ලැබෙන ආදායම අඩු වෙලාද?
මේ දවස්වල ආර්ථිකය කඩා වැටිලා තියෙන නිසා ඔයාත් ජීවිතේ ගැටගහගන්නේ අමාරුවෙන්ද? වසංගත, ස්වාභාවික විපත්, දේශපාලන ආරවුල්, යුද්ධ වගේ දේවල් නිසා රටක ආර්ථිකය එකපාරට කඩා වැටෙන්න පුළුවන්. ලැබෙන ආදායම එකපාරටම අඩු වුණාම කෙනෙක්ට ලොකු පීඩනයක් දැනෙනවා. ඒත් අඩු ආදායමකින් වුණත් ජීවත් වෙන්න උදව් වෙන වටිනා මඟ පෙන්වීම් බයිබලෙන් හොයාගන්න පුළුවන්.
1. තත්වයන් වෙනස් වෙලා කියලා පිළිගන්න.
බයිබල් ප්‍රතිපත්තිය: ‘බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැසීමේ රහස මම ඉගෙනගෙන සිටිමි.’—ෆිලිප්පි 4:12.
කලින් තරම් අතේමිටේ සල්ලි නැති වුණත් ලැබෙන ආදායමෙන් පිරිමහගෙන ජීවත් වෙන්න ඉගෙනගන්න ඔයාට පුළුවන්. දැන් තත්වය ඉස්සර වගේ නෙවෙයි කියලා තේරුම් අරන් ඉක්මනින්ම වෙනස්කම් කරන තරමට තමයි හොඳ. මොකද ඒක උදව් වෙනවා ඔයාටයි, ඔයාගේ පවුලේ අයටයි ඇති වෙලා තියෙන තත්වයට හොඳින් මුහුණ දෙන්න.
ඔයා මුහුණ දෙනවා වගේ තත්වයක ඉන්න අයට උදව් කරන්න රජයෙන් හරි වෙනත් සංවිධානයකින් හරි යම් සැලැස්මක් ඇති කරලා තියෙනවාද කියලා හොයලා බලන්න. හැබැයි කල් දාන්න එපා. මොකද සාමාන්‍යයෙන් ඒ වගේ සැලසුම් වැඩි කල් තියෙන්නේ නැහැ.
2. පවුලක් විදිහට එකට එකතු වෙලා වැඩ කරන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “සිතේ තිබෙන දේ හෙළි නොකරන විට සැලසුම් අසාර්ථක වෙයි. නමුත් උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 15:22.
ඔයාගේ සැමියා/බිරිඳ එක්ක, දරුවන් එක්ක ඇති වෙලා තියෙන තත්වය ගැන කතා කරන්න. ඒ විදිහට හොඳින් කතාබහ කරන එකෙන් වෙනස්කම් කරන්න වෙලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්නත් ඒවාට සහයෝගය දෙන්නත් පවුලේ අයට උදව් කරන්න ඔයාට පුළුවන්. ඒ වගේම හැමෝම එකට එකතු වෙලා වැඩ කරද්දී නාස්තිය අඩු කරගෙන තියෙන සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නත් පුළුවන්.
3. ආදායම් වියදම් ලැයිස්තුවක් හදන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “වියදම ගණන් බලන්න.”—ලූක් 14:28.
ඔයාට ලැබෙන ආදායම මේ කාලේ අඩු වෙලා නම් ඔයාගේ අතේ තියෙන හැම රුපියලක්ම වියදම් වෙන්නේ මොනවාටද කියලා දැනගන්න එක හරිම වැදගත්. ඒ නිසා ආදායම් වියදම් ලැයිස්තුවක් හදන්න. ඒ ලැයිස්තුවේ මුලින්ම ඔයාට මේ කාලේ ලැබෙයි කියලා හිතෙන ආදායම ලියන්න. ඊළඟට මාසයකදී ඔයාට වැය කරන්න වෙන අනිවාර්ය වියදම් සහ අමතර වියදම් හැම එකක්ම ඒකේ ලියන්න. සමහර වියදම් වෙනස් වෙයි කියලා ඔයාට හිතුණත් ඒවා ලියන්නේ නැතුව ඉන්න එපා. පුළුවන් නම් හදිස්සියකදී හරි බලාපොරොත්තු වුණේ නැති වියදමක් එද්දී හරි පාවිච්චි කරන්න තව අමතර ගාණකුත් ඒ වියදම් ලැයිස්තුවට එකතු කරන්න.
