද? මේවා ආරක්ෂිතව තියාගන්න ඉඩ පහසුකම් තියෙනවාද? ඒ වගේම මේ උපකරණ නඩත්තු කරන්න අවශ්‍ය දේවල් සහ පුහුණුව ලබපු ස්වේච්ඡා සේවකයන් ඉන්නවාද?

 අපි මේ උපකරණ නිතර නිතර නඩත්තු කරනවා. ඒකෙන් ඕඩියෝ/වීඩියෝ උපකරණ ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා වගේම සම්මාදම් නාස්ති වෙන එකත් වළක්වගන්න පුළුවන්. උපකරණ ප්‍රවාහනය කරද්දී වෙන හානිය වළක්වගන්න ඕනෙ නිසා ඒවා හරිම ආරක්ෂිත බහාලුම්වල දාලයි එහෙට මෙහෙට ගෙනියන්නේ. ඒ බහාලුම් හොඳ තත්වයක තියෙනවාද කියලත් කාලෙන් කාලෙට පරීක්ෂා කරලා බලනවා.

ඕඩියෝ/වීඩියෝ උපකරණ හොඳින් නඩත්තු කරනවා සහ අලුත්වැඩියා කරනවා

පැහැදිලි සමුළු හැමෝටම හොඳ සාක්ෂියක්

 සමුළුවල ඕඩියෝ/වීඩියෝවල ගුණාත්මකභාවය දැකලා සාක්ෂිකරුවන් නොවන අයත් ගොඩක් පුදුම වෙනවා. ලෝක ප්‍රසිද්ධ බ්‍රෝඩ්කාස්ටිං ආයතනයක වැඩ කරන කෙනෙක් ඒ ගැන අගය කරලා අදහස් ප්‍රකාශ කළා. එයා කියපු දේ ගැන ඕඩියෝ/වීඩියෝ වැඩවලට උදව් කරන ජොනතන් මෙහෙම කියනවා. “මේ වැඩ ඔක්කොම කරන්නේ එච්චර අද්දැකීම් නැති ස්වේච්ඡා සේවකයන් කියලා දැනගත්තාම එයාට ඒක අදහගන්න බැරි වුණා. අපි දවස් එකහමාරකින් හයි කරපු මේ උපකරණ හයි කරන්න එයාලාගේ ආයතනයට දවස් පහක්වත් යයි කියලා එයා කිව්වා.” තවත් සමුළුවක් තිබ්බ තැනක ඒ ගොඩනැඟිල්ල භාරව හිටපු කළමණාකරු මෙහෙම දෙයක් කිව්වා. “ඕඩියෝ වීඩියෝ ක්ෂේත්‍රයේ දැවැන්තයෝ පවා එයාලාගේ වැඩවලට මෙතන පාවිච්චි කරනවා. ඒත් ඒ කිසිම කෙනෙක් මේ තරම් උසස් ප්‍රමිතියකට දේවල් කරනවා අපි දැකලා නැහැ.”

සමුළු වැඩසටහනෙන් ප්‍රයෝජන ගන්න සහෝදර සහෝදරියන්

 සමුළුවේ ඕඩියෝ/වීඩියෝ අංශය නිසා ඔයා ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? ඔයාටත් හිතෙන්නේ එංගලන්තේ ජීවත් වෙන ඩේවිඩ්ට හිතුණ විදිහට වෙන්න ඇති. එයා මෙහෙම කියනවා. “මට දැන් අවුරුදු 88ක් වෙනවා. මේ කාලෙට ඉහේ කෙස් ගාණට මං සමුළුවලට ගිහිල්ලා ඇති. ඒත් දැන් සමුළුවල උගන්වන දේවලට අවධානය දෙන්න හරිම ලේසියි. ගොඩක් ලස්සන වීඩියෝ තියෙන නිසා දවස ඉවර වෙනවා දැනෙන්නෙත් නැහැ. උගන්නන පාඩමුත් හිතේ කෙටෙනවා.” නයිජීරියාවේ ඉන්න මයිකල් මෙහෙම කියනවා. “ඉස්සර වගේ කථිකයාට ඇහුම්කන් දෙන්න, වීඩියෝ බලන්න දැන් අමාරු නැහැ. ඒ නිසා අවධානය බිඳෙන්නේ නැතුව මුළු වැඩසටහනෙන්ම උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙලා තියෙනවා.”

 මේ අවුරුද්දේ “ශුභාරංචිය දේශනා කරන්න!” කියන තුන්දින සමුළුවට සහභාගි වෙද්දී සමුළු වැඩසටහන අපිට අහන්න දකින්න ලැබෙන්නේ කොහොමද, ඒක පිටිපස්සේ මොන තරම් වැඩ කොටසක් වෙනවාද කියලා හිතන්න. මේ වැඩකටයුතු සාර්ථකව කරන්න donate.pr418.com එක හරහා වගේම අනිත් විදිවලින් ඔයාලා දෙන සම්මාදම් අපි ගොඩක් අගය කරනවා.

a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.