ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
විපතට පත් වුණ අයට සහන සේවා
2021 පෙබරවාරි 1
2020දී ලෝකේ පුරා හුඟක් ස්වාභාවික විපත් වගේම කොරෝනා වසංගතයත් ඇති වුණා. ඒ දේවල් නිසා විපතට පත් වුණ අයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උදව් කළේ කොහොමද?
2020 සේවා වසරේදී a සහන සේවා කටයුතු වෙනුවෙන් ඩොලර් b මිලියන 28ක් වියදම් කරන්න පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුව අනුමැතිය දුන්නා. ඒ නිසා කොරෝනා වසංගතය, එක පිට එක ආපු සුළිකුණාටු, අප්‍රිකාවේ ගංවතුර, වෙනිසියුලාවේ ආහාර හිඟය සහ සිම්බාබ්වේවල නියඟය වගේ විපත් 200කට වඩා වැඩි ගාණකට ගොදුරු වුණ අයට සහන සේවා ලබා දෙන්න පුළුවන් වුණා. ඒ සහෝදරයන්ට අවශ්‍ය කෑම, වතුර, ඉන්න තැනක්, ඇඳුම්, බෙහෙත් වගේම පිරිසිදු කරන්න අවශ්‍ය දේවල්, ගොඩනැඟිලි අලුත්වැඩියා කරන්න සහ නැවත ඉදි කරන්න අවශ්‍ය දේවල් ගන්න ඒ මුදල් පාවිච්චි කළා. ඒ සම්මාදම්වලින් කරපු දේවල් කීපයක් බලමු.
කොරෝනා වසංගතය. කොරෝනා වසංගතය ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන්ට ශාරීරිකවත් මානසිකවත් බලපෑවා. හුඟදෙනෙක්ගේ ආර්ථිකයත් කඩන් වැටුණා. එයාලට උදව් කරන්න ලෝකේ පුරාම සහන සේවා කමිටු 800ටත් වඩා පිහිටෙව්වා. ඒ කමිටුවල සහෝදරයන් විපතට පත් වුණ අයගේ අවශ්‍යතාවන් නිරීක්ෂණය කරලා සම්බන්ධීකාරකයන්ගේ කමිටුවට වාර්තාවන් යැව්වා. විපතට පත් වුණ සහෝදරයන්ට උදව් ඕනෙ මොන වගේ පැතිවලින්ද කියලා තේරුම්ගන්න ඒ වාර්තාවන් සම්බන්ධීකාරකයන්ගේ කමිටුවට උදව් වුණා.
සහන සේවා කමිටුවල සහෝදරයන් කෑම, වතුර, සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය දේවල් සහ අත්‍යවශ්‍ය බෙහෙත් වගේ දේවල් සහෝදරයන්ට ලබා දුන්නා. සහන සේවා කමිටුවල සහෝදරයන් ඒ ඒ ප්‍රදේශවල හිටපු වැඩිමහල්ලන් එක්ක එකතු වෙලා රජයෙන් ලබා දෙන ආධාර ලබාගන්නත් සහෝදරයන්ට උදව් කළා.
අපේ සහෝදරයන් සහන සේවා ලබා දෙන විදිහ සාක්ෂිකරුවන් නොවන හුඟදෙනෙක්ගේ අවධානයට ලක් වුණා. උදාහරණයකට සැම්බියාවේ නාකොන්ඩේවල දිස්ත්‍රික් කොමසාරිස්වරයා වන ෆිල්ඩ් සිම්වින්ගා අපේ සහෝදරයන්ට මෙහෙම කිව්වා. “විපතට පත් වුණ පවුල්වල අයට අවශ්‍යම වෙලාවලදී උදව් කරපු එකට අපි ඔයාලට හුඟක් ණයගැතියි.”
