ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
2022 සහන සේවා - වචනවලටත් එහා ගිය ආදරයක්!
2023 ජනවාරි 1
බයිබලේ කලින්ම කියලා තිබුණා අපේ කාලේදී යුද්ධ, භූමිකම්පා, වසංගත වගේ හුඟක් “බිහිසුණු දේවල්” සිද්ධ වෙනවා කියලා. (ලූක් 21:10, 11) බයිබලේ තියෙන ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා 2022 සේවා වසරේදී පැහැදිලිවම ඔප්පු වුණා. a ටිකකට යුක්රේන යුද්ධය ගැන හිතන්න. ඒක තාමත් ඉවර නැහැ. ඒ නිසා මිනිස්සු මිලියන ගාණක් පීඩා විඳිනවා. කොරෝනා වසංගතේ ගැන හිතන්න. ඒකෙන් ඇති වුණ බලපෑමෙන් ගොඩ එන්න මිනිස්සු තාමත් දඟලනවා. ඊට අමතරව ස්වාභාවික විපත්වලිනුත් මිනිස්සුන්ට ගැලවීමක් නැහැ. උදාහරණෙකට හයිටිවල ඇති වුණ භූමිකම්පා නිසා සහ මධ්‍යම ඇමරිකාවේ, පිලිපීනයේ සහ ගිනිකොනදිග අප්‍රිකාවේ ඇති වුණ දරුණු සුළි කුණාටු නිසාත් මිනිස්සුන්ගේ ජීවිත අසරණ වෙලා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ වගේ දේවලින් බැට කන අයට වචනවලටත් එහා ගිය ආදරයක් පෙන්නලා තියෙන්නේ කොහොමද?
2022 සේවා වසරේදී විපත් 200කට විතර ගොදුරු වුණ අයට සංවිධානයෙන් සහන සේවා සැපයුවා. ගණන් බලලා තියෙන විදිහට ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 12ක් විතර වැය කරලා තියෙනවා. b දැන් අපි ඒ වගේ විපත් දෙකකදී සහෝදර සහෝදරියන්ට උදව් කරන්න සම්මාදම් පාවිච්චි කරපු විදිහ බලමු.
හයිටි හොල්ලපු භූමිකම්පා
2021 අගෝස්තු 14වෙනිදා හයිටිවල දකුණට වෙන්න රික්ටර් මාපක 7.2ක භූමිකම්පාවක් ඇති වුණා. කියන්න හරිම දුකයි ඒකෙන් අපේ සහෝදරියන් දෙන්නෙක් සහ එක සහෝදරයෙක් නැති වුණා. මේ භූමිකම්පාවෙන් සමහරුන්ගේ ජීවිත බේරුණත් එයාලා ශාරීරිකව, මානසිකව නොසෑහෙන්න පීඩා වින්දා. ඒ ගැන ස්ටෙෆාන් කියන සහෝදරයා මෙහෙම කියනවා. “මාස දෙකක් යන කල් හැම සතියකම අපේ ගමේ මළ ගෙවල්.” සහෝදර එලියේසර් මෙහෙම කියනවා. “අපේ සහෝදරයෝ හුඟදෙනෙක්ට ඉන්න හරිහමන් තැනක් තිබ්බේ නෑ, අඳින්න ඇඳුමක් තිබ්බේ නෑ, දාන්න සපත්තු දෙකක් තිබ්බේ නෑ. කොටින්ම කිව්වොත් අත්‍යවශ්‍ය කිසිම දෙයක් තිබ්බේ නෑ, භූමිකම්පාවත් එක්කම ඇති වුණ පසුකම්පන නිසා මාස ගාණක් යන කල් හැමෝම හිටියේ පණ ගැහිගැහී.”
