සෝදිසියෙන් ඉන්න!
ඉඩෝරය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
“මෙතෙක් ඇති වෙලා තියෙන තුන්වෙනි දරුණුම ග්‍රීෂ්ම කාලය සහ ඉහළම උෂ්ණත්වය චීනයෙන් වාර්තා වෙයි!”—The Guardian, 2022 සැප්තැම්බර් 7.
“නොකඩවා පස්වෙනි වතාවටත් අප්‍රිකාවේ සමහර පැතිවලට මේ අවුරුද්දෙත් ඉඩෝරය බලපායි!”—UN News, 2022 අගෝස්තු 26.
“යුරෝපයේ 2/3කටත් වඩා වැඩි ප්‍රදේශයකට නියඟයක් ඇති වීමේ අවදානමක්! වාර්තා වෙන විදිහට අවුරුදු 500කට පස්සේ ඇති වෙන දරුණුම නියඟය මේකයි.”—BBC News, 2022 අගෝස්තු 23.
හුඟක් ප්‍රවීණයන් කියන්නේ ඉස්සරහටත් නියඟ ඇති වෙයි කියලා. එයාලා කියන විදිහට තත්වය මීටත් වඩා දරුණු අතට හැරෙයි. එහෙම බලද්දී අනාගතය ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? ඒ ගැන බයිබලේ කියන්නේ මොකක්ද?
ඉඩෝරය සහ බයිබල් අනාවැකි
අද අපි ජීවත් වෙන කාලය ගැන බයිබලේ මෙහෙම කියලා තිබුණා.
‘එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම් ඇති වෙයි.’—ලූක් 21:11.
ඉඩෝරයක් ඇති වෙද්දී කෑම හිඟ වෙනවා. ඒ නිසා මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. සමහරු මැරෙනවා. ඒ හැම දේකින්ම පේන්නේ බයිබල් අනාවැකි ඉටු වෙන විදිහයි.—එළිදරව් 6:6, 8.
තවත් දරුණු අතට හැරෙන්නේ ඇයි?
මේ වගේ දරුණු නියඟ ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් බයිබලේ හෙළි කරනවා.
“තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසෙකුට හැකියාවක් නැත.”—යෙරෙමියා 10:23.
මිනිස්සුන්ට තනියම “ජීවන ගමනේ පියවර තියන්න” හැකියාවක් නැහැ. ඒ නිසයි මිනිස් පාලන ක්‍රම අසාර්ථක වෙන්නේ. එයාලා ගන්න වැරදි තීරණ නිසා හුඟක් වෙලාවට ජල අර්බුද සහ දරුණු නියඟ ඇති වෙනවා.
ගොඩක් විද්‍යාඥයන් කියන විදිහට ගෝලීය උණුසුම වැඩි වෙන්නේ, ලෝකේ පුරාම නියඟ ඇති වෙන්නේ මිනිස්සු කරන දේවල් නිසයි.
මිනිස්සුන්ගේ කෑදරකම නිසා, එයාලා දුර දිග නොබලා වැඩ කරන නිසා නිරපරාදේ කැලෑ විනාශ වෙනවා. පරිසරය දූෂණය වෙනවා. ස්වාභාවික සම්පත් නැති නාස්ති වෙනවා. ඒ නිසා වටිනා ජල සම්පත දවසින් දවස අභාවයට යනවා.
ඒ කොහොම වුණත් බයිබලේ අපිට බලාපොරොත්තුවක් දීලා තියෙනවා.
බයිබලේ දෙන බලාපොරොත්තුව මොකක්ද?
ජල අර්බුදයට විසඳුමක් ගේනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒත් ඒ කොහොමද?
1. දෙවියන් “පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා.” (එළිදරව් 11:18) ජල අර්බුදයට ප්‍රධානම හේතුවක් තමයි දුෂ්ට මිනිස්සු. ඒ නිසා පරිසරයට හානි කරන, දුෂ්ට, කෑදර මිනිස්සුන්ව දෙවියන් නැති කරලාම දානවා.—2 තිමෝති 3:1, 2.
2. “වියළි දේශය දිය පොකුණක් මෙන් වන්නේය.” (යෙසායා 35:1, 6, 7) දෙවියන් ඉඩෝරයෙන් හානි වුණ මේ පොළොව පිළිසකර කරලා ඒක ජල සම්පතින් පිරුණ සරුසාර පාරාදීසයක් කරනවා.
3. “පොළොවේ පලදාව බොහෝ සෙයින් වැඩි වීම සඳහා ඔබ එයට ආශීර්වාද කර ඇත.” (ගීතාවලිය 65:9) දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේ පොළොව කෑමෙන් සහ පිරිසිදු වතුරෙන් කිසි අඩුවක් නැති තැනක් වෙනවා.