ඇංගෝලාවේ ආහාර හිඟය. කොරෝනා වසංගතයත් එක්ක ඇති වුණ කෑම හිඟය නිසා ඇංගෝලාවේ බඩු මිල අහස උසට නැග්ගා. කෑම බීම සල්ලිවලට ගන්න එක සහෝදරයන්ට එන්න එන්නම අමාරු වුණා.
ඇංගෝලාවේ සහෝදරයන්ට අවශ්‍ය කෑම ලබා දෙන වගකීම පැවරුණේ බ්‍රසීල ශාඛා කාර්යාලයට. සහන සේවා වැඩවලට වෙන් කරපු මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ නිසා කෑම මිලදී ගන්න සහ ඒවා ප්‍රවාහනය කරන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද කියලා ඒ සහෝදරයන් හොයලා බැලුවා. ඒ වගේම එකපාර කෑම ලොකු ප්‍රමාණයක් මිලදී ගත්තා. එහෙම කරපු නිසා හාල්, ධාන්‍ය, තෙල් වගේ අවශ්‍ය කරන දේවල් තියෙන කිලෝ 20ක් (රාත්තල් 44ක්) බර බඩු මල්ලක් ලබා දෙන්න වියදම් වුණේ ඩොලර් 22ක් වගේ මුදලක් විතරයි. මේ වෙද්දී ඒ වගේ බඩු මලු 33,544ක් සහෝදරයන්ට යවලා තියෙනවා. ඒවායේ සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 654ක්. බ්‍රසීලයෙන් සහ ඇංගෝලාවෙන් ලැබුණ මේ කෑම නිසා 50,000කට වඩා වැඩිදෙනෙක්ට ප්‍රයෝජන ලැබුණා.
මේ සහන සේවා ගැන අපේ සහෝදරයන්ට හැඟුණේ කොහොමද? ඇංගෝලාවේ හුඟක් දුෂ්කර පළාතක ජීවත් වෙන ඇලෙක්සාන්ඩ්‍රේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “ඒකෙන් මට හොඳටම තේරුණා යෙහෝවා දෙවියන් මට කොච්චර ආදරෙයිද කියලා. මං තනි වෙලා නෑ. යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට මං වගේ කෙනෙක්වත් ගොඩක් වටිනවා.” තනියම දරුවන් හදා වඩා ගන්න අම්මා කෙනෙක් වන මරීසා මෙහෙම කියනවා. “මං අඬඅඬා කරපු යාච්ඤාවලට යෙහෝවා දෙවියන් ඇහුම්කන් දුන්නා. යෙහෝවා දෙවියන්ටත් ඔහුගේ සංවිධානයටත් ගොඩක් ස්තුතියි!”
සිම්බාබ්වේවල නියඟය. 2020 සේවා වසරේදී සිම්බාබ්වේවලට ආපු දරුණු නියඟය නිසා මිලියන ගාණක් කන්න නැතුව දුක් වින්ඳා. අපේ සහෝදරයන් දහස් ගාණකටත් ඒක බලපෑවා.
සහෝදරයන්ට අවශ්‍ය කෑම ලබා දෙන්න සහන සේවා කමිටු 5ක් පිහිටෙව්වා. කෑම මලුවලට දාන්න, වාහනවලට පටවන්න සහෝදරයන් සිය ගාණක් උදව් කළා. සමහර අය එයාලගේ වාහනත් ඒ වෙනුවෙන් දුන්නා. c 2020 සේවා වසරේදී එහේ හිටපු 22,700කට වඩා වැඩි පිරිසකට අවශ්‍ය කෑම දෙන්න ඩොලර් 6,91,561ක් වියදම් කරලා තියෙනවා.
සමහර සහෝදරයන්ට කෑම මලු ලැබුණේ එයාලට කන්න කිසිම දෙයක් ගෙදර නැති වෙලාවක. එයාලා ඒ ගැන යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුති කළා. දැනුණ සතුටට සමහර අය ගීතිකා කියන්නත් පටන්ගත්තා.
