ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
වසංගතයට කලින් අවසන් කළ ඉදි කිරීම්
2020 නොවැම්බර් 1
හැම අවුරුද්දකම සිය දහස් ගාණක් බව්තීස්ම වෙනවා. ඒ නිසා යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය වෙනුවෙන් පාවිච්චි කරන්න තවත් හුඟක් ගොඩනැඟිලි ඕන වෙනවා. දවසින් දවස ඇති වෙන මේ අවශ්‍යතාවය නිසා 2020 සේවා වසරේදී ලෝකෙ පුරාම තියෙන ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශ ස්ථාන 2,700කට වඩා වැඩි ප්‍රමාණයක අලුතින්ම ගොඩනැඟිලි හදන්න හරි තියෙන ඒවා අලුත්වැඩියා කරන්න හරි සැලසුම් කරලා තිබුණා. a
කොරෝනා වසංගතය ඇති වුණ නිසා හිතපු නැති විදිහට ඒ ඉදි කිරීම් ව්‍යාපෘති මඟ නවත්තන්න වුණා. අපේ සහෝදර සහෝදරියන්ගේ ආරක්ෂාව ගැනත් රජයෙන් පනවපු නීති ගැනත් හිතලා ලෝකෙ පුරාම කරන්න සැලසුම් කරලා තිබුණ ව්‍යාපෘතිවලින් වැඩි හරියක් තාවකාලිකව නවත්වන්න පාලක මණ්ඩලයේ ප්‍රකාශන කමිටුව තීරණය කළා. කොහොමවුණත් 2020 සේවා වසරේදී අලුතින් ඉදි කරන්න එහෙම නැත්නම් අලුත්වැඩියා කරන්න සැලසුම් කරලා තිබුණු ව්‍යාපෘති 1,700කටත් වඩා වැඩි ප්‍රමාණයක් වසංගතයට කලින් ඉවර කරන්න පුළුවන් වුණා. ඊට අමතරව ශාඛා කාර්යාල ඉදි කරන එක වගේ විශාල ව්‍යාපෘති සීයකටත් වැඩිය සම්පුර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන් වුණා. ඒ විදිහට හදලා ඉවර කරපු ව්‍යාපෘති දෙකකින් අපේ සහෝදර සහෝදරියන් ප්‍රයෝජන ලබපු විදිහ ගැන දැන් අපි බලමු.
කැමරූන් ශාඛා කාර්යාලය. ඩොයුලාවල කලින් තිබුණු ශාඛා කාර්යාලය හරිම පොඩියි. ඒ වගේම ඒකේ හුඟක් පහසුකම් තිබුණෙත් නැහැ. ඒ ශාඛා කාර්යාලය අලුත්වැඩියා කරන්න ප්‍රකාශන කමිටුවට ඕන වුණත් ඒකට යන වියදම ගණන් බලද්දි එයාලට තේරුණා දැනට තියෙන ශාඛා කාර්යාලයේ තක්සේරු කරපු වටිනාකමටත් වඩා මුදලක් ඒකට වියදම් වෙනවා කියලා. ඒ වගේම අලුතින්ම ශාඛා කාර්යාලයක් හදන්න එහෙමත් නැත්නම් ශාඛා කාර්යාලයකට ගැළපෙන ගොඩනැඟිල්ලක් අරගෙන ඒක අලුත්වැඩියා කරන්න පුළුවන්ද කියලා එයාලා හොයලා බැලුවා. ඒත් ඒ දෙකම හරි ගියේ නැහැ.
ඒ කාලෙදිම අපේ සහෝදරයන් දැනගත්තා ඩොයුලාවල උතුරු පැත්තට වෙන්න තියෙන අපේ එක සමුළු ශාලාවක් ළඟින් යන පාරක් හදන්න රජයෙන් සැලසුම් කරලා තියෙනවා කියලා. ඒ පාර හැදුණාම එහෙට යන එන එක ලේසි වෙනවා වගේම වතුර, විදුලිය වගේ අවශ්‍ය පහසුකම් ලබාගන්නත් තව ලේසි වෙනවා. ඒ දේවල් එක්ක බලද්දි ශාඛා කාර්යාලයක් හදන්න ඒ තැන හොඳට ගැළපෙනවා. ඒ නිසා සමුළු ශාලාව තියෙන ඉඩමෙම කොටසක අලුතින් ශාඛා කාර්යාලය හදන්න පාලක මණ්ඩලය අනුමැතිය දුන්නා.
