Skip to content

පටුනට යන්න

අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

අද තියෙන කෑම හිඟය ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 “කුසගින්නට නිමාවක්!” ඒක ලෝක නායකයන්ට තියෙන ලොකුම ඉලක්කවලින් එකක්. a හැබැයි ප්‍රශ්නේ තමයි ඒ ඉලක්කයට ගිහින් හැමෝගෙම කුසගින්න නිවන්න එයාලට බැරි එක. ඒත් කවදා හරි ඒ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙයිද? බයිබලයේ ඒ ගැන කියන්නේ මොනවාද?

අනාවැකිවල ඉටු වීමක්!

 “අවසාන කාලය” විදිහට හඳුන්වන මේ කාලේදී ආහාර හිඟකම් ඇති වෙනවා කියලා බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1) ඒ දේවල්වලට වග කියන්න ඕනෙ දෙවියන් නොවුණත් ඒ ගැන ඔහු කලින්ම අපිට අනතුරු අඟවලා තියෙනවා. (යාකොබ් 1:13) ඒ ගැන කතා කරන අනාවැකි දෙකක් ගැන දැන් අපි බලමු.

 ‘එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම් සිදු වෙයි.’ (මතෙව් 24:7) ආහාර නිෂ්පාදනය සහ බෙදාහැරීම ගැන අධ්‍යයනය කරන පිරිසක් මෙහෙම වාර්තා කරලා තියෙනවා. “පෝෂණ ගුණයෙන් පිරුණු කෑම වේලක් හොයාගන්න එක මිනිස්සුන්ට ලේසි නැහැ. කොටින්ම කිව්වොත් එදා වේල හොයාගන්න එකත් එන්න එන්නම අමාරුයි. තාක්ෂණය අතින් අපි දවසින් දවස ඉස්සරහට යනවා කියලා පේන්න තිබුණත් මේ ප්‍රශ්නෙදී අපි දවසින් දවස යන්නේ ආපස්සට.” b ලෝකේ හුඟක් රටවල්වල ඉන්න මිලියන ගාණක් මිනිස්සුන්ට කුසට හරි හමං කෑමක් වැටෙන්නේ නැහැ. ඒ නිසා හිතාගන්නවත් බැරි තරම් ජීවිත අකාලයේ නැති වෙනවා.

 “බලන්න! කලු පැහැති අශ්වයෙකු මම දුටුවෙමි. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තා අතේ තරාදියක් තිබිණ.” (එළිදරව් 6:5) මේ අනාවැකියේ සඳහන් වෙලා තියෙන සංකේතවත් අශ්වයාගෙනුයි, අසරුවාගෙනුයි නියෝජනය වෙන්නේ අන්තිම කාලේ ඇති වෙන සාගත. c අසරුවාගේ අතේ තියෙන තරාදියෙන් පෙන්නන්නේ තියෙන කෑම ටිකත් මිනිස්සුන්ට බෙදලා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ කිරලා මැනලා කියන එකයි. ඒ වගේම ඒ අසරුවා ගමන් කරද්දී කටහඬක් ඇහෙනවා. කෑමවල මිල ගණන් අහස උසට නැඟලා කියලත් තියෙන කෑම ටික පරෙස්සමින් පාවිච්චි කරන්න කියලත් ඒ කටහඬ මිනිස්සුන්ට අනතුරු අඟවනවා. (එළිදරව් 6:6) ඒ හැම දේකින්ම පේන්නේ අද කාලේ තියෙන ආර්ථික අර්බුදයයි. ඇත්තම කිව්වොත් බිලියන ගාණක් මිනිස්සුන්ට පෝෂ්‍යදායි කෑමක් ගන්න තියා එදා දවසේ යාන්තමින් කුස පුරවාගන්නවත් සල්ලි නැහැ.

කෑම හිඟයට නිමාවක්!

 පුදුමේ කියන්නේ, ඕනෙ කරන ප්‍රමාණයටත් වඩා මේ ලෝකේ කෑම නිෂ්පාදනය වෙනවා කියලා ප්‍රවීණයන් කියනවා. එහෙනම් ඇයි මේ හිඟයක්? අපේ නිර්මාතෘ වන යෙහෝවා d දෙවියන් මේ ප්‍රශ්නෙට දෙන්නේ මොන වගේ විසඳුමක්ද?

 ප්‍රශ්නය: දුප්පත්කම නැති කරලා හැමෝටම සාධාරණ වැටුපක් ලබා දෙන්න මිනිස් ආණ්ඩුවලට බැහැ.

 විසඳුම: ළඟදීම මිනිස් පාලන ලෝකෙන් අතුගාලා දේවරාජ්‍යය මේ පොළොවේ පාලනය භාරගන්නවා. (දානියෙල් 2:44; මතෙව් 6:10) අද මිනිස්සු කෑම නැතුව දුක් වින්දත් එදාට ඒක වෙනස් වෙනවා. මොකද දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස් කරන්න යන දේ ගැන බයිබලයේ මෙහෙම කියනවා. ‘උපකාරය පතා හඬ නඟන දුප්පතාව ඔහු ගලවාගන්නේය. පීඩිතයාවද උපකාරයක් නොමැතිව අන්ත අසරණ වී සිටින්නන්වද ඔහු බේරාගන්නේය. පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.’—ගීතාවලිය 72:12, 16.