සහෝදරයන්ට උදව් කරන්න සංවිධානය ඉක්මනටම පියවර ගත්තා. හයිටි ශාඛා කාර්යාලය කෑම ටොන් 53කට වඩා සැපයුවා. ඒ විතරක් නෙවෙයි ටෙන්ට්, වහලවල්වලට දාන ඉටි රෙදි, මෙට්ට, ඒ වගේම හිරු එළියෙන් චාජ් කරන ෆෝන් චාජර් ලබා දුන්නා. ඊට අමතරව 2022 සේවා වසරේදී ගෙවල් 100කට වඩා අලුතින් ඉදි කරලා තියෙනවා. නැත්නම් අලුත්වැඩියා කරලා තියෙනවා. ඒ හැම දේම වෙනුවෙන් වියදම් කරලා තියෙන මුළු මුදල ඩොලර් මිලියනයකට වඩා වැඩියි.
සංවිධානයෙන් ලැබුණ උදව් ගැන අපේ සහෝදරයන්ට කොහොමද දැනුණේ? ලොරෙට් මෙහෙම කියනවා. “මේ භූමිකම්පාවෙන් අපේ ගේයි, බිස්නස් එකයි නැත්තටම නැති වුණා. අපිට කන්නවත් හරිහමන් දෙයක් තිබ්බේ නෑ. හැබැයි අපිට උදව් කරන්න සංවිධානය ඉක්මනට පියවර ගත්තා. අපිට අවශ්‍ය හැම දේම වගේ දුන්නා.” මිශෙලින් මෙහෙම කියනවා. “මටයි, පුතාලා දෙන්නාටයි ඉන්න කියලා තිබුණේ පුංචි ගේ කෑල්ලක් විතරයි. ඒකත් භූමිකම්පාව නිසා කැඩිලා බිඳිලා ගියා. යෙහෝවාට යාච්ඤා කරනවා ඇරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. මගේ යාච්ඤාවලට යෙහෝවා සංවිධානය මාර්ගයෙන් උත්තර දුන්නා. දැන් අපිට කලින්ටත් වඩා හොඳ ගෙයක් තියෙනවා. මං දන්නෑ යෙහෝවා අපි වෙනුවෙන් මේ කරපු දේවල්වලට ඔහුට කොහොම ස්තුති කරන්නද කියලා. මටත් ඕනෙ ඔහු වෙනුවෙන් උපරිමය කරන්න.”
සහන සේවා සපයන්න සංවිධානයෙන් කරපු දේවල් බලධාරීන්ගේ ඇස්වලිනුත් හැංගිලා තිබුණේ නැහැ. බලන්න ලසීල්වල නගර සභාවේ ප්‍රධානියා කියපු දේ. “ඔයාලා හරි ඉක්මනට කට්ටියට උදව් කරන්න පටන්ගත්තා. ඕගොල්ලෝ බලධාරීන් දීපු මඟ පෙන්වීමුත් නොසලකා හැරියේ නෑ. ඕගොල්ලන්ට වැදගත් වුණේ සල්ලි නෙවෙයි, ජීවිත. ආදරෙන් පෙලඹිලා ඔයාලා කරපු ඒ හැම දෙයක්ම මං ගොඩක් අගය කරනවා.”
මලාවි සහ මොසැම්බික් කැලඹූ ඇනා සුළි කුණාටුව
2022 ජනවාරි 24වෙනිදා ඇනා කියන සුළි කුණාටුව මොසැම්බික්වලට පහර දුන්නා. ඒක එතනින් නතර වුණේ නැහැ. ඊටපස්සේ මලාවිවල බස්නාහිර පැත්තටත් දරුණු විදිහට බලපෑවා. මේ භයානක සුළි කුණාටුව නිසා ධාරානිපාත වැසි කඩා හැලුණා. පැයට කිලෝමීටර් 100ක (පැයට සැතපුම් 62ක) විතර වේගයකින් හුළං හැමුවා. ඒ නිසා විදුලි රැහැන්, පාලම් ගහගෙන ගියා. ඒ විතරක් නෙවෙයි දරුණු විදිහට ගංවතුරත් ගැලුවා.
මලාවිවලටයි, මොසැම්බික්වලටයි බලපාපු මේ සුළි කුණාටුවෙන් සාක්ෂිකරුවන් 30,000කට වඩා බැට කෑවා. බලන්න ඒ ගැන සහන සේවා වැඩවලට උදව් කරපු සහෝදර චාල්ස් කියන දේ. “සහෝදරයෝ දුක් විඳිනවා දැක්කාම මගේ පපුව වාවන්නේ නැතුව ගියා. කොහොමද මං එයාලට උදව් කරන්නේ කියලා මං හිතුවා.” සුළි කුණාටුවෙන් විතරක් නෙවෙයි අපේ සහෝදරයෝ ආර්ථිකයෙනුත් පහර කෑවා. මොකද එයාලට අත්‍යවශ්‍යම කෑම බීමවත් හොයාගන්න තිබ්බේ නෑ. ඒ මදිවට එයාලාගේ වගාබිම් සේරම නැති නාස්ති වෙලා ගියා. හුඟදෙනෙක්ට ඉන්නවත් හරිහමන් තැනක් තිබ්බේ නෑ. ඔය දේවල් අතරේ හරිම කනගාටුදායක දේකුත් වුණා. අපේ සහෝදර පවුලක් ආරක්ෂිත බෝට්ටුවකින් තවත් තැනකට යන්න හදද්දී ඒ බෝට්ටුව පෙරළිලා ඒ සහෝදරයාගේ බිරිඳයි, යෞවන වයසේ හිටපු දුවලා දෙන්නායි නැති වුණා.
සුළි කුණාටුව එන්න එන්නම දරුණු අතට හැරුණා. මලාවිවල එන්චාලෝ කියන ගමේ හිටපු සහෝදර සනරාඩෝගේ පවුලේ අයට පාන්දර එකට විතර මහ හයියෙන් වතුර ගලන සද්දයක් ඇහුණා. බලද්දී ගංගාවන් දෙකක්ම පිටාර ගලනවා. ඉතින් සහෝදර සනරාඩෝ හිතුවා ඉක්මනටම ගෙදරින් පිට වෙන්න ඕනෙ කියලා. ඒක කොච්චර හොඳ තීරණයක්ද කියනවා නම් එයාලා ගෙදරින් පිට වෙලා වැඩි වෙලාවක් යන්න කලින් එයාලාගේ ගේ ගංවතුරට ගහගෙන ගියා. ඒ විතරක් නෙවෙයි එයාලාගේ බඩු මුට්ටු සේරමත් වතුරට අහු වුණා. එයාලා ගියේ නමස්කාර මධ්‍යස්ථානයට. වෙනදාට පයින් යද්දී යන්නේ පැය බාගයයි. හැබැයි එදා ඒ ගමනට පැය දෙකක් ගියා. එහෙට යද්දී එයාලා ගියේ වැස්සේ නාගෙන. එයාලා හිටියේ හොඳටම හෙම්බත් වෙලා. හැබැයි හොඳ වෙලාවට කාටවත් අනතුරක් වුණේ නැහැ.
මලාවිවල සහ මොසැම්බික්වල ශාඛා කමිටු ඉක්මනින්ම පියවර ගත්තා. එයාලා චාරිකා සේවකයන්ට සහ වැඩිමහල්ලන්ට මඟ පෙන්නුවා සහෝදර සහෝදරියන් ගැන හොයලා බලලා ඉක්මනින්ම එයාලට අවශ්‍ය උදව් සහ දිරිගැන්වීම් දෙන්න කියලා. ඒ වෙනුවෙන් සහන සේවා කමිටු (DRC) කීපයක්ම පිහිටෙව්වා. ඒ සහෝදරයොත් කල් දාන්නේ නැතුව කෑම බීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සහෝදරයන්ට ගිහින් දුන්නා. මේ සහන සේවා වැඩකටයුතු වෙනුවෙන් ඩොලර් 33,000කට (රුපියල් 1,20,00,000කට) වඩා මුදලක් වැය කරලා තියෙනවා. ඒ වගේම ගෙවල් අලුතෙන් ඉදි කරන්න සහ අලුත්වැඩියා කරන්න ඩොලර් ලක්ෂ 3,00,000කට (රුපියල් 10,00,00,000කට) වඩා වැය කරලා තියෙනවා.