මේ ව්‍යාපෘතියේදී පිට කොන්ත්‍රාත්කරුවන් සහ අපේ සහෝදරයන් එකට එකතු වෙලා වැඩ කරපු නිසා හිතුවාට වඩා කලින් ව්‍යාපෘතිය ඉවර කරන්න පුළුවන් වුණා. ඒ වගේම රුපියල් කෝටි තිස් හයකට වඩා වැඩි ගාණක් ඉතුරු කරගන්නත් පුළුවන් වුණා. කොරෝනා වසංගතයට ටික දවසකට කලින් බෙතෙල් පවුලේ අයට පුළුවන් වුණා අලුතින් හදපු මේ ලස්සන ශාඛා කාර්යාලයට ගිහිල්ලා එයාලගේ වැඩ පටන්ගන්න.
කැමරූන්වල බෙතෙල් පවුලේ සහෝදර සහෝදරියන්ට දැන් වැඩ කරන්න අවශ්‍ය කරන පහසුකම් සහ හොඳ නවාතැනක් ලැබිලා තියෙනවා. අලුතෙන් ලැබුණු මේ ශාඛා කාර්යාලය එයාලා සලකන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් විදිහට. එක යුවළක් ඒ ගැන මෙහෙම කියනවා. “අපිට ඕනෙ යෙහෝවා දෙවියන්ට උපරිමයෙන්ම සේවය කරලා අපිට ලැබුණ තෑග්ග අපි කොච්චර අගය කරනවාද කියලා පෙන්නන්නයි.”
මෙක්සිකෝවේ තියෙන ටොහොලාබාල් ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලය. අවුරුදු ගාණක් තිස්සේ ටොහොලාබාල් පරිවර්තන කණ්ඩායම එයාලගේ වැඩකටයුතු කරගෙන ගියේ මෙක්සිකෝ නගරයට කිට්ටුවෙන් තියෙන මධ්‍යම ඇමරිකා ශාඛා කාර්යාලයේ ඉඳන්. ඒත් ටොහොලාබාල් භාෂාව කතා කරන වැඩිදෙනෙක් ඉන්නේ එහෙ ඉඳලා කිලෝමීටර් 1,000ක් (සැතපුම් 620ක්) විතර දුරින් තියෙන ආල්ටාමිරානෝ සහ ලාස් මාගාරීටාස් කියන ප්‍රදේශවල. ඒ හේතුව නිසා පරිවර්තකයන්ට ටොහොලාබාල් භාෂාවේ වෙලා තියෙන වෙනස්කම් ගැන දැනගන්න විදිහක් තිබුණෙ නැහැ. ඒ වගේම පරිවර්තන කටයුතුවලට සහ හඬ කැවීම්වලට ඕන කරන සුදුසුකම් තියෙන සහෝදර සහෝදරියන්ව හොයාගන්න එකත් ශාඛා කාර්යාලයට ලොකු අභියෝගයක් වුණා.
මේ හේතු නිසා පාලක මණ්ඩලයේ ලේඛන කමිටුවට ඕනෙ වුණා ටොහොලාබාල් භාෂාව කතා කරන ප්‍රදේශයකට මේ පරිවර්තන කණ්ඩායම ගෙනියන්න. ඒ නිසා ඒ වගේ ප්‍රදේශයක දැනටමත් තියෙන ගොඩනැඟිල්ලක් අරගෙන ඒක අලුත්වැඩියා කරන්න ශාඛා කමිටුව තීරණය කළා. මොකද එහෙම කරන එකෙන් වියදම් වෙන්නේ අලුත් ගොඩනැඟිල්ලක් හදනවාට සහ ගොඩනැඟිල්ලක් කුලියට ගන්නවාට වඩා අඩු මුදලක්.
ඒකෙන් ලැබුණු ප්‍රයෝජන ගැන එක පරිවර්තකයෙක් මෙහෙම කියනවා. “පරිවර්තකයෙක් විදිහට ශාඛා කාර්යාලයේ සේවය කරපු අවුරුදු 10 පුරාම මගේ භාෂාව කතා කරන එක පවුලක්වත් මට ඒ පැත්තෙ හම්බ වෙලා නැහැ. දැන් අපේ කාර්යාලය තියෙන ප්‍රදේශයේ ටොහොලාබාල් භාෂාව කතා කරන අය හුඟදෙනෙක් ඉන්නවා. හැම දවසකම වගේ ටොහොලාබාල් භාෂාව කතා කරන අයව මට හම්බ වෙනවා. ඒ නිසා අලුත් වචන ඉගෙනගන්නත් පරිවර්තන කටයුතු තවත් හොඳින් කරන්නත් මට පුළුවන් වෙලා තියෙනවා.”
2021 සේවා වසරේ ව්‍යාපෘති
තත්වයන් ඉඩ දෙනවා නම් 2021 සේවා වසරේදී ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල සහ බයිබල් පාසල් සඳහා භාවිතා කරන ගොඩනැඟිලි 75ක වැඩකටයුතු කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම රැමාපෝවල ඉදි කරන අලුත් ලෝක මූලස්ථාන ගොඩනැඟිල්ල, ආර්ජන්ටිනාවේ සහ ඉතාලියේ ශාඛා කාර්යාල වෙන තැනකට අරගෙන යන එක වගේ විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති 8ක වැඩ දිගටම කරගෙන යන්න සැලසුම් කරලා තියෙනවා. ඊට අමතරව නමස්කාර මධ්‍යස්ථාන 1,000කට වඩා වැඩියෙන් අලුතින් ඉදි කරන්නත් 4,000ක් අලුත්වැඩියා කරන්නත් අවශ්‍ය වෙලා තියෙනවා. පාවිච්චියට සුදුසු නැති තත්වයේ තියෙන රැස්වීම් පවත්වන ස්ථාන 6,000කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනුවට අලුත් ඒවා ලබා දෙන්නත් අවශ්‍ය වෙලා තියෙනවා.
මේ ඉදි කිරීම් සහ අලුත්වැඩියා කටයුතුවලට මුදල් ලැබෙන්නේ කොහොමද? ටොහොලාබාල් ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලයේ ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කරද්දී මධ්‍යම ඇමරිකා ශාඛා කමිටු සාමාජික සහෝදර ලාසාරෝ ගොන්සාලෙස් ඒ ප්‍රශ්නයට මේ වගේ උත්තරයක් දුන්නා. “අපේ ශාඛා කාර්යාලයට අයිති ප්‍රදේශයේ ඉන්න සහෝදර සහෝදරියන්ට ඒ තරම් වත්පොහොසත්කමක් නැහැ. ඒ නිසා එයාලම දාන සම්මාදම්වලින් පරිවර්තන කාර්යාල හදනවා කියන එක ඒ සහෝදරයන්ට හීනයක් වගේ. ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන්ගේ සම්මාදම් නිසා ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණා. දැන් අපේ පරිවර්තකයන් එයාලගෙම භාෂාව කතා කරන අය ඉන්න ප්‍රදේශවල ඉඳන් පරිවර්තන කටයුතු කරගෙන යනවා. ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් කැමැත්තෙන්ම දුන්න සම්මාදම්වලට අපි මුළු හදවතින්ම ස්තුති කරනවා.” ඒක ඇත්ත. donate.pr418.com කියන වෙබ් අඩවිය හරහාත් වෙනත් විදිවලිනුත් ඔයාලා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් කැමැත්තෙන්ම දෙන සම්මාදම් නිසයි මේ හැම ඉදි කිරීම් කටයුත්තක්ම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.
a ශාඛා කාර්යාලයකට අයිති ප්‍රදේශවල ඉදි කෙරෙන නමස්කාර මධ්‍යස්ථානවල වැඩකටයුතු සැලසුම් කරන්නෙත් ඒවා අධීක්ෂණය කරන්නෙත් ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශවලිනුයි. ලෝකෙ පුරාම කරන්න තියෙන ඉදි කිරීම් ව්‍යාපෘතිවලින් මුලින්ම කරන්නේ මොනවාද කියලත් ඒවා කරන්නේ කොහොමද කියලත් තීරණය කරන්නේ ලෝක මූලස්ථානයේ තියෙන ලෝක ව්‍යාප්ත නිර්මාණ/ඉදි කිරීම් අංශයෙනුයි.