එක ප්‍රදේශයක හිටපු අපේ වැන්දඹු සහෝදරියන් දෙන්නෙක් රාජ්‍ය නොවන සංවිධානයකින් (NGO) ආධාර ලබාගන්න විදිහ ගැන සාකච්ඡා කරන රැස්වීමකට ගියා. ඒ රැස්වීම ටිකෙන් ටික දේශපාලනික පැත්තට බර වෙනවා කියලා තේරුණාම අපේ සහෝදරියන් දෙන්නා එයාලගේ කොන්දේසිවලට එකඟ වෙන්නේ නැතුව එතැනින් පිට වෙලා ආවා. එයාලා එතැනින් එනකොට එතැන හිටපු අය එයාලට විහිළු කරලා කිව්වා “අපෙන් නං කෑම ඉල්ලගෙන එන්න එපා” කියලා. හරියටම සති 2කට පස්සේ අපේ සහෝදරයන් ඇවිල්ලා ඒ සහෝදරියන්ට අවශ්‍ය කෑම බීම දුන්නා. හැබැයි ඒ වෙද්දිත් රාජ්‍ය නොවන සංවිධානයෙන් දෙනවා කියපු ආධාර ඒ ගමේ කිසිම කෙනෙක්ට ලැබිලා තිබුණේ නැහැ.
සිම්බාබ්වේවල කරපු සහන සේවා වැඩවලින් හොඳ සාක්ෂියක් දරන්නත් පුළුවන් වුණා. උදාහරණයකට පුංචි ගමක ජීවත් වෙන ප්රිස්කාගේ අද්දැකීම බලන්න. නියඟය නිසා හුඟක් අමාරුකම්වලට මුහුණ දුන්නත් එයා හැම සතියකම බදාදා සහ සිකුරාදා සේවය වෙනුවෙන් වෙන් කළා. ඒ කාලේ හැමෝම එයාලගේ වගාබිම් සීසාන්න පටන්ගන්න කාලේ වුණත් ප්‍රිස්කා සේවේ යන එක නැවැත්තුවේ නැහැ. “ඔයාගේ ඔය සේවේ නිසා ඔයාගේ පවුලේ අයට හාමතේ මැරෙන්න තමයි වෙන්නේ” කියලා ගමේ අය එයාට කිව්වා. “යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව කවදාවත් අත්හරින්නේ නෑ” කියලා ප්‍රිස්කා එයාලට කිව්වා. ඒ සිද්ධිය වෙලා වැඩි දවසක් යන්න කලින් අපේ සංවිධානයෙන් ප්‍රිස්කාට අවශ්‍ය කෑම බීම ගෙනල්ලා දුන්නා. ඒක දැකලා පුදුම වුණ ගමේ අය ප්‍රිස්කාට මෙහෙම කිව්වා. “ඔයාගේ දෙවියන් ඔයාව කවදාවත් අත්හැරියේ නෑ. අපිටත් ඕනෙ ඔයාගේ දෙවියන් ගැන දැනගන්න.” දැන් ප්රිස්කාගේ අසල්වැසියන් 7දෙනෙක් රේඩියෝ එකෙන් අපේ රැස්වීම්වලට ඇහුම්කන් දෙනවා.
අපි අවසානයට ළං වෙන්න ළං වෙන්න අපිට තවත් ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න වෙයි. (මතෙව් 24:3, 7) donate.pr418.com වෙබ් අඩවිය හරහා විවිධ ක්‍රමවලින් ඔයා කැමැත්තෙන්ම දෙන සම්මාදම් අපි ගොඩක් අගය කරන්න කැමතියි. ඒ සම්මාදම් නිසා විපතට පත් වෙලා ඉන්න සහෝදරයන්ට ඕනෙම කරන දේවල් නියම වෙලාවට යවන්න පුළුවන් වෙලා තියෙනවා.