වසංගතයට කලින් තිබුණ ජීවිතේ ආයේ අපිට ලැබෙයිද?
“අපි හැමෝටම ඕනෙ පුරුදු විදිහටම ආයේ ජීවිතේ ගත කරන්න.”—ඇන්ජලා මර්කල්, ජර්මානු චාන්සලවරියක්.
සමහර වෙලාවට ඔයාත් ඒ අදහසට එකඟ වෙනවා ඇති. මොකද මේ වෙද්දී කොරෝනා වසංගතේ නිසා ලෝකේ පුරා ඉන්න හැමෝගෙම වගේ ජීවිත කණපිට පෙරළිලායි තියෙන්නේ. ඇත්තටම මිනිස්සු ආසාවෙන් ඉන්නේ මොන වගේ ජීවිතයකටද?
කලින් ගත කරපු ජීවිතේ ආයෙත් ගත කරන්න. සමහර අය කලින් වගේ යාළුවෝ හම්බ වෙලා කාලේ ගත කරන්න, එයාලව ආදරෙන් වැළඳගන්න, හිතේ හැටියට ගමන් බිමන් යන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා. වෛද්‍ය ඇන්තනි ෆවුචි a කියනවා හුඟදෙනෙක් පුරුදු ජීවිතේ කියලා කියන්නේ “හෝටලේකට ගිහිල්ලා කෑම වේලක් ගන්න එක, එහෙම නැත්නම් චිත්‍රපටියක් බලන්න යන එක වගේ දේවල්වලට” කියලා.
කලින්ට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න. සමහර අය හිතනවා එයාලගේ ජීවිතේ කලින්ට වඩා හොඳ අතට හරවන්න මේක හොඳ අවස්ථාවක් කියලා. පැය ගණන් මැරීගෙන රස්සාවල් කරන්න වෙන එක, ජාති භේද සහ පන්ති භේද නිසා මිනිස්සුන්ව පහත් කරලා සලකන එක, මිනිස්සු වැඩි වැඩියෙන් මානසික රෝග සහ වෙනත් අසනීපවලින් දුක් විඳින එක වගේ දේවල්වලට විසඳුමක් ලැබෙන්න ඕනෙ කියලා එයාලා හිතනවා. ලෝක ආර්ථික සංවිධානය ආරම්භ කරන්න මුල් වුණ ක්ලවුස් ෂ්වාබ් මෙහෙම කියනවා. “වසංගතය නිසා ඇත්තටම අපිට ඕනෙ මොන වගේ ජීවිතයක්ද කියලා ටිකක් නැවතිලා හිතලා බලන්න අපිට අවස්ථාව ලැබුණා. හැබැයි දේවල් ආයෙත් යථා තත්වෙට ආවාම කට්ටියට මේක ඉක්මන්ට අමතක වෙනවා. ඒ නිසා අපේ ලෝකේ වෙනස් කරන්න ඕනෙ නම් ඒක කල් දාලා බෑ. ඉක්මන්ට පියවර ගන්න ඕනේ.”
වසංගතේ නිසා සමහර අයගේ ජීවිත කොච්චර උඩු යටිකුරු වෙලා තියෙනවාද කියනවා නම් එයාලා හිතන්නේ කලින් වගේ සතුටින් ජීවත් වෙන එක නිකන්ම හීනයක් විතරයි කියලා. මොකද ගොඩක් අයගේ රස්සාවල් නැති වෙලා, ඉන්න හිටින්න තිබුණ තැන නැති වෙලා, හොඳට නිරෝගීව හිටපු අයට දැන් කලින් වගේ දේවල් කරගන්න බැහැ. ඒ විතරක් නෙවෙයි ගොඩක් අයට එයාලා ආදරේ කරපු අයව මේ වසංගතේ නිසා අහිමි වෙලා තියෙනවා.