සහන සේවා කමිටුවල සහෝදරයන් සම්මාදම් හරිම ඥානවන්තව පාවිච්චි කළා. විශේෂයෙන්ම ඒ කාලේ ඒ රටවල්වල බඩු මිල ඉහළ ගිහිල්ලා තිබ්බ නිසා ඒක ගොඩක් ප්‍රයෝජනවත් වුණා. උදාහරණෙකට සහන සේවා සපයපු මුල් මාස හතේදී මලාවිවල ප්‍රධානම ආහාරයක් වන බඩඉරිඟු පිටිවල මිල ගණන් 70%කින් විතර ඉහළ ගියා. ඉන්ධනවල මිල ගණනුත් අහස උසට නැග්ගා. ඉතින් අපේ සහෝදරයන් සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න මොකද කළේ? එයාලා පිටරටින් බඩු ගෙන්නනවා වෙනුවට කෑම සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය ඒ රට ඇතුළෙන්ම මිල දී ගත්තා. ඒ වගේම එයාලා ඒවා ගත්තේ තොග පිටින්. ඒ නිසා එයාලට හොඳ වට්ටම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි අනවශ්‍ය විදිහට ප්‍රවාහන ගාස්තු ගියෙත් නැහැ.
සහන සේවාවලින් දෙවියන්ගේ සෙනඟ ලොකු සහනයක් ලැබුවා. බලන්න ඒ ගැන මොසැම්බික්වල ඉන්න සහෝදර ෆෙලිෂ්බෙර්ටෝ කියන දේ. “මං මෙහෙම සංවිධානයක් නං කවදාවත් දැකලා නෑ. ගෙවල් හදන්න ඕන කරන බඩුද, ප්‍රවාහන පහසුකම්ද, ගෙවල් හදන කට්ටියද, කෑම බීමද, මඟ පෙන්වීම්ද, ඒ හැම දේම කිසිම අඩුවක් නැතුව අපිට දුන්නා. මේක නං යොහන් 13:34, 35 යේසුස් කියපු සැබෑ ආදරේට හොඳම සාක්ෂියක්!” මලාවිවල ඉන්න සහෝදරි එස්ටාගේ ගේත් සම්පූර්ණයෙන්ම කැඩිලා බිඳිලා ගියා. එයා මෙහෙම කියනවා. “මං කරකියාගන්න දෙයක් නැතුව අසරණ වෙලා හිටියේ. මොකද ආයෙත් ගේ හදනවා කියන එක මට හීනයක් විතරයි. හැබැයි අපේ සහෝදරයෝ ඇවිල්ලා මගේ ඒ හීනේ හැබෑ කරලා දුන්නා. මට වෙලාවකට හිතෙනවා මං මේ දැනටමත් ඉන්නේ පාරාදීසේද කියලා.”
පාරාදීසෙට ළං වෙන්න ළං වෙන්න අපිට තව තවත් ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න වෙයි. (මතෙව් 24:7, 8) ඔයාලා කැමැත්තෙන්ම දෙන සම්මාදම් ඉස්සරහටත් අපේ සහෝදරයන්ට සහනයක් ලබා දෙන්න ගොඩක් උදව් වෙයි. සම්මාදම් කරන්න පුළුවන් විදි ගැන donate.pr418.com වෙබ් අඩවියෙන් ඔයාට දැනගන්න පුළුවන්. සහෝදරයෙනි, ඔයාලා නොමසුරුව දෙන ඒ සම්මාදම්වලට ඔයාලට ගොඩක් ස්තුතියි!