ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
2021 සහන සේවා - අපේ සහෝදර සහෝදරියන්ව තනි කළේ නැහැ
2022 ජනවාරි 1
2021 සේවා වසරේදී a කොරෝනා වසංගතය මුළු ලෝකෙම වෙළාගත්තා. “වසංගතය මැද සහන සේවාවලින් සහනයක්!” කියන ලිපියෙත් කියලා තිබුණ විදිහට මේ වැඩකටයුතු වෙනුවෙන් සංවිධානය ඩොලර් b මිලියන ගාණක් වියදම් කළා. ඒ වගේම සහන සේවා කමිටු 950කටත් වඩා වැඩියෙන් පිහිටෙව්වා.
ලෝකේ පුරා ඉන්න අපේ සහෝදරයන් බැට කෑවේ මේ වසංගතෙන් විතරක් නෙවෙයි. ස්වාභාවික විපත් සහ මිනිස්සුම ඇති කරන ප්‍රශ්න ගැටලු නිසාත් එයාලා දුක් වින්දා. 2021 සේවා වසර ඇතුළත අපේ සහෝදරයන්ට ඒ වගේ විපත් 200කට වඩා වැඩි ගාණකට මුහුණ දෙන්න වුණා. ඒ නිසා පාලක මණ්ඩලයේ සම්බන්ධීකාරකයන්ගේ කමිටුව කොරෝනා වසංගතය වෙනුවෙන් වෙන් කරලා තිබුණ මුදල්වලට අමතරව තවත් ඩොලර් මිලියන 8ක් වියදම් කරන්න අනුමැතිය දුන්නා. සහෝදරයන් මුහුණ දීපු විපත් දෙකකදී ඔයාලා දුන්න සම්මාදම් පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.
නීරාගොන්ගෝ ගිනි කන්ද පිපිරීම
2021 මැයි 22වෙනිදා කොංගෝවල තියෙන නීරාගොන්ගෝ ගිනි කන්ද පිපුරුවා. ඒකෙන් පිට වුණ ලාවා නිසා ගෙවල් දොරවල්, ඉස්කෝල සහ එක ජලාශයක් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒත් අනතුර තිබුණේ ලාවාවලින් විතරක්ම නෙවෙයි. ගිනි කන්ද පිපිරෙනවත් එක්කම පිට වුණ විෂ වායු සහ දූවිලි අංශුවලින් ගෝමා කියන නගරය සම්පූර්ණයෙන්ම වැහිලා ගියා. ඒ වගේම තව හුඟක් පසුකම්පනත් ඇති වුණා. ඒ නිසා බලධාරීන් ඒ නගරයේ හිටපු බාගෙකටත් වඩා වැඩිදෙනෙක්ට දැනුම් දුන්නා ඉක්මනින්ම එහෙන් පිට වෙන්න කියලා. මිනිස්සු සිය දහස් ගාණක් තමන් හැදී වැඩුණු ගම්බිම් අත්හැරලා රුවන්ඩාවට පලා ගියා.
මේ විපත නිසා අවතැන් වුණ අය අතරේ සාක්ෂිකරුවන් 5,000ක් විතර හිටියා. සමහරුන්ගේ ගෙවල් සම්පූර්ණයෙන්ම ගිනිබත් වුණා. තවත් අය ගෙවල් දොරවල් අත්හැරලා ගියාට පස්සේ මිනිස්සු ඒ ගෙවල්වලට කඩා පැනලා එයාලගේ වටින කියන හැම දෙයක්ම හොරකම් කළා. ඒ තත්වයන්වලට මුහුණ දීපු අපේ සහෝදර සහෝදරියන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න රුවන්ඩාවේ සහ කොංගෝවල සහන සේවා කමිටු ඉක්මනින්ම ක්‍රියාත්මක වුණා. ඒ වගේ එක සහන සේවා කමිටුවක් ගැන කොංගො කින්ෂාසා ශාඛා කාර්යාලය මෙහෙම කියනවා. “ඒ කාලේ නගරයේ තිබුණේ හරිම කලබලකාරී වාතාවරණයක්. ඒ වෙද්දී බලධාරීන් ඒ නගරයෙන් පිට වෙන්න කියලා මිනිස්සුන්ට දැනුම් දීලා තිබ්බේ නැතත් සහන සේවා කමිටුවේ සහෝදරයන් කෑම, වතුර, ඇඳුම් සහ නිදාගන්න අවශ්‍ය දේවල් අපේ සහෝදරයන්ට ඉක්මනින්ම ගිහිල්ලා දුන්නා.” තව නගරයක අවතැන් වුණ අපේ සහෝදර සහෝදරියන් 2,000කටත් වඩා වැඩිදෙනෙක් එකතු වෙලා හිටියා. සහන සේවා කමිටුවේ සහෝදරයන් එයාලට නවතින්න ඕනෙ කරන ටෙන්ට් ගහලා දුන්නා, මාස්ක් දුන්නා. ඒ වගේම කොරෝනා වසංගතයෙන් සහ කොලරාවෙන් ආරක්ෂා වෙන්න කරන්න ඕනෙ දේවල් ගැනත් එයාලව දැනුවත් කළා.