 ප්‍රශ්නය: යුද්ධ නිසා වගාබිම් ඇතුළු හුඟක් දේවල් විනාශ වෙනවා. ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා මිනිස්සුන්ට කෑම බෙදලා දෙන එකටත් ගොඩක් බාධා ඇති වෙනවා.

 විසඳුම: බයිබලයේ මෙහෙම කියනවා. ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ යෙහෝවා දෙවි නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.’ (ගීතාවලිය 46:9) දෙවියන් යුධ උපකරණ විතරක් නෙවෙයි යුද්ධවලට අනුබල දෙන අයවත් සම්පූර්ණයෙන්ම නැති කරන්න යනවා. ඊටපස්සේ උදා වෙන කාලය ගැන බයිබලයේ මෙහෙම කියනවා. “ඔහුගේ පාලන සමයේදී ධර්මිෂ්ඨයා සාර්ථක වන්නේය. සඳ පවතින තෙක් බොහෝ සමාදානය තිබෙන්නේය.” (ගීතාවලිය 72:7) එදාට ජීවිතවලටවත් ආර්ථිකයටවත් තර්ජනයක් නැති නිසා හැමෝටම තමන්ට ඕන කරන කෑම හරිම ලේසියෙන් ලබාගන්න පුළුවන්.

 ප්‍රශ්නය: කාලගුණික විපර්යාස සහ ස්වභාවික විපත් නිසා වගාවන් සහ සත්තු විනාශ වෙනවා.

 විසඳුම: දෙවියන් ස්වභාවික බලයන් පාලනය කරලා වගා කටයුතුවලට හිතකර පරිසරයක් ඇති කරනවා. බයිබලයේ මෙහෙම කියනවා. ‘යෙහෝවා දෙවි කුණාටුව නතර කර මුහුද නිශ්චල කරන්නේය. ඔහු කාන්තාර දිය පොකුණු වීමට සලස්වන්නේය. වියළි දේශයක් දිය පහරවල් ගලා යන දේශයක් බවට පත් කරන්නේය. කුසගින්නෙන් පෙළෙන්නන්ව ඔහු එතැනට ගෙනෙන්නේය. ඔවුහු එහි කෙත්වල බීජ වපුරන්නෝය. මිදිවතු වවන්නෝය. එයින් හොඳ පලදාවක් ලබාගන්නෝය.’—ගීතාවලිය 107:29, 35-37.

 ප්‍රශ්නය: අසාධාරණ විදිහට හම්බ කරන කෑදර මිනිස්සු ප්‍රමිතියක් නැති කෑම නිෂ්පාදනය කරනවා. ඒ වගේම අවශ්‍යතාවය තියෙන අයට කෑම ලබා දෙන එකත් වළක්වනවා.

 විසඳුම: වංක විදිහට වැඩ කරන දුෂ්ට මිනිස්සුන්ට දේවරාජ්‍යයේ කිසිම ඉඩක් නැහැ. (ගීතාවලිය 37:10, 11; යෙසායා 61:8) යෙහෝවා දෙවියන් ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අසාධාරණකම්වලට මුහුණ දුන් අයට යුක්තිය ඉටු කර දෙන්නේ ඔහුය. කුසගින්නෙන් පෙළෙන්නන්ට ආහාර සපයා දෙන්නේ ඔහුය.”—ගීතාවලිය 146:7.

 ප්‍රශ්නය: හැම අවුරුද්දකම ලෝකේ පුරාම නිෂ්පාදනය කරන කෑම ප්‍රමාණයෙන් තුනෙන් එකක්ම අපතේ යනවා.

 විසඳුම: දේවරාජ්‍යය යටතේ කෑම නිෂ්පාදනය සහ බෙදාහැරීම හරි විදිහට සිද්ධ වෙනවා. ඒක යේසුස් මේ පොළොව ඉද්දී වැඩ කරපු විදිහෙන් පැහැදිලි වෙනවා. උදාහරණෙකට එක අවස්ථාවක ඔහු 5,000කට වඩා පිරිසකට ආශ්චර්යවත් විදිහට කන්න දුන්නා. සෙනඟ කාලා ඉවර වුණාට පස්සේ ඔහු ගෝලයන්ට මෙහෙම කිව්වා. “කිසිම දෙයක් අපතේ යවන්න එපා. ඉතුරු වී ඇති කෑම එකතු කරන්න.”—යොහන් 6:5-13.

 මිනිස්සුන්ගේ කුසගින්නට බලපාන හැම හේතුවක්ම දේවරාජ්‍යයෙන් මුලිනුපුටා දාන නිසා එදාට රස ගුණ පිරි කෑමවලින් කිසිම අඩුවක් තියෙන්න යන්නේ නැහැ. (යෙසායා 25:6) ඒ දේ වෙන්නේ කවදාද කියලා දැනගන්න “දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.

a 2015දී එක්සත් ජාතීන්ට අයිති සියලුම රටවල් එකතු වෙලා තීරණය කළා යම් ඉලක්ක තියලා 2030 වෙද්දී ඒ ඉලක්ක ජය ගන්න. කුසගින්න නැති කරන එකත් ඒ අතරින් එකක්.

b එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන එකතු වෙලා සකසලා තියෙන වාර්තාවක්.

c එළිදරව් පොතේ සඳහන් වෙන අසරුවන් හතරදෙනා ගැන තව විස්තර දැනගන්න “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය බලන්න.

d යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.