මහත් භූමිකම්පා ගැන බයිබලේ කියන්නේ මොනවාද?
හැම අවුරුද්දකම ලෝකේ පුරාම භූමිකම්පා දහස් ගාණක් ඇති වෙනවා. හුඟක් භූමිකම්පාවලින් ලොකු හානියක් සිද්ධ වෙන්නේ නැහැ තමයි. ඒත් සමහර භූමිකම්පා නිසා ලොකු ව්‍යසනයන් වෙලා තියෙනවා. ඒවා කොච්චර ප්‍රබලද කියනවා නම් මිනිස් ජීවිත නිරපරාදේ ඒවාට ගොදුරු වෙනවා. ඒ වගේම ඒවා නිසා හුඟක් ප්‍රදේශ සුන්බුන් ගොඩක් බවට පත් වෙලා. ඒ දේවල් නිසා කීදෙනෙක්ගේ නම් ජීවිත කඳුළින් තෙත් වෙලා තියෙනවාද! සමහර වෙලාවට භූමිකම්පා නිසා සුනාමි තත්වයන් ඇති වෙනවා. සුනාමියකට වෙරළබඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත නැති කරන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ වගේ ප්‍රබල භූමිකම්පා ඇති වෙනවා කියලා බයිබලේ කලින්ම කියලා තියෙනවාද?
මේ ලිපියෙන්
භූමිකම්පා ගැන බයිබලේ කලින්ම කියලා තිබුණාද?
යේසුස් කියපු අනාවැකියක භූමිකම්පා ගැනත් ඔහු සඳහන් කළා. ඒ ගැන බයිබලේ පොත් තුනකම වාර්තා කරලා තියෙනවා.
“ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.”—මතෙව් 24:7.
“ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් යුද්ධ කරයි. එක් තැනක් පාසා තවත් තැනක භූමිකම්පා හා ආහාර හිඟකම් ඇති වෙයි.”—මාක් 13:8.
“මහත් භූමිකම්පාත් ඇති වෙයි. ඒ වගේම එක් තැනක් පාසා තවත් තැනක වසංගතද ආහාර හිඟකම්ද ඇති වෙයි.”—ලූක් 21:11.
යේසුස් කිව්වා “එක් තැනක් පාසා තවත් තැනක” යුද්ධ, ආහාර හිඟකම්, වසංගත වගේම “මහත් භූමිකම්පාත්” ඇති වෙනවා කියලා. ඒ හැම දෙයක්ම එක සැරේ සිද්ධ වෙන කාලය බයිබලේ හඳුන්වලා තියෙන්නේ “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” නැත්නම් “අවසාන කාලය” කියලා. (මතෙව් 24:3; 2 තිමෝති 3:1) බයිබලේ තියෙන තොරතුරුවලට අනුව “අවසාන කාලය” පටන් ගත්තේ 1914දී. ඒ කාලය තාම අවසන් වෙලා නැහැ. ඒ කියන්නේ අපි අද ජීවත් වෙන්නේ “අවසාන කාලයේ.”
භූමිකම්පා ගැන බයිබලේ තියෙන අනාවැකි අද ඒ විදිහටම ඉටු වෙනවාද?
ඔව්, යේසුස් කියපු අනාවැකියේ භූමිකම්පා ඇතුළු අනිත් හැම දෙයක්ම අද අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. 1914 ඉඳන් මේ වෙන කල් ප්‍රබල භූමිකම්පා 1,950කටත් වඩා ඇති වෙලා තියෙනවා. ඒවායින් මිය ගිය අයගේ ගාණ මිලියන දෙකකටත් වඩා වැඩියි. a ගත වුණ සියවස ඇතුළත සිද්ධ වුණ ඒ වගේ භූමිකම්පා කීපයක් ගැන දැන් අපි බලමු.
2004—ඉන්දියන් සාගරය. රික්ටර් මාපාංක 9.1ක භූමිකම්පාවක්. ඒ භූමිකම්පාව නිසා සුනාමි තත්වයක් ඇති වුණා. ඒක රටවල් කීපයකටම බලපෑවා. ඒකෙන් 2,25,000ගේ ජීවිත අහිමි වුණා.