මේ විපත සිද්ධ වෙලා මාස තුනක් ඇතුළත අපේ සහෝදරයන් විපතට පත් වුණ සහෝදරයන්ට හාල් ටොන් හයකටත් වඩා බෙදලා දීලා තිබුණා. ඒ විතරක් නෙවෙයි ඉරිඟු පිටි ටොන් හයක්, උයන්න පාවිච්චි කරන තෙල් ටොන් තුනක් සහ බොන වතුර ටොන් තුනක් සහෝදරයන්ට බෙදලා දීලා තිබුණා. ලැබුණ සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ශාඛා කාර්යාලය කළේ මොනවාද? එයාලා පිටරටින් වැඩි ගාණට ඒ දේවල් මිල දී ගන්නවා වෙනුවට ඒ රටේම නිෂ්පාදනය කරන දේවල් තොග වශයෙන් මිල දී ගන්න තීරණය කළා.
“වෙච්ච දේ නිසා අපි ගොඩක් කලකිරුණා. අපි බින්දුවටම වැටිලයි හිටියේ.” එහෙම කිව්වේ මේ විපත නිසා තමන්ගේ අලුත හදපු ගේ සම්පූර්ණයෙන්ම විනාශ වුණ එක සහෝදරියක්. හැබැයි ඉක්මනින්ම එයාටයි, එයාගේ පවුලේ අයටයි ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් සහ අවශ්‍ය දිරිගැන්වීම් සහෝදරයන්ගෙන් ලැබුණා. ඊටපස්සේ ඒ සහෝදරිය කියන දේ බලන්න. “යෙහෝවාගේ උදව්වෙන් අදටත් අපි කාලා ඇඳලා සතුටින් ඉන්නවා. අපිට උහුලන්න වුණ බර යෙහෝවා දෙවියන් ඔහුගේ කරපිටට අරන් අපිව සැහැල්ලු කරපු විදිහ ඒ කාලේ පුරාම අපි අද්දැක්කා.”
වෙනිසියුලාවේ දරුණු ආර්ථික අර්බුදය
අවුරුදු ගාණක ඉඳන් වෙනිසියුලාවේ ඉන්න අය දරුණු ආර්ථික අර්බුදයක් එක්ක පොරබදිනවා. එහේ ඉන්න අපේ සහෝදරයොත් ජීවත් වෙන්න ලොකු සටනක් කරනවා. ඒ රටේ කෑම බීමවල තියෙන හිඟය නිසා එයාලා එදා වේල පිරිමහගන්නේ හරිම අමාරුවෙන්. ඒ මදිවට එන්න එන්නම එහේ අපරාධත් වැඩි වෙනවා. හැබැයි ඒ මොන දේ වුණත් අපේ සහෝදරයෝ අසරණ වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන්ගේ සංවිධානය එයාලව තනි කරලා නැහැ.
