ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
2023 සහන සේවා - “යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”
2024 ජනවාරි 26
“පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී” ගොඩක් විපත්වලට මුහුණ දෙන්න වෙනවා කියලත් “ජාතියක් ජාතියකට විරුද්ධව” යුද්ධ කරනවා කියලත් බයිබලයේ කලින්ම කියලා තියෙනවා. (මතෙව් 24:3, 7) 2023 සේවා වසරේදී a ඒ අනාවැකි ඉටු වුණ විදිහ අපි ඇස් දෙකෙන්ම දැක්කා. රටවල් 100ක විතර ස්වාභාවික විපත් සහ යුධ ගැටුම් ඇති වුණා. විපත්වලට මූණ දුන්න අයට යෙහෝවාගේ ආදරය දැනෙන්න සලස්වන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන් වුණා. ඒ කොහොමද කියලා අපි බලමු.
2023 සේවා වසරේදී අපේ සහෝදර සහෝදරියන් ස්වාභාවික විපත් සහ යුද්ධ කෝලහල වගේ ආපදා 200කට වඩා මූණ දීලා තියෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් ලැබුණ සම්මාදම්වලින් ඩොලර් මිලියන 10ක් b සහන සේවා වැඩකටයුතු වෙනුවෙන් වැය කරලා තියෙනවා. ඊට අමතරව සහෝදරයෝ පෞද්ගලිකවත් තමන්ගේ ප්‍රදේශයේ ඉන්න සහෝදරයන්ට උදව් කරන්න එයාලා ළඟ තියෙන මිලමුදල් පාවිච්චි කරලා තියෙනවා. සහෝදරයන් මූණ දුන්න විපත් දෙකකදී එයාලට උදව් කරන්න ඔයාලා දුන්න සම්මාදම් පාවිච්චි කරපු විදිහ ගැන දැනගන්න.
“සැබෑ ආදරය කියලා දෙයක් තියෙනවා”
නයිජීරියාවේ සමහර පැතිවලට සාමාන්‍යයෙන් ගංවතුර තත්වයන් ඇති වෙනවා. 2022 ඔක්තෝබර් මාසයේ ඇති වුණ ගංවතුර තත්වය තමයි අවුරුදු 10කට පස්සේ නයිජීරියාවේ ඇති වුණ දරුණුම ගංවතුර තත්වය. ඒකෙන් අක්කර 16,70,432ක තිබුණ වගාබිම් විනාශ වුණා. මිලියන දෙකකට වඩා වැඩිදෙනෙක්ට උන්හිටි තැන් අහිමි වුණා. නයිජීරියාවේ ශාඛා කාර්යාලය ඉක්මනින්ම සහන සේවා කමිටු පත් කරලා ඒ සහෝදරයන්ට අවශ්‍ය උදව් ලබා දුන්නා වගේම එයාලාගේ විශ්වාසය ශක්තිමත් කළා.
අපේ සහෝදර සහෝදරියන්ට බලපාපු විදිහ
7,505දෙනෙක් අවතැන් වුණා
ගෙවල් 860කට හානි වුණා නැත්නම් විනාශ වුණා
නමස්කාර මධ්‍යස්ථාන 90ක් සහ සමුළු ශාලාවක් ගංවතුරට යට වුණා
සම්මාදම් පාවිච්චි කරපු විදි
ඩොලර් 2,50,000කට වඩා වැඩි මුදලක් සහන සේවා වැඩ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒ මුදල වියදම් කළේ:
හාල්, නූඩ්ල්ස්, සහ ඇට වර්ග වගේ ආහාරවලට
මෙට්ට සහ මදුරු දැල් වගේ අත්‍යවශ්‍ය දේවලට
හානි වුණ ගෙවල් අලුත්වැඩියා කරන්න සහ විනාශ වුණ ගෙවල් හදන්න
සහෝදරයන් ලැබෙන සම්මාදම් ඥානවන්තව පාවිච්චි කරන්නේ කොහොමද? එක විදිහක් තමයි හානියට පත් වුණ එක එක ගොඩනැඟිල්ල හොඳින් නිරීක්ෂණය කරලා ඒවා අලුත්වැඩියා කරන්න පුළුවන් මට්ටමේ තියෙනවාද කියලා බලනවා. ඒත් ගොඩනැඟිල්ල අලුතින්ම හදන්න වෙනවා නම් ප්‍රදේශයට ගැළපෙන විදිහට සරල ගොඩනැඟිල්ලක් හදනවා.
ලැබුණ උදව් ගැන සහෝදරයන්ට තියෙන්නේ ලොකු අගයක්. එක සහෝදරියක් මෙහෙම කිව්වා. “ගංවතුරින් අපේ ගෙවල් වගාබිම් ඔක්කොම විනාශ වුණා. අපිට දැනුණේ අපේ ජීවිතේ එකපාරටම කණපිට පෙරළුණා වගේ. ඒත් එදාම සහෝදරයෝ අපේ උදව්වට ඇවිත් අපිව ආරක්ෂිත තැනකට ගෙනිච්චාම අපිට ලොකු සහනයක් දැනුණා. ශාඛා කාර්යාලයෙන් අපිට ඕනෙ කෑම බීම ඉක්මනින්ම එව්වා. යොහන් 13:34, 35 කතා කරන සැබෑ ආදරය කියන්නේ මොකක්ද කියලා අපි අද්දැක්කා. අපිට ඒ ගැන විස්තර කරන්න වචන නැහැ. මටයි, මගේ පවුලේ අයටයි කියන්න තියෙන්නේ මේ අමාරු වෙලාවේ අපිව අසරණ නොකර අපේ උදව්වට ආවාට ඔයාලට ගොඩක් ස්තුතියි!”
