Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

‘යේසුස්ගේ ජීවිත කතාව’ - නොදුටු දසුන්

‘යේසුස්ගේ ජීවිත කතාව’ - නොදුටු දසුන්

2024 ඔක්තෝබර් 1

 මේ අවුරුද්දේ ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ 1වෙනි දිගහැරුම නරඹන කල් ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිටියේ නොඉවසිල්ලෙන්. දිගහැරුම් 18ක් තියෙන නාට්‍යයේ 1වෙනි දිගහැරුම මේ වෙද්දීත් මිලියන ගාණක් නරඹලා ඉවරයි. ඒත් මේ නාට්‍යය හදන්න මොන වගේ වැඩ කොටසක් තිරය පිටුපස සිද්ධ වෙනවාද? ඒ වගේම මේ වැඩේ සාර්ථක කරගන්න ඔයාත් සහයෝගය දුන්නා කියලා ඔයා දන්නවාද?

වීඩියෝ කණ්ඩායම සහ නළු නිළියන්

 ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ රූගත කිරීම්වලින් වැඩි හරියක්ම සිද්ධ වෙන්නේ ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයේ. හැම රූගත කිරීමකටම 50ත් 80ත් අතර පිරිසක් සම්බන්ධ වෙනවා. a ඒ හැමෝටම දවල් කෑම, රෑ කෑම සපයනවා. ඒ වෙනුවෙන් කල්තියාම දේවල් සැලසුම් කරන්න ඕනේ. ආහාර සේවා අංශයේ වැඩ කරන එස්තර් ඒ ගැන මෙහෙම කියනවා. “අපි එක් කෙනෙක්ගෙන් නැතුව තැන් කීපයකින්ම කෑම බීම මිල දී ගන්නවා. ඒ නිසා අඩුම මුදලට හොඳම දේ ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම කෑම නාස්ති වෙන එක අඩු කරගන්න අපි නිතරම උයන ප්‍රමාණවල් වෙනස් කරනවා.” මේ දේවල් නිසා එක් කෙනෙක්ගේ දවසේ කෑමවලට වියදම් වෙන්නේ ඇමෙරිකානු ඩොලර් හතරක් වගේ.

 නළු නිළියන්ගේ සහ රූගත කරන කණ්ඩායමේ හැමෝගෙම කෑම බීම වගේම ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ හොඳට අව් රශ්මිය වැටෙන රටක්. ඒ නිසා හානිකර කිරණවලින් වෙන බලපෑමත් වැඩියි. ඉතින් දවස පුරා එළිමහනේ රූගත කිරීම් කරන අයව ආරක්ෂා කරන්න සහය නිෂ්පාදක විදිහට වැඩ කරන සහෝදර සහෝදරියන් හෙවණ සහ සිසිලස ලබාගන්න පුළුවන් පුංචි තැන් හදලා තියෙනවා. ඒ වගේම අව්වට ගාන ක්‍රීම්, කුඩ සහ ඇති තරම් වතුර තියෙනවාද කියලත් එයාලා හොයලා බලනවා. ඕඩියෝ/වීඩියෝ සේවා අංශයේ වැඩ කරන කෙවින් මෙහෙම කියනවා. “සහය නිෂ්පාදක විදිහට වැඩ කරන ගොඩක් සහෝදර සහෝදරියන් ගෙවල්වල ඉඳන් බෙතෙල් එකේ වැඩට එන අය. එයාලට දෙන වැඩේ මොකක් වුණත් එයාලා නිහතමානීව, සතුටින් ඒක කරනවා. එයාලාගේ උදව් නැතුව මේ වැඩේ කරනවා බොරු.”

දුර පැතිවල කරන රූගත කිරීම්

 ස්ටූඩියෝ එකේවත් ශාඛා කාර්යාලයට අයිති ප්‍රදේශයේ හදලා තියෙන තැන්වලවත් සමහර දර්ශන රූගත කරන්න බැහැ. ඒ නිසා ඒ දර්ශනයට ගැළපෙන තැනකට ගිහින් රූගත කිරීම් කරන්න වෙනවා. ඉතින් කරන්ට් වයර්, තාර පාරවල්, අලුත් තාලෙට හදපු ගෙවල් නැති පැති හොයාගෙන සහෝදරයෝ කිලෝමීටර් ගාණක් දුර යනවා. එහෙම යද්දී නළු නිළියන්ගේ ඇඳුම් පැලඳුම්, පසුබිමට අවශ්‍ය දේවල්, රූගත කරන්න අවශ්‍ය උපකරණ වගේ හැම දෙයක්ම අරගෙන යන්න ඕනේ. ඒ වගේම ඒ තැනට ගිහිල්ලා ඒවා පරෙස්සමට තියාගන්නත් ඕනේ. රූගත කිරීම් පටන්ගන්න කලින් සහය නිෂ්පාදක විදිහට වැඩ කරන සහෝදර සහෝදරියන් ජෙනරේටර් හරියට වැඩ කරනවාද, බොන්න පිරිසිදු වතුර තියෙනවාද සහ ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් තියෙනවාද කියලා හොයලා බලනවා. ගොඩක් වෙලාවට නළු නිළියන් සහ රූගත කරන කණ්ඩායමේ අය නැවතිලා ඉන්නේ ඒ අහළ පහළ ඉන්න සහෝදරයන්ගේ ගෙවල්වල, හෝටල්වල නැත්නම් වාහනයටම සවි කරලා තියෙන ඇදගෙන යන ගෙවල්වල.

රූගත කරන තැන්වලදී අභියෝගවලටත් මූණ දෙන්න සිද්ධ වෙනවා

 එක එක තැන්වලට ගිහින් රූගත කිරීම් කරන එක කාලය සහ සල්ලි වැය වෙන ලොකු වෙහෙසක් දරන්න වෙන වැඩක්. ඒ නිසා 2023දී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වටින වීඩියෝ වෝල් එකක් මිල දී ගන්න පාලක මණ්ඩලය අනුමැතිය දුන්නා. හරිම පැහැදිලි රූප දිස් වෙන වීඩියෝ තිර සහ තිරයේ දිස් වෙන දේට අනුව වෙනස් වෙන ආලෝකය නිසා ඇත්ත තැනක රූගත කිරීම් කරනවා වගේ පසුබිම සකස් කරන්න පුළුවන්. ඒ නිසා රූගත කිරීම්වලට යන වියදම ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔස්ට්‍රලේසියා ශාඛා කමිටුවේ සේවය කරන ඩැරන් ඒ ගැන මෙහෙම කියනවා. “මේ තාක්ෂණය නිසා එකම දර්ශනය වුණත් කීප වතාවක් රූගත කරන එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා රඟපාන අයගේ වගේම ටීම් එකේ අයගේ වැඩත් ගොඩක් අඩු වෙලා තියෙනවා. උදාහරණයකට අපිට ඉර බහින දර්ශනයක් රූගත කරන්න ඕනෙ කියලා හිතන්න. එළිමහනේ ඕක රූගත කරන්න ගියා නම් හරියටම ඉර බහින වෙලාවට ඔක්කොම සෙට් කරලා ඒ දර්ශනය ගන්න ඕනේ. විනාඩියක් හරි එහෙට මෙහෙට වුණොත් ආයේ ඊළඟ දවසේ ඉර බහින වෙලාව එන කල් අපි ඉන්න ඕනේ. ඒත් වීඩියෝ වෝල් තාක්ෂණය නිසා අපිට ඉර බහින දර්ශනය කෘතිමව හදලා, අපිට ඕනෙ දර්ශනය එන කල් ආයේ ආයේ ගන්න පුළුවන්.”

අලුතින් සවි කරපු වීඩියෝ වොල් එක රූගත කිරීම්වලට කලින් පරීක්ෂා කරලා බලනවා

“මේක කැප කිරීමක් නෙමෙයි”

 ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ හැම දිගහැරුමකම රූගත කීරීම් වැඩවලට සිය ගාණක් ඕනෙ වෙනවා. ඒ වැඩවලට හවුල් වෙන අයට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

 මෙල්බන් නගරයේ ඉඳන් කිලෝමීටර් 700කට වඩා දුර ගෙවාගෙන මේ ව්‍යාපෘතියේ වැඩට උදව් කරන්න එන සහෝදරි ඇම්බ ඒ ගැන මෙහෙම කියනවා. “එයාර්පෝට් එකට ආපු වෙලාවේ ඉඳලා සහෝදරයන් මාව හොඳට බලාගත්තා. බෙතෙල් එකේ ඉන්න ගොඩක් අය මට කෑම කන්න, තේ බොන්න එන්න කිව්වා. රූගත කිරීම් කරන තැන ඉන්න හැමෝටම හැමෝ ගැනම තියෙන්නේ පුදුම ආදරයක්. මේ වැඩේට හවුල් වෙන්න ලැබුණ එක ඇත්තටම ආශීර්වාදයක්. සාමාන්‍යයෙන් කැප කිරීමක් කරද්දී අපි ආස දෙයක් අතහරින්න ඕනේ. ඒත් මේක කැප කිරීමක් නෙමෙයි. මොකද මං ආසා දේම තමයි මට ලැබුණේ.”

 නිෂ්පාදන කණ්ඩායමේ සේවය කරන ඩෙරික් මෙහෙම කියනවා. “මේ වැඩේ පටන්ගත්ත දවසේ ඉඳලා ගොඩක් අංශවල අය අපිට උදව් කරා. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කැප කිරීම් කරලා මෙච්චර උද්‍යෝගයෙන් වැඩ කරන අයත් එක්ක ඉන්න ලැබුණ එකම ලොකු සතුටක්. එයාලා නෑ බෑ කියන්නේ නැතුව ඕනෙම වෙලාවක උදව් කරන්න ලෑස්තියි. හැමෝම එකිනෙකාට හරිම කරුණාවෙන් සලකනවා. ඒක දකිද්දී යෙහෝවාටත් ගොඩක් සතුටු ඇති. මොකද යෙහෝවාට, වැඩේට වඩා මිනිස්සුන්වයි වටින්නේ.”

 donate.pr418.com වගේම වෙනත් විදිවලිනුත් ඔයා සම්මාදම් දීලා මේ වැඩේට අතහිත දෙන එක ගැන අපි ඔයාට ගොඩක් ස්තුති කරනවා!

a ඔස්ට්‍රලේසියා ශාඛා කාර්යාලයෙන් තමයි ඔස්ට්‍රේලියාව සහ දකුණු පැසිෆික් කලාපයේ තියෙන රටවල් ඇතුළු ගොඩක් රටවල්වල වැඩකටයුතු බලාගන්නේ. ශාඛා කාර්යාලය තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවල.