Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි

වැඩිපුර ඇති දෙයින් අඩුව පිරිමැහෙයි

2020 ඔක්තෝබර් 1

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල් 200කට වැඩි ප්‍රමාණයක එයාලගේ නමස්කාරයට සම්බන්ධ දේවල් සහ විපතට පත් වෙලා ඉන්න අයට උදව් කරන එක කරනවා. ඒත් තමන්ගේ රටෙන් ලැබෙන සම්මාදම්වලින් තමන්ගේ වියහියදම් පියවගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ රටවල්වලින් රටවල් 35කට විතරයි. එච්චර වත්පොහොසත්කමක් නැති රටවල් එයාලගේ වියහියදම් පියවගන්නේ කොහොමද?

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ට එයාලගේ නමස්කාර කටයුතු සහ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යය කරන්න අවශ්‍ය මොනවාද කියලා හොඳින් හොයලා බලනවා. ලැබෙන සම්මාදම් පාවිච්චි කරන්නේ මොන මොන දේවල්වලටද කියලා හොඳින් සැලසුම් කරලා ඒ අනුව ඒවා පාවිච්චි කරනවා. ශාඛා කාර්යාලයකට තමන්ගේ ශාඛා කාර්යාලයට අයිති ප්‍රදේශයේ වැඩකටයුතුවලට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩියෙන් සම්මාදම් ලැබුණොත් ඒ තරම් වත්පොහොසත්කමක් නැති රටවල්වල අඩුව පුරවන්න ඒ සම්මාදම් පාවිච්චි කරනවා. ඒ සැලැස්මත් හරියට මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් “එකිනෙකාගේ අඩුව පිරිමසන්න” යොදලා තිබුණ සැලැස්ම වගේ. (2 කොරින්ති 8:14) එයාලා එයාලට වැඩිපුර තිබුණ දෙයින් අගහිඟකම් තිබුණ ක්‍රිස්තියානීන්ගේ අඩුව පිරෙව්වා.

 අනිත් ශාඛා කාර්යාලවලින් තමන්ගේ රටට සම්මාදම් ලැබුණ එක ගැන ඒ සහෝදරයන්ට හැඟෙන්නේ කොහොමද? උදාහරණයකට ටැන්සානියාව ගැන බලන්න. එහේ ජනගහනයෙන් භාගයකටත් වඩා වැඩිදෙනෙක්ගේ දවසේ ආදායම රුපියල් 400කටත් වඩා අඩුයි. වෙනත් රටවලින් ලැබුණ සම්මාදම් නිසා මෆින්ගා සභාව පාවිච්චි කරන නමස්කාර මධ්‍යස්ථානය අලුත්වැඩියා කරන්න එහේ සහෝදරයන්ට පුළුවන් වුණා. ඒ ගැන සභාවේ අය මෙහෙම කියනවා. “නමස්කාර මධ්‍යස්ථානය අලුත්වැඩියා කළාට පස්සේ රැස්වීම් එන අයගේ ගාණ පුදුම විදිහට වැඩි වුණා. ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදරයන්ගේ ත්‍යාගශීලිකම නිසා තමයි අපිට මේ තරම් ලස්සන නමස්කාර මධ්‍යස්ථානයක් ලැබුණේ. ඒකට අපි එයාලටත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයටත් ගොඩක් ස්තුති කරනවා.”

 කොරෝනා වසංගතය නිසා ශ්‍රී ලංකාවේ හිටපු සමහර සහෝදර සහෝදරියන්ටත් එයාලට අවශ්‍ය කෑම බීම ගන්න අමාරු වුණා. සහෝදරී ඉමාරා ප්‍රනාන්දු සහ එයාගේ පුංචි පුතා ඉනෝෂුත් ඒ අය අතර හිටියා. වෙනත් රටවල්වල ඉන්න සහෝදරයන්ගේ සම්මාදම් නිසා එයාලට අවශ්‍යම වෙලා තිබුණ දේවල් එයාලට ලැබුණා. එයාලගේ අතින්ම හදපු කාඩ් එකක එයාලා මෙහෙම ලියලා තිබුණා. “මේ අමාරු කාලේදී අපිට පෙන්නපු ආදරේට ඔයාලට ගොඩක් ස්තුතියි. මේ වගේ ආදරණීය පවුලක සාමාජිකයන් වෙන්න ලැබුණු එක යෙහෝවා දෙවියන්ගෙන් අපි ලබපු ආශීර්වාදයක්. අපේ සහෝදර පවුලේ හැම කෙනෙක්ටම අවසානය දක්වාම විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලනවා.”

ඉමාරා ප්‍රනාන්දු සහ එයාගේ පුංචි පුතා ඉනෝෂ්

 අපේ සහෝදර සහෝදරියන් ලෝකේ කොහේ ජීවත් වුණත් එයාලට තියෙන දේවල් එයාලා අනිත් අයත් එක්ක බෙදාගන්නවා. උදාහරණයකට උදව් ඕන අය වෙනුවෙන් සම්මාදම් කරන්න ඉනෝෂ් එයාටම කියලා පොඩි සම්මාදම් පෙට්ටියක් හදාගත්තා. අනිත් අය වෙනුවෙන් දේවල් කැමැත්තෙන්ම දෙන්න ග්වාඩලූපා අල්වරෙස් කියන සහෝදරියටත් තියෙන්නේ ඒ වගේම ආසාවක්. එයා ජීවත් වෙන්නේ මෙක්සිකෝවේ එක පළාතක. එහේ ඉන්න සමහර අයට ලැබෙන්නේ අවම වැටුපක්. තවත් අයට දිගටම ලැබෙන ආදායමක් ඇත්තෙම නැති තරම්. ඒත් මේ සහෝදරිය එයාට තියෙන දෙයින් පුළුවන් විදිහට සම්මාදම් කරනවා. එයා මෙහෙම කියනවා. “යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් කරලා තියෙන යහපත් දේවලට, ඔහු පෙන්නලා තියෙන ළැදි ප්‍රේමයට මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කරනවා. මං දන්නවා මං දාන පුංචි සම්මාදම අනිත් අය දාන සම්මාදම් එක්ක එකතු කරලා උදව් ඕන කරන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් පාවිච්චි කරනවා කියලා.”

 තමන්ට ලැබුණු සම්මාදම් අවශ්‍යතාව තියෙන රටවල් වෙනුවෙන් ලබා දෙන ශාඛා කාර්යාලවල ඉන්න සහෝදරයන් ඒ දේ කරන්නේ හරිම සතුටින්. බ්‍රසීලයේ ශාඛා කමිටුවේ සේවය කරන සහෝදර ඇන්තනී කාර්වාල්හෝ මෙහෙම කියනවා. “අවුරුදු ගාණක් තිස්සේ වියහියදම් පියවගන්න වෙනත් රටවල සහෝදරයන්ගේ උදව් අපිට ඕනෙ වුණා. ඒ විදිහට උදව් ලැබුණ එකෙන් මේ රටේ ලොකු වර්ධනයක් වෙලා තියෙනවා. දැන් මෙහේ ආර්ථික තත්වේ හුඟක් වෙනස්. ඒ නිසා වෙනත් රටවල්වල ඉන්න සහෝදරයන්ට උදව් කරන වටිනා අවස්ථාව දැන් අපිටත් ලැබිලා තියෙනවා. අපේ සහෝදරයන් මෙහේ සිද්ධ වෙන සේවය ගැන විතරක් නෙවෙයි ලෝකේ පුරාම සිද්ධ වෙන සේවය ගැන හිතනවා. යේසුස්ගේ අනුගාමිකයන් විදිහට එයාලට ඕනෙ හැම රටකම සිද්ධ වෙන දේශනා කිරීමේ වැඩේට උදව් කරන්න.”

 අවශ්‍යතාව ඇති රටවල ඉන්න සහෝදර සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද? අවශ්‍යතාව ඇති රටක තියෙන ශාඛා කාර්යාලයට කෙළින්ම මුදල් යවනවා වෙනුවට ලෝක ව්‍යාප්ත සේවයට සම්මාදම් කරන එකෙන් ඒක කරන්න පුළුවන්. ඔයාගේ නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන “ලෝක ව්‍යාප්ත සේවය සඳහා” කියන සම්මාදම් පෙට්ටියට සම්මාදම් දාන එකෙන් හරි donate.pr418.com කියන වෙබ් අඩවිය හරහා හරි ඒක කරන්න ඔයාට පුළුවන්. ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලට අපි හුඟක් ස්තුති කරනවා.