සහෝදර සහෝදරියන් උදව් කරපු විදිහ අවට අයත් දැක්කා. බෙයල්සා පළාතේ සබග්රේයාවල ප්‍රධානියා මෙහෙම කිව්වා. “ලෝකේ පුරාම පල්ලි සහ සංවිධාන නම් ඕනෙ තරම් තියෙනවා. ඒත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි අනිත් අය අසරණ වෙද්දී උදව්වට එන්නේ. ඔයාලාගේ සංවිධානය තමයි ලෝකේ තියෙන හොඳම එක.”
“යෙහෝවා අපිට ආදරය පෙන්නුවා”
චිලීවල 2023 පෙබරවාරි මාසේ ලැව් ගිනි 400කට වඩා ඇති වුණා. අක්කර 10,62,553කට වඩා ලොකු ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වුණා. ඒකෙන් රටේ වටිනා සම්පත් විනාශ වෙලා ගියා. 8,000කට විතර ගෙවල් දොරවල් අත ඇරලා යන්න සිද්ධ වුණා. මේ විපත වෙනවත් එක්කම ශාඛා කාර්යාලය සහන සේවා වැඩ පටන්ගත්තා.
අපේ සහෝදර සහෝදරියන්ට බලපාපු විදිහ
222කට ගෙවල් දොරවල් දාලා යන්න වුණා
ගෙවල් 20ක් විනාශ වුණා
සම්මාදම් පාවිච්චි කරපු විදි
ඩොලර් 2,00,000කට වඩා වැඩි මුදලක් සහන සේවා වැඩ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. ඒ මුදල වියදම් කළේ:
කෑම සහ වතුර වෙනුවෙන්
ඉන්ධන, පිරිසිදු කරන්න අවශ්‍ය දේවල් සහ බෙහෙත් වෙනුවෙන්
හානි වුණ ගෙවල් හදන්න
එක පවුලකට එයාලාගේ ගෙදර විතරක් නෙමෙයි ව්‍යාපාරයත් අහිමි වුණා. එයාලා හිටියේ කරකියාගන්න දෙයක් නැති තත්වෙක. එයාලාගේ ගෙදර තිබ්බ තැන අළු ගොඩක් විතරක් තියෙනවා දකිද්දී එයාලාගේ පපුව පිච්චිලා ගියා. ඒත් දවසින් දවස එයාලාගේ අලුත් ගේ හැදෙන විදිහ දකිද්දී එයාලාගේ මූණුවල තිබුණ අඳුර මැකිලා ටිකෙන් ටික එළිය වැටුණා. ඒ වගේම ගේ හදන්න ආපු සහෝදරයන් පෙන්නපු ආදරය එයාලට ලොකු හයියක් වුණා. එයාලාගේ හිතට ඒක කොච්චර ලොකු බලපෑමක් වුණාද කියනවා නම් එයාලත් සහෝදරයන් එක්ක තව සහෝදරයෙක්ගේ ගෙයක් හදන්න ගියා.
ඇත්තටම සහෝදර සහෝදරියන්ට සහන සේවා වැඩ ගැන තියෙන්නේ ලොකු අගයක්. එක සහෝදරයෙක් මෙහෙම කිව්වා. “යෙහෝවා ඇති කරලා තියෙන මේ සහන සේවා සැලැස්ම හරි පුදුම එකක්. විපත වෙලා පහුවෙනිදාම එයාලා අවශ්‍ය උදව් දෙන්න ඇවිත් හිටියා. ලෝකේ පුරා සහන සේවා වැඩ වෙන්නේ කොහොමද කියලා දැනගද්දී ඒකෙන් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. ඒත් ඔයා ඒ උදව් අද්දකිද්දී දැනෙන විදිහ වෙනස්. සංවිධානය ගැන ලොකු අගයක් හිතේ ඇති වෙනවා. යෙහෝවාට තියෙන ලස්සන ගුණාංග සහෝදරයෝ පෙන්නන විදිහ ඔයා දකියි. අපිට අවශ්‍ය දේවල් දෙන්න විතරක් නෙමෙයි අපේ හැඟීම් ගැන, දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන එයාලා කොච්චර හිතනවාද කියලා ඔයා දකියි. යෙහෝවා අපිට ආදරය පෙන්නුවා.”
මේ සමාජයේ අවසානයට ළං වෙන්න වෙන්න අපි මූණ දෙන විපත් තවත් වැඩි වෙයි. (ලූක් 21:10, 11) ඒත් අපේ රජ යේසුස් පොරොන්දු වෙලා තියෙනවා “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා” කියලා. (මතෙව් 28:20) ඔහු ඒ පොරොන්දුව ක්‍රිස්තියානි සභාව මාර්ගයෙන් ඉටු කරන විදිහ අපි අපේ ඇස් දෙකෙන්ම දකිනවා. අපේ රජටත් දේවරාජ්‍යයේ වැඩකටයුතුවලටත් සහයෝගය දෙන්න ඔයාලා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් donate.pr418.com හරහා වගේම වෙනත් විදිවලින් සම්මාදම් කරනවා. ඔයාලාගේ කාලය ශක්තිය වැය කරනවා. ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි!