අර්මා බෙන්ටිවෝල්යී | ජීවිත කතාව
“සෑම යහපත් දීමනාවක්ම” දෙන දෙවියන්ගෙන් ලැබුණු තෑගි
හතර වටෙන්ම සයිරන් හඬ දෝංකාර දෙන්න ගත්තා. අපි දැනගත්තා ප්‍රහාරක ගුවන් යානා ළඟටම ඇවිත් කියලා. ඉතින් අම්මා මගේ පුංචි මල්ලිවත් වඩාගෙන මාවත් ඇදගෙන ළඟම තිබුණු පලතුරු වත්තකට දිව්වා. අපි එහේ තිබුණු ගස් අස්සේ හැංගුණා. ඒක වෙද්දී මට වයස අවුරුදු හයයි.
බෝම්බ දාලා ගියාට පස්සේ අම්මා මාවත් එක්කගෙන එයාගේ හොඳම යාළුවාව හැම තැනම හෙව්වා. ඒත් බෝම්බෙකට අහු වෙලා එයා මැරිලා කියලා අපිට දැනගන්න ලැබුණා. දවස් දෙක තුනකට පස්සේ ආයෙත් ඒ විදිහටම අපි හිටපු පැත්තට බෝම්බ දැම්මා. ඒ වෙලාවේ තාත්තා මාව උස්සලා අරගෙන එයාගේ බයිසිකලේ තියාගෙන පැදගෙන පැදගෙන නගරයෙන් එළියටම ගියා.
දෙවෙනි ලෝක යුද්ධය නිසා ඉතාලියේ හැම පැත්තක්ම නැති නාස්ති වෙලා තිබුණා. ඒ කාලේ වෙච්ච දේවල් මට අද වගේ මතකයි. ඒත් මගේ හිතේ වැඩියෙන්ම කෙටිලා තියෙන්නේ ඒ දේවල් නෙමෙයි. පුංචි කාලේ ඉඳන්ම මම වට වෙලා හිටියේ යෙහෝවාව හොඳට දන්න අඳුරන, එයාට ගොඩක් ආදරේ කරපු අයගෙන්. ඒ සොඳුරු මතකයන් තමයි අදටත් මට ලොකු හයියක් වෙලා තියෙන්නේ.
සත්‍යය කියන තෑග්ග
මගේ කතාව පටන්ගන්නේ මං ඉපදෙන්න මාස කීපයකට කලින් 1936 ශීත කාලේදී. තාත්තා ඒ කාලේ වැඩ කළේ රේල් පාරවල් නඩත්තු කරන කෙනෙක් විදිහට. වින්චෙන්සෝ ආර්ටූසි තාත්තාත් එක්ක වැඩ කරපු කෙනෙක්. එයා ඒ වෙනකොට බව්තීස්ම වෙලා හිටියේ නැහැ. හැබැයි බයිබලේ තිබුණු සත්‍යයන් ගැන එයාට ලොකු ආදරයක් තිබුණා. රේල් පීලිවල හිම සුද්ද කරන ගමන් වින්චෙන්සෝ එයා ඉගෙනගත්ත දේවල් ගැන තාත්තාත් එක්ක කතා කරලා තිබුණා.
ඒ වෙලාවෙම තාත්තාට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඉතිං එයායි, ෆායෙන්සා කියන අපේ ගමේ තව ටික දෙනෙකුයි ඒ ගැන තව දැනගන්න කැමති වුණා. ඒ කාලේ තිබුණු ෆැසිස්ට් පාලනය නිසා සාක්ෂිකරුවන්ට හුඟක් පීඩා විඳින්න වුණා. එයාලට ප්‍රසිද්ධියේ රැස්වීම් තියන්න බැරි වුණා. අපේ පොත් පත් ළඟ තියාගෙන අහු වුණොත් අත්අඩංගුවට ගත්තා. ඒ නිසා සමහර සාක්ෂිකරුවන් හිටියේ හිරේ. ඉතින් තාත්තායි, එයාගේ යාළුවෝයි බයිබලය කියවන්න, අපේ පොත් පත් අධ්‍යයනය කරන්න එකතු වුණේ ගම්බද පැත්තක තිබුණු පාළු ගෙදරක. තාත්තා හැම සතියකම අපේ පවුලේ හැමෝම එකතු කරගෙන බයිබල් පාඩමකුත් කළා.