ඇත්ත, අපි කාටවත් හරියටම කියන්න බැහැ මේ වසංගතේ ඉවර වුණාට පස්සේ අපේ ජීවිතේ මොන වගේ වෙයිද කියලා. (දේශනාකාරයා 9:11) හැබැයි ඉස්සරහට තවත් මේ වගේ අමාරු දේවලට මුහුණ දෙන්න වෙනවා කියලා තේරුම්ගන්නත් සිද්ධ වෙන ඕනෙම දේකට සාර්ථකව මුහුණ දෙන්නත් බයිබලේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි හිතුවෙවත් නැති විදිහේ ලස්සන අනාගතයක් ගැන විශ්වාස කරන්න පුළුවන් පොරොන්දුවකුත් බයිබලේ තියෙනවා.
කොරෝනා වසංගතේ ගැන හරි විදියට හිතන්න
බයිබලේ හුඟ කාලෙකට කලින්ම කියලා තිබුණා “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදයේදී” දරුණු විදිහට පැතිරෙන ලෙඩ රෝග සහ “වසංගත” ඇති වෙනවා කියලා. (මතෙව් 24:3; ලූක් 21:11) ඒ විතරක් නෙවෙයි යුද්ධ, ප්‍රබල භූමිකම්පා, කෑම හිඟකම වගේ තවත් දේවල් සිද්ධ වෙනවා කියලත් බයිබලේ කලින්ම කියලා තිබුණා. ඒ විදිහට බලද්දී මේ වසංගතය බයිබල් අනාවැකිවල ඉටුවීමක්!
ඒක දැනගෙන ඉන්න එකෙන් තියෙන ප්‍රයෝජන: මේ වසංගතේ නිසා අපි මුහුණ දෙන තත්වය ඉස්සරහට හොඳ අතට හැරුණත් බයිබලේ කියන්නේ අපි ජීවත් වෙන්නේ “ඉතා අසීරු, අනතුරු සහිත කාලයක” කියලා. (2 තිමෝති 3:1) ඒක දැනගෙන ඉන්න එක ඉස්සරහටත් තව හුඟක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා තේරුම්ගන්න අපිට උදව් වෙනවා.
හරි විදිහට බලන්න බයිබලය අපිට උදව් වෙන විදිහ: අපි ජීවත් වෙන මේ කාලේ දවසින් දවස ප්‍රශ්න ගැටලු වැඩි වුණත් අපි ඉන්නේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න ඔන්න මෙන්න තියෙන කාලෙක කියලා බයිබලේ කියනවා. ඒ මොන වගේ වෙනසක්ද?
ඔයා හීනෙන්වත් හිතපු නැති විදිහේ ලස්සන අනාගතයක්!
මේ කාලේ අපිට මුහුණ දෙන්න වෙන බරපතළ ප්‍රශ්න ගැටලු ගැන විතරක් නෙවෙයි, ළඟදීම අපිට ලැබෙන්න යන ලස්සන ජීවිතයක් ගැනත් බයිබලේ කලින්ම කියලා තියෙනවා. ඒක කිසිම මිනිස් පාලකයෙක්ට දෙන්න බැහැ. ඒ දේ කරන්න පුළුවන් දෙවියන්ට විතරයි. බයිබලේ මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “එලෙසම දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:4.
යෙහෝවා b දෙවියන් දීලා තියෙන පොරොන්දු: “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.” (එළිදරව් 21:5) ඒකෙන් පේනවා දෙවියන් අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයකටම විසඳුමක් ගේන්න යනවා කියලා. විශේෂයෙන්ම මේ වසංගතේ නිසා තව තවත් දරුණු අතට හැරිලා තියෙන හැම ප්‍රශ්නයක්ම ඔහු විසඳන්න යනවා. ඔහු දෙන්න යන්නේ මොන වගේ විසඳුම්ද?
හැම කෙනෙක්ම ශාරීරිකව, මානසිකව නිරෝගීව ඉන්න යනවා. කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේවත් මැරෙන්නේවත් නැහැ.—යෙසායා 25:8; 33:24.
සොච්චම් පඩියකට මිනිස්සුන්ගේ ශ්‍රමය හූරගෙන කන රස්සාවල් වෙනුවට හැමෝටම තෘප්තියක් ලැබෙන විදිහේ වැඩ තියෙනවා.—යෙසායා 65:22, 23.
