සෝදිසියෙන් ඉන්න!
යුද්ධ නිසා මුදලින් මනින්න බැරි තරම් පාඩුවක්!
යුද්ධ නිසා වෙන පාඩුව එසේ මෙසේ එකක් නෙවෙයි.
“ගිය අවුරුද්දේ යුද්ධ වෙනුවෙන් ලෝකේ පුරාම තියෙන ආණ්ඩු ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.2ක් වියදම් කරලා තියෙනවා. ඒක තමයි මෙතෙක් යුද්ධවලට වියදම් කරපු වැඩිම ගාණ.”—The Washington Post, 2024 පෙබරවාරි 13.
හැබැයි යුද්ධ නිසා නැති වුණේ සල්ලිම විතරක් නෙවෙයි. ඒක තේරුම්ගන්න යුක්රේන යුද්ධය ගැන ටිකක් බලමු.
හමුදා සෙබළු 5,00,000ක් විතර මේ ගෙවුණ අවුරුදු දෙක ඇතුළත මැරිලා හරි තුවාල ලබලා හරි තියෙනවා කියලා වාර්තා වෙනවා.
සිවිල් වැසියන් 28,000කට වඩා මැරිලා හරි තුවාල වෙලා හරි තියෙනවා කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරනවා. හැබැයි ඒකේ උසස් නිලධාරියෙක් ඒ ගැන කියන දේ බලන්න. “මේ යුද්ධය නිසා කීදෙනෙක්ගේ ජීවිත කණපිට පෙරළුණාද කියලා විස්තර කරන්න බැරි තරම්.” a
ලෝකේ පුරාම සිද්ධ වෙන යුද්ධ නිසා ගණන් කරන්න බැරි තරම් දෙනෙක් නොවිඳිනා දුක් විඳිනවා.
මිලියන 114ක සෙනඟක් 2023 සැප්තැම්බර් වෙද්දී යුද්ධ සහ ප්‍රචණ්ඩකාරී දේවල් නිසා අවතැන් වෙලා තියෙනවා.
මිලියන 783ක් විතර හරිහමන් කෑමක් නැතුව දුක් විඳිනවා. ඒ ගැන ලෝක ආහාර වැඩසටහනේ කියපු දෙයක් බලන්න. “මිනිස්සු මේ විදිහට බඩගින්නේ ඉන්න ප්‍රධානම හේතුව තමයි යුද්ධ සහ අරගල. මොකද ලෝකේ පුරාම කෑම නැතුව දුක් විඳින අයගෙන් 70%ක්ම ඉන්නේ ඒ පැතිවල.”
කවද්ද මේ යුද්ධ නවතින්නේ? සාමය ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? මේ පොළොවේ ඇති තරම් කෑම තියෙන, දුප්පත්කම නැති, හැමෝම සතුටින් ඉන්න කාලයක් එයිද? ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
යුද්ධ ඇති වෙන කාලයක්
සංකේතවත් අසරුවෙක්ව පාවිච්චි කරලා ලෝකේ පුරාම සිද්ධ වෙන යුද්ධ ගැන බයිබලයේ කලින්ම කියලා තියෙනවා.
“එවිට තවත් අශ්වයෙක් එනම්, ගිනි පැහැති අශ්වයෙක් පිටතට ආවේය. ඌ පිට ඉඳගෙන සිටි තැනැත්තාට පොළොවෙන් සාමය තුරන් කිරීමට අවසර දෙන ලදි. එහෙයින් මිනිස්සු එකිනෙකාව මරා දමනු ඇත. මහත් කඩුවක්ද ඔහුට දෙන ලදි.”—එළිදරව් 6:4.
ඒ අසරුවාගෙන් පස්සේ තවත් අසරුවන් දෙන්නෙක් එනවා කියලා බයිබලයේ කියනවා. එක අසරුවෙක්ගෙන් සංකේතවත් කරන්නේ ආහාර හිඟය. අනිත් අසරුවාගෙන් සංකේතවත් කරන්නේ වසංගත සහ වෙනත් හේතු නිසා සිද්ධ වෙන මරණ. (එළිදරව් 6:5-8) බයිබලයේ තියෙන ඒ අනාවැකිය ගැන තව විස්තර දැනගන්න, ඒක අපේ කාලේ ඉටු වෙනවා කියලා ස්ථිර කරගන්න “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය බලන්න.
සාමය පිරුණු හෙටක්
මේ පොළොවේ සම්පත් යුද්ධ වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැති කාලයක් ළඟ ළඟම එනවා. ඒත් ඒක මිනිස්සු කරන දේක ප්‍රතිඵලයක් නෙවෙයි. ඒ ගැන බයිබලයේ කියන දේ බලන්න.
දෙවියන් ‘පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්තලා දානවා.’—ගීතාවලිය 46:9.
දෙවියන් යුද්ධය නිසා සිද්ධ වෙලා තියෙන හැම හානියක්ම හරිගස්සනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.
දෙවියන් හැමෝටම කවදාවත් නැති නොවන සාමයක් උදා කරනවා. ඔහු මෙහෙම කියනවා. “මාගේ සෙනඟ තම නිවහන්වල සාමකාමීව කල් ගෙවන්නෝය. ඔවුහු කිසි බියක් සැකක් නොමැතිව සුවසේ ජීවත් වන්නෝය.”—යෙසායා 32:18.
බයිබලයේ තියෙන අනාවැකිවල පෙන්නන විදිහට අද සිද්ධ වෙන යුද්ධ සහ අනිත් දේවල් සාමය පිරුණු හෙටක් අත ළඟම එනවා කියන්න ඉඟියක්.
ඒත් දෙවියන් කොහොමද ඒ වගේ කාලයක් ගේන්නේ? බයිබලයේ කියනවා ඔහු ඒක ගේන්නේ ස්වර්ගයේ තියෙන ඔහුගේ ආණ්ඩුව ඒ කියන්නේ දේවරාජ්‍යය මාර්ගයෙන් කියලා. (මතෙව් 6:10) දේවරාජ්‍යය කියන්නේ මොකක්ද? ඒ ආණ්ඩුව ඔයා වෙනුවෙන් කරන්නේ මොනවාද? ඒ ගැන දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.
a එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුරෝපීය සහකාර මහ ලේකම් මිරොස්ලාව් ජෙන්කා, 2023 දෙසැම්බර් 6.