Skip to content

පටුනට යන්න

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පුංචි පෙට්ටියක්

විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් වෙන පුංචි පෙට්ටියක්

2020 සැප්තැම්බර් 1වෙනිදා

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන කවරදාකටත් වඩා මේ කාලයේදී ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන සහ වීඩියෝ නිපදවනවා. ඒත් ලෝකේ හුඟක් ප්‍රදේශවල ඉන්න අපේ සහෝදරයන්ට ඉන්ටර්නෙට් පහසුකම ලබාගන්න යන වියදම දරාගන්න අමාරුයි. සමහර සහෝදරයන් ජීවත් වෙන ප්‍රදේශවල සැරෙන් සැරේ ඉන්ටර්නෙට් පහසුකම නැති වෙනවා. තවත් අයට ඉන්ටර්නෙට් පාවිච්චි කරලා දෙයක් කරන්න ලොකු වෙලාවක් යනවා. තවත් සමහර පැතිවලට ඉන්ටර්නෙට් පහසුකම කොහොමටවත් නැහැ.

 ඒ කොහොමවුණත් හුඟක් සහෝදර සහෝදරියන්ට ඉන්ටර්නෙට් පහසුකම නැතුවත් ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කොහොමද?

 JW බොක්ස් කියලා කියන්නේ ඉන්ටර්නෙට් පහසුකම අඩු ප්‍රදේශවල තියෙන සභාවලට ලබා දෙන අලුත් උපකරණයක්. ඒක හදලා තියෙන්නේ පිට ආයතනයකින් මිල දී ගත්ත රවුටර් එකකට බෙතෙල් එකේ පරිගණක අංශයේ සහෝදරයන් හදපු මෘදුකාංගයක් ඇතුළත් කරලයි. ඒ උපකරණයට jw.org වෙබ් අඩවියේ තියෙන ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන සහ වීඩියෝ ඇතුළත් කරලා තියෙනවා. ඒ එක පෙට්ටියකට ඇමරිකානු ඩොලර් 75ක (රුපියල් 14,000ක) විතර මුදලක් වියදම් වෙනවා.

 අපේ සහෝදර සහෝදරියන් නමස්කාර මධ්‍යස්ථානයට ඇවිල්ලා JW බොක්ස් එකේ තියෙන පොත් පත් සහ වීඩියෝ එයාලගේ ෆෝන් එකට, ටැබ් එකට වයිෆයි හරහා ඩවුන්ලෝඩ් කරගන්නවා. එච්චර ගණන් නැති උපකරණ සහ පරණ උපකරණ තියෙන සහෝදරයන්ට පවා JW බොක්ස් එකෙන් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. නමස්කාර මධ්‍යස්ථානය තියෙන පැත්තේ ඉන්ටර්නෙට් පහසුකම එච්චර නැත්නම් කොහොමද අලුතින්ම එන පොත් පත් සහ වීඩියෝ JW බොක්ස් එකට ඇතුළත් කරන්නේ? ශාඛා කාර්යාලයෙන් jw.org වෙබ් අඩවියේ තියෙන අලුත්ම දේවල් ඇතුළත් කරපු පෙන් ඩ්‍රයිව් එකක් කාලෙන් කාලෙට එවනවා. ඒ පෙන් ඩ්‍රයිව් එකට ඇමරිකානු ඩොලර් 4ක (රුපියල් 700ක) විතර මුදලක් වැය වෙනවා.

 JW බොක්ස් එක අපේ සහෝදරයන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද? කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජීවත් වෙන නාතාන් ඇඩෘආන්ඩ්‍රා මෙහෙම කියනවා. “‘යෙහෝවා දෙවියනි, මගේ විශ්වාසය ඔබයි’ සහ ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ වගේ නාට්‍යය ඩවුන්ලෝඩ් කරගන්න මං ගොඩක් සැරයක් උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒක හරි ගියේ නෑ. මට එපා වුණා. හැබැයි දැන් ඒවා මගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න මට පුළුවන්. දෙමාපියන් හැටියට අපේ දරුවන්ට උගන්වන්න ඒක අපිට ගොඩක් උදව් වෙලා තියෙනවා.”

 නයිජීරියාවේ සභාවලට JW බොක්ස් එක පාවිච්චි කරන්න උදව් කරන සහෝදරයෙක් මෙහෙම කියනවා. “JW බොක්ස් එක අපේ සහෝදරයන් සලකන්නේ යෙහෝවා දෙවියන්ගෙන් එයාලට ලැබුණු විශේෂ තෑග්ගක් විදිහට. ඉගැන්වීම් කට්ටලයේ තියෙන වීඩියෝ සහ ප්‍රකාශන දැන් හරිම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් නිසා එයාලට දැනෙන්නේ පුදුම සතුටක්!”

 මේ වෙද්දී අප්‍රිකාවට, ඕෂනියාවට සහ දකුණු ඇමරිකාවට JW බොක්ස් 1,700කටත් වඩා යවලා තියෙනවා. ඒ වගේම තවත් හුඟක් සභාවලට ඒවා යවන්න සැලසුම් කරලත් තියෙනවා. මේ හැම දෙයක්ම කරන්න මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ලෝක ව්‍යාප්ත සේවය සඳහා ලැබෙන සම්මාදම්වලින් තමයි ඒ දේවල් කරන්නේ. හුඟක් වෙලාවට ඒ සම්මාදම් ලැබෙන්නේ donate.pr418.com වෙබ් අඩවිය හරහායි. ඔයාලා හැමෝම කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලට හුඟක් ස්තුතියි.