යාළුවෝ දෙවියන් දුන්න තෑග්ගක්
1943දී හිරේ හිටිය සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට නිදහස ලැබුණා. මරියා පිසාටෝ කියන්නේ ඒ අයගෙන් කෙනෙක්. එයාගේ ගෙවල් තිබුණේ ඉතාලියේ උතුරු පැත්තට වෙන්න. හිරේ ඉඳන් ගෙදර යන ගමන් එයා එක රැයක් අපේ ගෙදර නැවතිලා හිටියා. ඒ කාලේ අපේ රටේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු බලාගත්තේ ස්විට්සර්ලන්ත ශාඛා කාර්යාලයෙන්. ඒ ශාඛා කාර්යාලයත් එක්ක තොරතුරු හුවමාරු කරගන්න, අපේ රටට පොත් පත් ගෙන්නගන්න මරියා හුඟක් උදව් කරලා තිබුණා. එයාව දැක්ක ගමන්ම කෙනෙක්ට හිතෙන්නේ එයා වැඩිය තැළිලා පොඩි වෙලා නැති කෙනෙක් කියලයි. ඒත් එයා කිසිම දේකට බය නැති, හොඳ දරාගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක්. යුද්ධයෙන් පස්සෙත් එයා ඉඳලා හිටලා ෆායෙන්සාවලට ආවා. එයා එන කම් අපි හිටියේ ඇඟිලි ගැන ගැන.
ඇල්බීනා කූමිනෙට්ටි කියන්නේ මං ගොඩක් ආදරේ කරපු තවත් සහෝදරියක්. එයා වයසක සහෝදරියක්. එයාගේ මහත්තයා මැරිලා හිටියේ. එයාව අඳුරගත්ත කාලේ මං යෞවනියක්. අපේ රැස්වීම තිබුණු ගොඩනැගිල්ලේම තමයි එයා හිටියේ. 1920ගණන්වල මුල් කාලේ තමයි ඇල්බීනා ඉතාලියේ පුරෝගාමී සේවය පටන් අරන් තිබුණේ. (ඒ කාලේ එයාලව හැඳින්නුවේ කෝල්පෝටර්වරු කියලා.) එයාලා කරපු සේවය ගැන හුඟක් රස කතා ඇල්බීනා මාත් එක්ක කියලා තියෙනවා.
ඇල්බීනා ගාව අපේ පරණ ප්‍රකාශන හුඟක් තිබුණා. ඒ වගේම අපේ ඉතිහාසයට සම්බන්ධ පොඩි පොඩි දේවල් වගේකුත් එයා ළඟ තිබුණා. දවසක් මං දැක්කා එයා ළඟ බැජ් එකක් තියෙනවා. ඒක මුල් කාලේ බයිබල් ශිෂ්‍යයන් (ඒ කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැඳින්නුවේ ඒ විදිහට) එයාලාගේ ඇඳුම්වල ගහපු බැජ් එකක්. ඒ බැජ් එකේ ගහලා තිබුණේ කුරුසෙකුයි, ඔටුන්නකුයි. කුරුසෙ කියන්නේ බොරු නමස්කාරයට සම්බන්ධ දෙයක් කියලා මං දැනගෙන හිටපු නිසා ඒක දැක්ක ගමන් මට පොඩි හිනාවක් ගියා. ඒ වෙලාවේ එයා සෙකරියා 4:10 තියෙන දේ මතක් කරලා මට කිව්වා ‘සුළුවෙන් පටන්ගත්ත වැඩක් කවදාවත් හෙළා දකින්න එපා’ කියලා. එයා කියපු ඒ දේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
ඒකෙන් මං ලොකු දෙයක් ඉගෙනගත්තා. ඇත්ත, මුල් කාලේ බයිබල් ශිෂ්‍යයන්ට සත්‍යය ගැන අපිට තියෙනවා වගේ අවබෝධයක් තිබුණේ නැහැ. අනික ඉතාලි භාෂාවෙන් අපේ හැම ප්‍රකාශනයක්ම තිබුණෙත් නැහැ. ඒ නිසා අපේ අවබෝධය අලුත් වුණාම ඒ තොරතුරු ඉක්මනින්ම අපේ සහෝදරයන්ට දැනගන්න ලැබුණේ නැහැ. ඒත් එයාලා සත්‍යය වෙනුවෙන් දරපු වෙහෙස යෙහෝවා හුඟක් අගය කළා. ඉතින් එයාලා කරපු දේවල් මං කොච්චර අගය කරන්න ඕනෙද කියලා මට හිතුණා.
ඇල්බීනා මට වඩා හුඟක් වැඩිමල් කෙනෙක් වුණත් එයාත් එක්ක කතා කරකර ඉන්න මං හරිම ආසයි. එයායි, මරියායි, අභියෝග තිබුණත් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරපු සහෝදරියෝ කීපදෙනෙකුයි මගේ හොඳ යාළුවෝ වුණා. මම හැම වෙලාවෙම ආදර්ශයට ගත්තේ එයාලව. ඒ වගේ හොඳ යාළුවෝ දුන්න එක ගැන මම යෙහෝවාට ගොඩක් ස්තුති කරනවා.
බෙතෙල් සේවය වටිනා තෑග්ගක්
1955 ගිම්හාන කාලේදී මම “ජයග්‍රාහක රාජ්‍යය” කියන සමුළුවට සහභාගි වෙන්න රෝමයට ගියා. ඒ සමුළුවට වෙන රටවල්වල සහෝදර සහෝදරියනුත් ඇවිත් හිටියා. මම එයාලත් එක්ක එහේ තිබුණු බෙතෙල් එක බලන්න ගියා. ඒ වෙලාවේ මට හිතුණා “මෙහේ වැඩ කරන්න තිබුණා නම් කොච්චර හොඳද” කියලා.
1955 දෙසැම්බර් 18වෙනිදා මම බව්තීස්ම වුණා. ඒ වෙද්දී මං ඉස්කෝලේ යනවා. මට ඕනෙ වුණේ ඉක්මනටම පූර්ණ කාලීන සේවය පටන්ගන්න. 1956 ජෙනොආවල තිබුණු සමුළුවක නිවේදනය කළා බෙතෙල් එකට ස්වේච්ඡා සේවකයන් ඕනෙ කියලා. ඒත් ශාඛා කාර්යාල නියෝජිතයා කිව්වා දැනට බෙතෙල් එකට සහෝදරියන්ගේ අවශ්‍යතාවක් නැහැ කියලා.
පස්සේ මං මට තිබුණු ඉලක්ක ගැන අපේ චාරිකා සේවකත් එක්ක ටිකක් කතා කළා. එයාගේ නම පියාරෝ ගැටී. a එයා සේවේ බැහැලා වැඩ කරපු කෙනෙක්. එයා කිව්වා “මං ඔයාව විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කරන්න නිර්දේශ කරන්නම්” කියලා.
ටික දවසකට පස්සේ මට ශාඛා කාර්යාලයෙන් ලියුමක් ආවා. මං හිතුවේ මට පුරෝගාමී සේවය කරන්න පැවරුමක් ලැබිලා කියලයි. ඒත් ඇත්තටම ඒකේ තිබුණේ බෙතෙල් එකේ වැඩ කරන්න එන්න කියලා ආරාධනාවක්!
ඔය විදිහට 1958 ජනවාරි මාසේ මම බෙතෙල් එකට ආවා. ඒ කාලේ බෙතෙල් එකේ 12දෙනෙක්ට වඩා හිටියේ නැහැ. මගේ පැවරුම වුණේ එහේ හිටපු පරිවර්තකයන් දෙන්නෙක්ට උදව් කරන එක. අපිට කරන්න ගොඩක් වැඩ තිබුණා. මං පරිවර්තන වැඩ මීට කලින් කරලා තිබුණේ නැතත් යෙහෝවා මට උදව් කරපු නිසා මං හරිම ආසාවෙන් මගේ පැවරුම කළා.
අවුරුදු දෙකක් යන්නත් කලින් පරිවර්තන වැඩවල වුණු වෙනස්කම් නිසා පුරෝගාමියෙක් විදිහට මගේ පැවරුම වෙනස් වුණා. ඒක දැනගත්තාම මට ලොකු දුකක් දැනුණා. මොකද ඒ වෙද්දී බෙතෙල් එක මගේම ගෙදර වෙලයි තිබුණේ. හැබැයි කාලයක් ගියාම මට තේරුණා මට ලැබුණු මේ අලුත් පැවරුමත් යෙහෝවාගෙන් ලැබුණු තෑග්ගක් කියලා.
මාත් එක්ක සේවය කරපු අය යෙහෝවා දුන්න තෑග්ගක්
1959 සැප්තැම්බර් 1වෙනිදා මං විශේෂ පුරෝගාමී සේවය පටන්ගත්තා. මං මුලින්ම සේවය කළේ ක්‍රෙමොනා කියන නගරයේ. මාත් එක්ක එකට සේවය කරපු සහෝදරියගේ නම ඩොරිස් මයර්. එයා ඩෙන්මාර්ක්වල ඉඳන් ආපු සහෝදරියක්. එයා මට වඩා අවුරුදු කීපයයි වැඩිමල්. ඒත් එයාට සේවය කරලා ගොඩක් අද්දැකීම් තිබුණා. ඉතින් එයාගෙන් ඉගෙනගන්න මං හරිම ආසාවෙන් හිටියේ. එයා කිසිම දේකට බය නැති කෙනෙක්. එයා මොකක් හරි කරන්න හිතුවොත් ඒක කොහොමහරි කරලා තමයි නවතින්නේ. ඒ නගරයේ සාක්ෂිකරුවන්ට හිටියේ අපි දෙන්නා විතරයි. ඒ නිසා ඒ වගේ ගුණාංග අපි දෙන්නාටම තියෙන එක අත්‍යවශ්‍ය වුණා.