2008—චීනය. රික්ටර් මාපාංක 7.9ක භූමිකම්පාවක්. ඒ භූමිකම්පාව නිසා ගොඩක් ගම්, නගර විනාශ වුණා. ගණන් බලලා තියෙන විදිහට ඒකෙන් 90,000කගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ වගේම 3,75,000දෙනෙක් විතර තුවාල ලැබුවා. ඒ විතරක් නෙවෙයි මිලියන ගාණකට උන්හිටි තැන් නැති වුණා.
2010—හයිටි. රික්ටර් මාපාංක 7.0ක භූමිකම්පාවක්. ඒ භූමිකම්පාවෙන් සහ ඒකෙන් ඇති වුණ ප්‍රබල පසුකම්පන නිසා 3,00,000 වඩා වැඩිදෙනෙක් මැරුණා. ඒ වගේම මිලියනයකටත් වඩා වැඩිදෙනෙක් අවතැන් වුණා.
2011—ජපානය. රික්ටර් මාපාංක 9.0ක භූමිකම්පාවක්. ඒ භූමිකම්පාව නිසා සහ ඒකත් එක්ක ඇති වුණ සුනාමි තත්වය නිසා ගණන් බලලා තියෙන විදිහට 18,500දෙනෙක් විතර මැරුණා. තවත් සිය දහස් ගාණක් අවතැන් වුණා. ඒ භූමිකම්පාවෙන් ෆුකුෂිමා කියන න්‍යෂ්ටික බලාගාරයට දැඩි හානි සිද්ධ වුණා. මේ වෙද්දී ඒ සිද්ධිය වෙලා අවුරුදු 10ක් ගෙවිලා තිබුණත් ඒකෙන් පිට වුණ අහිතකර කිරණ අදටත් මිනිස්සුන්ට බලපානවා. ඒ නිසයි ඒ බලාගාරය අවට ජීවත් වුණ 40,000කට විතර අදටත් එයාලගේ ගෙවල්වලට යන්න බැරි වෙලා තියෙන්නේ.
බයිබලේ භූමිකම්පා ගැන තියෙන අනාවැකි අපිට වැදගත් වෙන්නේ ඇයි?
භූමිකම්පා ඇති වෙන එක අනාගතේ සිද්ධ වෙන විශේෂ දේකට ලකුණක් කියලා බයිබලේ කියනවා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.”—ලූක් 21:31.
ඒත් දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? බයිබලේ කියනවා ඒක ස්වර්ගයේ පිහිටුවලා තියෙන සැබෑ ආණ්ඩුවක් කියලා. ඒකේ රජ තමයි යේසුස් ක්‍රිස්තුස්. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට යාච්ඤා කරන්න කිව්වෙත් ඒ රාජ්‍යය ගැනයි.—මතෙව් 6:10.
දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන්න පටන්ගත්තාට පස්සේ භූමිකම්පා ඇතුළු මිනිස්සුන්ට හානියක් වෙන කිසිම ස්වාභාවික විපතක් මේ පොළොවේ ඇති වෙන්නේ නැහැ. (යෙසායා 32:18) ඒ වගේම අද භූමිකම්පා නිසා සිද්ධ වෙන හැම හානියක්ම දේවරාජ්‍යයෙන් යථා තත්වයට පත් කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ දේවල් නිසා ඇති වුණ කිසිම අමිහිරි සිදුවීමක් එදාට මතකෙටවත් නැඟෙන්නේ නැහැ. (යෙසායා 65:17; එළිදරව් 21:3, 4) ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “දෙවියන්ගේ පාලනයෙන් කරන දේ” කියන ලිපිය බලන්න.
a මේ සංඛ්‍යා ලේඛන ලබාගෙන තියෙන්නේ එක්සත් ජනපදයේ භෞතික දත්ත මධ්‍යස්ථානය විසින් පළ කරපු වාර්තාවලිනුයි.