යෝජනාවක්: ඔයාගේ වියදම් ගණන් බලද්දී ඒකට පොඩි පොඩි වියදමුත් එකතු කරන්න අමතක කරන්න එපා. ඒ වගේ පොඩි පොඩි දේවල්වලට කොච්චර ලොකු වියදමක් යනවාද කියලා දැනගත්තාම ඔයා පුදුම වෙයි. උදාහරණයකට එක පුද්ගලයෙක් එයාගේ වියදම් ගණන් බැලුවාට පස්සේ දැනගත්තා එයා චුවිංගම් කන්න විතරක් හැම අවුරුද්දකම ඩොලර් සිය ගාණක් වියදම් කරලා තියෙනවා කියලා.
4. වැදගත් දේවල් තේරුම් අරන් අවශ්‍ය වෙනස්කම් කරන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.
ඔයාට ලැබෙන ගාණයි, වියදම් කරන්න යන ගාණයි සසඳලා බලන්න. ලැබෙන ගාණෙන් පිරිමහගෙන ජීවත් වෙන්න නම් කපාහරින්න ඕනෙ මොන වගේ වියදම්ද, අඩු කරන්න ඕනෙ මොන වගේ වියදම්ද කියලා අඳුරගන්න. ඒක කරන්න පුළුවන් පැති කිහිපයක් දැන් බලමු.
ප්රවාහණය. ඔයාට වාහන කීපයක් තියෙනවා නම් එකක් විකුණන්න පුළුවන්ද? ඔයාට තියෙන්නේ සුඛෝපභෝගී වාහනයක් නම් ඒක විකුණලා වියදම් අඩු වාහනයක් ගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් වාහනේ විකුණලා පොදු ප්‍රවාහණ සේවයක් හරි බයිසිකලයක් හරි පාවිච්චි කරන්න පුළුවන්ද?
විනෝදය. යම් ගෙවීමක් කරන්න වෙන රූපවාහිනී නාලිකා, සැටලයිට් සහ කේබල් TV වගේ සේවාවන් ටික කාලෙකට නවත්වන්න හරි අයින් කරලාම දාන්න හරි පුළුවන්ද? අඩු වියදමකින් විනෝද වෙන්න පුළුවන් ක්‍රම හොයාගන්න පුළුවන්ද? උදාහරණයකට ඔයා ඉන්න ප්‍රදේශයේ තියෙන පුස්තකාලයකින් සමහරවිට ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් තියෙන පොත් පත්, ඕඩියෝ මාධ්‍යයෙන් තියෙන පොත් පත් එහෙමත් නැත්නම් චිත්‍රපටි නොමිලේ ලබාගන්න හැකියාව තියෙන්න පුළුවන්.
බිල් පත්. වතුර, විදුලිය සහ ඉන්ධනවලට යන වියදම් අඩු කරගන්න පුළුවන් කොහොමද කියලා පවුලක් විදිහට කතා කරන්න. ලයිට් නිවන එක, නානකොට වතුර අරපිරිමැස්මෙන් පාවිච්චි කරන එක එච්චර ලොකු දේවල් නෙමෙයි කියලා ඔයාට හිතෙයි. ඒත් ඒ වගේ පුරුදුවලින් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්.
කෑම. පිටින් කන එක නවත්වන්න. ඒ වෙනුවට ගෙදරදීම කෑම හදාගන්න. උයන්නේ මොනවාද කියලා හොඳට සැලසුම් කරන්න. පුළුවන් නම් බඩු මුට්ටු ගද්දී ටික ටික ගන්නේ නැතුව එකපාර වැඩි ප්‍රමාණයක් ගන්න. ඒ වගේම කෑම උයද්දීත් සැරින් සැරේ උයනවා වෙනුවට පුළුවන් නම් එක සැරේ උයන්න. කෑම ඉතුරු වුණොත් ඒවා විසි කරන්න එපා. බඩු මුට්ටු ගන්න යනකොට ලැයිස්තුවක් හදාගන්න. එතකොට දකින දකින දේවල් ගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. එළවළු, පලතුරු ගද්දී ඔයාගේ පැත්තේ ලාභෙට තියෙන ඒවා ගන්න. කඩචෝරු කන එක නවත්වන්න. ඔයාගේ වත්තේ පොඩි වගාවක් දාන්න පුළුවන්ද කියලා හිතලා බලන්න.
ඇඳුම් පැළඳුම්. අලුත් විලාසිතා ආවා කියලාම ඇඳුම් ගන්නේ නැතුව ඔයාගේ ඇඳුම් පරණ වෙලා නම් විතරක් ඇඳුම් ගන්න. තොග අවසන් කිරීමේ සේල්වලින්, පාවිච්චි කරපු බඩු විකුණන සාප්පුවලින් හොඳ ඇඳුම් ගන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. මැෂින්වලින් රෙදි වේළන්නේ නැතුව පුළුවන් හැම වෙලාවකම අව්වේ දාලා රෙදි වේළගන්න. එතකොට විදුලි බිල අඩු කරගන්න ඔයාට පුළුවන්.
මිල දී ගන්න ඉන්න දේවල්. මොනවා හරි දෙයක් ගන්න කලින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ඒ වියදම දරන්න මට පුළුවන්ද? ඇත්තටම ඒ දේ මට ඕනෙද? ගෙදර බඩු, ඉලෙක්ට්‍රෝනික උපකරණ, වාහන වගේ දේවල් අලුතෙන් ගන්න එක ටික කාලෙකට කල් දාන්න ඔයාට පුළුවන්ද? ඒ වගේම ඔයා දැනට පාවිච්චි කරන්නේ නැති බඩු විකුණන්න පුළුවන්ද? එහෙම කරන එකෙන් ඔයාගේ ජීවිතේ සරල කරගන්නත් තව කීයක් හරි හොයාගෙන ඔයාගේ ආදායම වැඩි කරගන්නත් පුළුවන් වෙයි.
යෝජනාවක්: හිතුවේ නැති විදිහට ආදායම අඩු වෙන එක හුඟක් මුදල් වැය වෙන, ඔයාට හානියක් වෙන පුරුදුවලින් ඈත් වෙන්න ලොකු උදව්වක්. දුම්කොළ පාවිච්චි කරන එක, සූදුවේ යෙදෙන එක, සීමාව ඉක්මවලා මත්පැන් ගන්න එක වගේ දේවල් නවත්වන එක ඔයාගේ සාක්කුවට වගේම සෞඛ්‍යයටත් හොඳයි.
5. බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
බයිබලේ මේ වගේ සමබර අදහසක් කියලා තියෙනවා. “මුදල ආරක්ෂාවක් වන්නා සේම ප්‍රඥාවද ආරක්ෂාවකි. නමුත් දැනුම සමඟ ප්‍රඥාව අත් කරගැනීම මුදලට වඩා වටින්නේය. මන්ද ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.” (දේශනාකාරයා 7:12) ජීවිතය ආරක්ෂා කරගන්න උදව් වෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් තියෙන්නේ බයිබලයෙයි. හුඟක් අය ඒ මඟ පෙන්වීම් අදාළ කරගෙන තියෙන නිසා මුදල් සම්බන්ධ කාරණා ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා.—මතෙව් 6:31, 32.