ඩොරිස් මට කලින් ක්‍රෙමොනාවලට ඇවිත් රැස්වීම් පවත්වන්නත් තැනක් ලෑස්ති කරලයි තිබුණේ. එහේ හිටපු කතෝලික පූජකයන්ට අපි කරපු සේවය ගැන ඉක්මනටම ඉව වැටුණා. එයාලා හිටියේ අපි එක්ක පුදුම කේන්තියකින්. පල්ලියේ දේශනවලදී එයාලා අපිට හොඳටම බැන්නා.
දවසක් අපිට පොලිසියට එන්න කිව්වා. එයාලා අපිව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඒත් එයාලා පැහැදිලිවම කිව්වා ඩොරිස් වෙන රටක කෙනෙක් නිසා ඉක්මනින්ම ක්‍රෙමොනාවලින් පිට වෙන්න ඕනෙ කියලා. පස්සේ ඩොරිස් ඩෙන්මාර්ක්වලට ගියා. එයා එහෙදීත් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළා.
වැඩි දවසක් යන්න කලින් තවත් තනිකඩ සහෝදරියක්ව ක්‍රෙමොනාවල සේවය කරන්න එව්වා. එයාගේ නම බෘනිල්ඩ් මාර්කි. එයා වැඩිය කලබල නැති, හැමෝම එක්ක ඉක්මනට යාළු වෙලා වැඩ කරපු කෙනෙක්. එයා සේවය කරන්නත් හරිම ආසයි. අපිට හුඟක් බයිබල් පාඩම් තිබුණා. සමහර ඒවා ඉක්මනටම දියුණු වුණා.
ක්‍රෙමොනාවල සුළුවෙන් පටන්ගත්ත සේවයට මටත් හවුල් වෙන්න අවස්ථාව දුන්න එක ගැන මං යෙහෝවාට ගොඩක් ස්තුති කරනවා. අද එහේ සභා පහක් තියෙනවා.
හිතාගන්න බැරි තෑග්ගක්
ඔය විදිහට අවුරුදු දෙකක් විතර ගෙවිලා ගියා. දවසක් මට ශාඛා කාර්යාලයෙන් කෝල් එකක් ආවා. 1961 ජූලි මාසේ “එක්සත් නමස්කාරයේ හවුල් වෙන්නන්” කියලා දවස් හයක සමුළුවක් සැලසුම් කරලා තිබුණා. ඒකේ පරිවර්තන වැඩවලට උදව් කරන්න බෙතෙල් එකට එන්න කියලා එයාලා මට කිව්වා. ඒක අහලා මං උඩ පැනපැන නැටුවා! 1961 පෙබරවාරි 1වෙනිදා මං ආයෙත් බෙතෙල් එකට ආවා.
පරිවර්තන වැඩවලට අපිට හුඟක් මහන්සි වෙන්න වුණා. අපි පැය ගාණක් වැඩ කළා. ඒත් අපේ ප්‍රකාශන පරිවර්තනය කරන්න ලැබුණ එක කොච්චර වටිනවාද! ඒ මාස ටිකත් ඉක්මනටම ගෙවිලා ගියා. දන්නෙම නැතුව සමුළුව පටන්ගන්න දවසත් ආවා.
‘නව ලොව පරිවර්තනයේ’ ග්‍රීක ලියවිල්ල ඉතාලි භාෂාවට පරිවර්තනය කරන්න යනවා කියලා ඒ සමුළුවේදී නිවේදනය කළා. ඒ වෙලාවේ මට හිතුණා ‘කරන්න වැඩ කන්දරාවක් තියෙයි’ කියලා. හිතුවා වගේම මට දිගටම බෙතෙල් එකේ ඉන්න කියලා කිව්වා. එදා ඉඳන් දැන් අවුරුදු 60ක් ගිහිල්ලා. මං තාමත් බෙතෙල් එකේ!