එදාට කිසිම කෙනෙක් දුප්පත්කම නිසා දුක් විඳින්නේවත් බඩගින්නේ ඉන්නේවත් නැහැ.—ගීතාවලිය 72:12, 13; 145:16.
අතීතයේදී මුහුණ දීපු කටුක අද්දැකීම් නිසා දැනෙන වේදනාව, මානසික පීඩනය එදාට තියෙන්න යන්නේ නැහැ. මරණය නිසා අපෙන් වෙන් වුණ අපේ ආදරණීයයන්ට ආයෙත් මේ පොළොවේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.—යෙසායා 65:17; ක්‍රියා 24:15.
ඒක දැනගෙන ඉන්න එකෙන් තියෙන ප්‍රයෝජන: බයිබලේ මෙහෙම කියනවා. “අපට තිබෙන ඒ බලාපොරොත්තුව අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය.” (හෙබ්‍රෙව් 6:19) ඒ බලාපොරොත්තුව අපිට ලොකු සහනයක්. අද අපිට මොන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් ඒවා ගැන ඕනාවට වඩා වද වෙන්නේ නැතුව අපේ සතුටින් ඉන්න ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා.
ඒත් ඇත්තටම බයිබලේ දීලා තියෙන ඒ පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න “බයිබලය සත්‍ය තොරතුරු අඩංගු විශ්වාසවන්ත පොතක්” කියන ලිපිය බලන්න.
වසංගත තත්වය අඩු වෙද්දී උදව් වෙන බයිබලයේ තියෙන මඟ පෙන්වීම්
ජීවිතය වටිනා දෙයක් විදිහට සලකන්න
බයිබල් පදය: “ප්‍රඥාව නිසා කෙනෙකුගේ ජීවිතය රැකෙයි.”—දේශනාකාරයා 7:12.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඥානවන්ත පියවර ගන්න. ඔයා ඉන්න ප්‍රදේශයෙන් වෛරසය වැලඳෙන්න කොච්චර අවදානමක් තියෙනවාද කියලත් කීදෙනෙක් එන්නතේ සම්පූර්ණ මාත්‍රාවන් අරගෙන තියෙනවාද කියලත් හොයලා බලන්න. ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලධාරීන් දීලා තියෙන මඟ පෙන්වීම් ඒ විදිහටම පිළිපදින්න.
දිගටම පරෙස්සම් වෙන්න
බයිබල් පදය: “ප්‍රඥාවන්තයා දෙවි කෙරෙහි ගරුබියක් ඇති නිසා නපුරෙන් ඈත් වෙයි. එහෙත් අඥානයා උදහස් වී තම මතයේම එල්බගෙන සිටියි.”—හිතෝපදේශ 14:16.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: දිගටම ඔයාගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. මොකද කොරෝනා වෛරසය තව සෑහෙන කාලයක් යන කල් තියෙයි කියලා ප්‍රවීණයන් කියනවා.
ලැබෙන තොරතුරු ඇත්තද කියලා හොයලා බලන්න
බයිබල් පදය: “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: ලැබෙන හැම තොරතුරක්ම විශ්වාස කරන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඔයා එහෙම කළොත් එක එක අය කියන බොරු තොරතුරුවලට රැවටිලා ඔයා අමාරුවේ වැටෙන්න පුළුවන්.
තත්වයට අනුව හැඩගැහෙන්න
බයිබල් පදය: “‘අතීතයේ මම මීට වඩා සතුටින් සිටියෙමි’ යයි නොකියන්න. මන්ද එලෙස කල්පනා කිරීම ප්‍රඥාවන්ත දෙයක් නොවේ.”—දේශනාකාරයා 7:10.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: දැන් ගත කරන ජීවිතේට හැඩගැහිලා සතුටින් ඉන්න උත්සාහ කරන්න. වසංගතයට කලින් ඔයා ගත කරපු ජීවිතය ගැනවත් වසංගතය එක්ක දාපු තහංචි නිසා ඔයාට කරගන්න බැරි වුණ දේවල් ගැනවත් හිතහිත ඕනාවට වඩා දුක් වෙන්න එපා.
අනිත් අයට ගරු කරන්න
බයිබල් පදය: “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න.”—1 පේතෘස් 2:17.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: හැමෝම මේ වසංගතයට මුහුණ දෙන්නේ, වසංගත කාලේ දේවල් කරන්නේ එකම විදිහට නෙවෙයි. ඒ නිසා අනිත් අයගේ අදහස්වලට ගරු කරන්න. හැබැයි ඔයා අරගෙන තියෙන හොඳ තීරණ එයාලා නිසා වෙනස් කරන්න එපා. විශේෂයෙන් ඔයා දේවල් කරද්දී තාමත් එන්නත විදලා නැති අය ගැන, මහලු සහ බරපතළ අසනීප තියෙන අය ගැන සැලකිලිමත් වෙන්න.
ඉවසීමෙන් වැඩ කරන්න
බයිබල් පදය: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය.”—1 කොරින්ති 13:4.
ඒ උපදෙස අදාළ කරගන්න පුළුවන් විදිහ: කලින් සාමාන්‍ය විදිහට කරපු දේවල් වුණත් මේ වසංගතයෙන් පස්සේ කරද්දී සමහර අයට ලොකු බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අය එයාලට දැනෙන බය ගැන කියද්දී ඒකට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. එයාලගේ තත්වය තේරුම්ගන්න. වසංගතය නිසා දාලා තිබුණ තහංචි ටිකෙන් ටික ලිහිල් කරද්දී දේවල් කරන්න හදිස්සි වෙන්න එපා. යම් දෙයක් කරන්න පුළුවන් සුදුසුම කාලය එන කල් ටිකක් ඉවසන්න.
වසංගතයට මුහුණ දෙන්න බයිබලයෙන් උදව්
අපේ අනාගතය ගැන බයිබලේ දීලා තියෙන පොරොන්දු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ලොකු සහනයක්. ඒ පොරොන්දු නිසා දරුණු වසංගතයක් මැද වුණත් සතුටින් ඉන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. එකට එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරන්න කියලා බයිබලේ දීලා තියෙන ආඥාවට කීකරු වෙන නිසා අනිත් අයට උදව් කරන්න, එයාලව ශක්තිමත් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට හුඟක් අවස්ථා ලැබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25) මේ වසංගත කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ රැස්වීම් පවත්වන්නේ ඔන්ලයින් හරහා. ඕනම කෙනෙක්ට ඒවාට සහභාගි වෙන්න පුළුවන්.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වුණ හුඟදෙනෙක් මේ අමාරු කාලය පුරාම ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලබලා තියෙනවා. උදාහරණෙකට මේ අද්දැකීම බලන්න. කොරෝනා වෛරසය වැලඳුණ එක කාන්තාවක් ඔන්ලයින් හරහා පවත්වපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වෙනවා. එයා කියනවා වයිරස් එක නිසා හුඟක් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්න වුණත් රැස්වීම්වලට සම්බන්ධ වුණ නිසා එයා ඒකෙන් ලොකු සහනයක් අද්දැක්කා කියලා. එයා ඒ ගැන මෙහෙම කියනවා. “දැන් මට දැනෙන්නේ මාත් මේ පවුලට අයිති කෙනෙක් කියලා. මගේ මනස කලබල කරගන්නේ නැතුව සන්සුන්ව ඉන්න බයිබලේ කියවන එක මට ගොඩක් උදව් වෙලා තියෙනවා. ප්‍රශ්න ගැනම හිතහිත ඉන්නේ නැතුව අනාගතය ගැන දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව ගැන හිතන්න මට පුළුවන් වෙලා තියෙනවා. ජීවිත කාලේ පුරාම මං හරි ආසාවෙන් හිටියේ දෙවියන්ට තව කිට්ටු වෙන්න. ඒක කරන්න මට උදව් කළාට ඔයාලට ගොඩක් ස්තූතියි!”
a එක්සත් ජනපදයේ අසාත්මිකතා හා බෝ වන රෝග නිවාරණය කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂක.
b සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.