පහුගිය සේවා වසරේදී කෑම බීම සහ සබන් මිල දී අරගෙන ඒවා අවශ්‍යතා තියෙන පවුල්වලට බෙදලා දෙන්න සංවිධානයෙන් ඩොලර් මිලියන 1.5කටත් වඩා වියදම් කරලා තියෙනවා. ඒ ගැන වෙනිසියුලා ශාඛා කාර්යාලය මෙහෙම කියනවා. “හැම මාසෙකම කෑම බීම ටොන් 130ක් රටේ හතර කොනටම යවන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ වගේම අවශ්‍යතා තියෙන සහෝදර සහෝදරියන් හැමෝටම කිසිම අඩුවක් නැතුව ඕන කරන දේවල් ලැබෙනවාද කියලා බලන එකත් ලේසි නැහැ.” මේ අභියෝගය ජය ගන්න ශාඛා කාර්යාලයේ ඉන්න අපේ සහෝදරයන් කළේ මොනවාද? අපේ සහෝදරයන් වෙනුවෙන් එයාලා මිල දී ගන්නේ වැඩිම කාලයක් තියාගන්න පුළුවන් කෑම බීම. මොකද එහෙම නොවුණොත් ඒවා සහෝදරයන්ගේ අතට යන්නත් කලින්ම සවුත්තු වෙන්න පුළුවන්. ඒ ගැන ශාඛා කාර්යාලය මෙහෙම කියනවා. “අපි සමහර ආහාර ද්‍රව්‍ය මිල දී ගන්නේ ඒවා වෙළඳපොළේ වැඩියෙන්ම තියෙන කාලේ. එතකොට අපිට අලුත්ම ඒවා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඒවා තොග පිටින් ගන්න නිසා සාධාරණ මිලකට ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි අඩුම වියදමක් යන ක්‍රම පාවිච්චි කරලා තමයි අපි ඒවා ප්‍රවාහනය කරන්නෙත්.”
සහන සේවා කමිටුවක සේවය කරන සහෝදර ලියෝනෙල් එයාගේ පැවරුම කරන්නේ හරිම ආසාවෙන්. එයා මෙහෙම කියනවා. “සහන සේවා වැඩ මට හරිම විශේෂයි. මොකද ඒකෙන් මාත් ලොකු සහනයක් අද්දකිනවා. කොරෝනා වසංගතේ නිසා මගේ බිරිඳ නැති වුණ දවසේ ඉඳන් මේ පැවරුම මට ලොකු හයියක් වෙලා තියෙනවා. අවශ්‍යතා තියෙන සහෝදරයන් වෙනුවෙන් දුවලා පැනලා දේවල් කරද්දී මට දැනෙනවා මගෙනුත් සංවිධානයට වැඩක් වෙනවා කියලා. තමන්ගේ සෙනඟව අත්හරින්නේ නැහැ කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව ඔහු ඉටු කරන විදිහ මං අනන්තවත් අද්දැකලා තියෙනවා.”
කලින් සහන සේවා කමිටුවක සේවය කරපු සහෝදරයෙක්ටත් මේ විපතට මුහුණ දෙන්න වුණා. එයා මෙහෙම කියනවා. “සහන සේවා කමිටුවේ සේවය කරපු කාලේ හුඟක් සහෝදරයන්ව සනසන්න යෙහෝවා මාව පාවිච්චි කරලා තියෙනවා. හැබැයි දැන් මගේ වාරේ. මේ වෙලාවේ මටත් සහනය ඕනේ. ඒ ඕනෙ කරන සහනය සහෝදරයෝ අපිට දුන්නා. එයාලා නිකම්ම අපිට අවශ්‍ය දේවල් ගෙනත් දුන්නා විතරක් නෙවෙයි. අපිව දිරිගැන්නුවා, ගොඩක් ශක්තිමත් කළා. එයාලා පෙන්නපු ඒ සැලකිල්ල නිසා කලබල වෙන්නේ නැතුව ඕනෙම දේකට මුහුණ දෙන්න මටයි, මගේ නෝනාටයි පුළුවන් වුණා.”
සමහර විපත් සිද්ධ වෙන්නේ හිතන්නෙවත් නැති වෙලාවල. සමහර ඒවා ගැන බලධාරීන් දැනුම් දෙද්දී අවශ්‍ය පියවර ගන්න ලොකු වෙලාවක් ලැබෙන්නෙත් නැහැ. හැබැයි යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ඒ හැම වෙලාවකදීම වගේ සහෝදරයන්ගේ උදව්වට ඇවිල්ලා තියෙනවා. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් කැමැත්තෙන්ම දෙන සම්මාදම් නිසයි. ඒ විදිහට සම්මාදම් කරන්න පුළුවන් විවිධ ක්‍රම ගැන donate.pr418.com වෙබ් අඩවියේ විස්තර කරලා තියෙනවා. ඔයාලා සතුටු සිතින් දෙන ඒ සම්මාදම්වලට බොහොම ස්තුතියි!