කනස්සල්ලට මුහුණ දෙන පුරුෂයන්ට බයිබලෙන් උදව්
කනස්සල්ලෙන් a ඉන්න කෙනෙක් කියද්දී ඔයාට එකපාරටම මතක් වෙන්නේ කොයි වගේ කෙනෙක්වද? කිසි දෙයක් හරියට කරගන්න බැරුව බය වෙලා ඉන්න කෙනෙක්වද? හැම දේම එපා වෙලා ඇඳෙන්වත් නැඟිටින්නේ නැති කෙනෙක්වද? නැත්නම් ඉවරයක් නැතුව තමන්ගේ ප්‍රශ්න ගැනම කියන කෙනෙක්වද?
කනස්සල්ලක් දැනෙද්දී සමහර අය ඒ විදිහට වැඩ කරනවා තමයි. හැබැයි තවත් අය, විශේෂයෙන්ම පිරිමි අය කනස්සල්ලක් දැනෙද්දී ඊට වඩා වෙනස් විදිහට වැඩ කරනවා කියලා පර්යේෂකයන් කියනවා. ඒ ගැන එක වාර්තාවක කියන්නේ මෙහෙමයි. “කනස්සල්ලක් දැනෙද්දී හුඟක් වෙලාවට පිරිමි අය මත්පැන් ගන්න, මත්ද්‍රව්‍ය ගන්න පෙලඹෙනවා. සමහරවිට කෙනෙක් ගොඩක් බොන්නේ එයා ලොකු කනස්සල්ලකින් ඉන්න නිසා වෙන්න පුළුවන්. ඒ වගේම කනස්සල්ලෙන් ඉන්න පිරිමි කෙනෙක්ට පොඩි දේටත් කේන්ති යන්න ඉඩ තියෙනවා.”
කනස්සල්ලක් දැනෙද්දී හැම පිරිමි කෙනෙක්ම එකම විදිහට වැඩ කරන්නේ නැහැ. කෙනෙක් මොන විදිහට වැඩ කළත් කනස්සල්ල කියන එක දවසින් දවස වැඩි වෙන ප්‍රශ්නයක්. මොකද අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියලා බයිබලේ කියනවා. (2 තිමෝති 3:1) ඔයාටත් නිතරම වගේ කනස්සල්ලක් දැනෙනවා නම් බයිබලේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙන්නේ කොහොමද?
කනස්සල්ලෙන් ගොඩ එන්න බයිබලෙන් මඟ පෙන්වීම්
කනස්සල්ලෙන් ඉද්දී අපිට උදව් වෙන වටිනා මඟ පෙන්වීම් බයිබලේ ඕනෙ තරම් තියෙනවා. ඒවායින් තුනක් බලමු.
1. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.
තේරුම: ඉස්සරහට මෙහෙම වෙයි, මෙහෙම වෙන්නේ නැති වෙයි කියලා හිතලා ඕනෑවට වඩා කරදර වෙන්නේ නැතුව ඉන්න එක හොඳයි. හුඟක් වෙලාවට අපි දේවල් ගැන හිතන් හිටපු තරමටම ඒවා නරක අතට හැරෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි හිතන්නේවත් නැති විදිහට දේවල් හොඳ අතට හැරෙන්න ඉඩ තියෙනවා.
මෙහෙම කරලා බලන්න: කලිනුත් හුඟක් නරක දෙයක් වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නැති අවස්ථාවන් මතක් කරගන්න. ඊටපස්සේ ඔයා දැන් කරදර වෙන දේවලුත් හිතන තරම්ම නරක අතට හැරෙයිද කියලා කල්පනා කරලා බලන්න.
2. “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක.”—හිතෝපදේශ 27:17.
තේරුම: අපිට දැනෙන කනස්සල්ල ගැන අනිත් අයට කියනවා නම් එයාලට පුළුවන් අපිට උදව් කරන්න. සමහරවිට එයාලා ඒ වගේ තත්වයන්වලට මුහුණ දෙද්දී එයාලට උදව් වුණු දේවල් ගැන යෝජනා දෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්නෙ දිහා වෙන විදිහකට බලන්න අපිට උදව් කරන්න එයාලට පුළුවන් වෙයි.
මෙහෙම කරලා බලන්න: ඔයා දැන් මුහුණ දෙනවා වගේ තත්වයකට මුහුණ දීලා තියෙන, හොඳ උපදෙසක් ගන්න පුළුවන් යාළුවෙක් ඉන්නවාද කියලා හිතලා බලන්න. එයා කරපු මොන දේවල්ද හරි ගියේ, මොන දේවල්ද හරි ගියේ නැත්තේ කියලා එයාගෙන් අහන්න.
3. “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:7.
තේරුම: දුකෙන්, වේදනාවෙන් ඉන්න අය ගැන දෙවියන් ගොඩක් සැලකිලිමත්. ඔයාගේ හිතට බරක් වෙන ඕනෙම දෙයක් ගැන යාච්ඤාවෙන් ඔහුට කියන්න කියලා දෙවියන් කියනවා.
මෙහෙම කරලා බලන්න: ඔයාගේ හිතට කනස්සල්ලක් දැනෙන දේවල් මොනවාද කියලා කොළයක ලියන්න. ඊටපස්සේ ඒ ලියපු එක එක ප්රශ්නය ගැන දෙවියන්ට කියලා ඔහුගෙන් උදව් ඉල්ලන්න.
කිසිම කනස්සල්ලක් දැනෙන්නේ නැති කාලයක්!
කනස්සල්ලට මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් විතරක් නෙවෙයි, අපි හැමෝටම සහනයක් වෙන පොරොන්දුවකුත් බයිබලේ තියෙනවා. ළඟදීම දවසක අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන්ම නැති වෙනවා කියලා බයිබලේ කියනවා. ඒත් ඒක වෙන්නේ කොහොමද?
කනස්සල්ලක් දැනෙන්න හේතු වෙන හැම දෙයක්ම දෙවියන්ගේ රාජ්‍යයෙන් නැති කරන්න යනවා. (එළිදරව් 21:4) ඇත්තටම කිව්වොත් අපිට කනස්සල්ලක්, පීඩනයක් දැනුණේ මොන වගේ දේවල් නිසාද කියලා එදාට මතක් වෙන්නේවත් නැහැ.—යෙසායා 65:17.
“සමාදානය ලබා දෙන දෙවි” ආසාවෙන් ඉන්නේ අපිට ඒ වගේ කාලයක් ලබා දෙන්නයි. (රෝම 16:20) “මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය” කියලා ඒ ආදරණීය දෙවියන් කියනවා.—යෙරෙමියා 29:11.