යෙහෝවාගෙන් ලැබුණු තවත් වටිනා තෑගි
තනිකඩ කෙනෙක් විදිහට යෙහෝවාට සේවය කරන්න ලැබුණ එකත් මං සලකන්නේ මට ලැබුණු වටිනා තෑග්ගක් විදිහට. විවාහ වෙන එක ගැන මම හිතුවේ නැතුවම නෙමෙයි. ටික කාලයක් මම ඒ ගැන හිතලා වධත් වුණා. ඉතින් මම යෙහෝවාට මගේ හිතේ තියෙන හැම දේම කිව්වා. වෙන කාටත් වඩා මං ගැන හොඳටම දන්නේ ඔහුනේ. ඉතින් මම ඔහුට කිව්වා මට හොඳම දේ මොකක්ද කියලා මට පෙන්නන්න කියලා.
ඒ ගැන තීරණයක් ගන්න මතෙව් 19:11, 12 සහ 1 කොරින්ති 7:8, 38 වගේ බයිබල් පද මට හුඟක් උදව් වුණා. කරන්න ඕනෙ මොනවාද කියලා යෙහෝවා මට පෙන්නපු නිසා මගේ හිතට ලොකු සහනයක් දැනුණා. මට උදව් කරපු එක ගැන මං යෙහෝවාට ගොඩක් ස්තූති කරනවා. මං ගත්ත තීරණය ගැන මං කවදාවත් දුක් වෙන්නේ නැහැ. යෙහෝවාට මගේ උපරිමය දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි.
මං සේවය කරපු අවුරුදු ගාණ පුරාම මං දැක්කා යෙහෝවාගේ සංවිධානය අලුත් තාක්ෂණය සහ “ජාතීන්ගේ කිරි” වගේ වෙනත් දේවල් පාවිච්චි කරලා දියුණු වුණු විදිහ. (යෙසායා 60:16) ඒත් එක්කම පරිවර්තන අංශයෙත් හුඟක් වෙනස්කම් වුණා. ඒ වෙනස්කම් නිසා ලෝකේ පුරාම ඉන්න සහෝදරයන්ට තවත් එක්සත්ව වැඩ කරන්න පුළුවන් වුණා. උදාහරණෙකට 1985දී ඉංග්‍රීසි භාෂාවෙන් ‘මුරටැඹ’ මුදාහරිද්දී ඉතාලි භාෂාවෙනුත් ඒ එක්කම ‘මුරටැඹ’ මුදාහරින්න පුළුවන් වුණා. අද වෙනකොට jw.org වෙබ් අඩවියේ හුඟක් භාෂාවලින් අපේ ලිපි සහ වීඩියෝ පළ වෙනවා. ඒවාවලින් වැඩි හරියක් ඉංග්‍රීසි භාෂාවත් එක්කම පළ කරනවා. ඒකෙන් පැහැදිලියි යෙහෝවා ඔහුගේ සෙනඟව එක්සත් කරලා එයාලට ඕනෙ කරන පෝෂණය නියම වෙලාවට දෙනවා කියලා.
යෙහෝවා මට හුඟක් තෑගි දීලා තියෙනවා. විශේෂ පුරෝගාමී සේවය කරලා හුඟදෙනෙක්ව ඔහුට ළං කරන්න ඔහු මට අවස්ථාව දුන්නා. බෙතෙල් සේවය කරන්න මට තිබුණු ආසාවත් ඔහු ඉටු කළා. එහෙදී එක එක වයස්වල, එක එක පසුබිම්වල අයව හොඳ යාළුවෝ කරගන්නත් මට පුළුවන් වුණා. යෙහෝවා මට දුන්න තවත් ලස්සන තෑග්ගක් තියෙනවා. ඒ තමයි අවුරුදු 68ක් වයස මගේ අම්මා බව්තීස්ම වෙනවා දකින්න ලැබුණ එක. යෙහෝවා සොහොන් ගෙවල්වල ඉන්න අයව නැවත නැඟිට්ටවද්දී එයාවයි, මගේ පවුලේ අනිත් අයවයි දකින්න මං ඉන්නේ හරිම ආසාවෙන්.—යොහන් 5:28, 29.
යෙහෝවා ‘හැම දෙයක්ම අලුතින් හදන’ කාලේදී ඔහුගේ සේවකයන්ට දෙන්න යන ඒ ලස්සන අනාගතය දකින කල් මං ඉන්නේ නොඉවසිල්ලෙන්. (එළිදරව් 21:5) එදාට ‘හැම යහපත් දීමනාවක්ම, කිසිම අඩුපාඩුවක් නැති හැම තෑග්ගක්ම’ මදි නොකියන්න යෙහෝවා අපිට දෙනවා කියලා මට කිසිම සැකයක් නැහැ.—යාකොබ් 1:17.
a පියාරෝ ගැටීගේ ජීවිත කතාව 2011 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ 20-23 පිටුවල පළ වුණා.