Skip to content

පටුනට යන්න

ඇස්ටර් පාකර් | ජීවිත කතාව

මට ඕන වුණේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යෙහෝවාට කැප කරන්නයි

මට ඕන වුණේ ජීවිතේ සම්පූර්ණයෙන්ම යෙහෝවාට කැප කරන්නයි

 චූටි කාලේදීම මට සත්‍යය කියලා දුන්න එක ගැන මගේ රත්තරන් අම්මාටයි, තාත්තාටයි මං ගොඩක් ණයගැතියි. ‘අහිමි පාරාදීසයේ සිට උරුම වූ පාරාදීසය දක්වා’ (සිංහලෙන් නැහැ) කියන පොතේ තියෙන ලස්සන පින්තූරයි, කතන්දරයි පාවිච්චි කරලා යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න එයාලා මට කියලා දුන්නා. ඒ ඉගෙනගත්ත දේවල් මං හරිම ආසාවෙන් අහළ පහළ හිටපු මගේ යාළුවන්ට කිව්වා. අපිව බලන්න සීයා ගෙදර ආවාම එයාටත් කිව්වා. අම්මායි, තාත්තායි අපිව රැස්වීම්වලට අරන් ගියා. සේවේ ගෙනිච්චා. එයාලා නමස්කාරයට සම්බන්ධ කිසිම දෙයක් අතපසු කළේ නැහැ. අපි එරිත්‍රියාවේ ඉඳලා ඉතියෝපියාවට ගියාම ඒ පුහුණුව තමයි එහෙට හැඩගැහෙන්න අපිට උදව් වුණේ.

 පොඩි කාලේ ඉඳන්ම සත්‍යය ගැන මට තිබුණේ පුදුම ආදරයක්. මට ඕන වුණා ඉක්මනටම යෙහෝවා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙන්න. අවුරුදු 13දී ඒ ඉලක්කය ජය ගන්න මට පුළුවන් වුණා. මට අවුරුදු 14දී සහෝදර හෙල්යේ ලින්ක් a මගෙන් ඇහුවා ඔයා පුරෝගාමි සේවය කරන්න ආස නැද්ද කියලා. ඒ දවස මට අද වගේ මතකයි. ඒ වෙද්දී මගේ අම්මායි, තාත්තායි සහායක පුරෝගාමි සේවය කරලා තිබුණාට ස්ථාවර පුරෝගාමි සේවය ගැන මං ලොකු දෙයක් දැනන් හිටියේ නෑ. හැබැයි එදා සහෝදර ලින්ක් මගෙන් අහපු දේ නිසා පුරෝගාමියෙක් විදිහට වැඩි සේවයක් කරන්න ආසාවක් මගේ හිතේ පැළ වුණා.

මගේ මල්ලි ජොෂියා එක්ක

පීඩා පටන්ගත්තා

 1974 ඉතියෝපියාවේ දේශපාලන ප්‍රශ්න පටන්ගත්ත නිසා හුඟක් අයව අත්අඩංගුවට ගත්තා. සමහර අයව මැරුවා. ඒක හරිම භීෂණ කාලයක්. ටික දවසක් යද්දී අපිට ගෙයින් ගෙට ගිහිල්ලා දේශනා කරන්න බැරුව ගියා. අපි රැස්වීම් තිබ්බෙත් පොඩි පොඩි කණ්ඩායම් විදිහට. ඉස්සරහට එන්න තිබුණ ප්‍රශ්නවලට අපේ දෙමාපියන් අපිව කලින්ම ලෑස්ති කළා. දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැතුව ඉන්න ඕනෙ ඇයි කියලා තේරුම්ගන්න බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වුණා. අපෙන් ප්‍රශ්න කරද්දී ඒවාට උත්තර දෙන්න යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද කියලත් අපි නිහඬව ඉන්න ඕනෙ කොයි වගේ වෙලාවලටද කියලත් අම්මලා අපිට කියලා දුන්නා.—මතෙව් 10:19; 27:12, 14.

AFP PHOTO

1974දී දේශපාලන ප්‍රශ්න තිබුණ කාලේ

 මං ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ ඉතියෝපියාවේ ගුවන් තොටුපොළේ රස්සාවකට ගියා. දවසක් උදේ මං වැඩට ගියාම මාත් එක්ක එකට වැඩ කරන අය මට සුබ පතන්න ගත්තා. එයාලා කිව්වා ආණ්ඩුවේ උත්සවයක් වෙනුවෙන් තියෙන පෙළපාලියක නායකයා විදිහට මාව තෝරගෙන තියෙනවා කියලා. ඒ වෙලාවෙම මං සුපර්වයිසර්ට ගිහින් කිව්වා මං දේශපාලන කාරණාවලට සම්බන්ධ වෙන්නේ නැති නිසා මට ඒකට එන්න බෑ කියලා.

 පහුවදා මං වැඩ කරකර ඉන්නකොට දැක්කා රයිෆල් අරගත්ත හමුදා සෙබළු කීපදෙනෙක් ටිකට් කවුන්ටරේ පැත්තට එනවා. මං හිතුවා එයාලා එන්නේ රටින් පනින්න හදන කාව හරි අල්ලන්න කියලා. ඒත් එයාලා ඇඟිල්ල දික් කරකර මාව පෙන්නලා මොනවාද කිව්වා. ඒ වෙලාවේ මට හිතුණා එයාලට මාව පෙන්නලා මොනවාද කියන්න තියෙන්නේ කියලා. සුපුරුදු විදිහට හරිම සැනසීමෙන් දවස පටන්ගත්තාට හිතුවේවත් නැති දෙයක් තමයි එදා සිද්ධ වුණේ.

හිරේට දැම්මත් තනි වුණේ නෑ

 හමුදා සෙබළු මාව ඔෆිස් එකකට අරන් ගිහිල්ලා පැය ගාණක් මගෙන් ප්‍රශ්න කෙරුවා. එයාලා හරිම තදින් මගෙන් ඇහුවා “කවුද සාක්ෂිකරුවන්ට ගෙවන්නේ? ඔයා එරිත්‍රියාවේ විමුක්ති පෙරමුණට වැඩ කරනවාද? ඔයාලා ඇමරිකාවේ ආණ්ඩුවට ඔත්තු බලන අයද” කියලා. ඒ වෙලාවේ මට ලොකු පීඩනයක් දැනුණත් යෙහෝවා මට උදව් කරපු නිසා ඒ ප්‍රශ්නවලට සන්සුන්ව උත්තර දෙන්න මට පුළුවන් වුණා.—ෆිලිප්පි 4:6, 7.

 එයාලා මාව ගේකට අරන් ගියා. ඒක හිරගෙයක් විදිහට පාවිච්චි කරපු එකක්. ඊටපස්සේ මාව ටිකක් ලොකු කාමරේකට දැම්මා. ඒක ඇතුළේ තරුණ ගෑනු ළමයි 15ක් විතර හිටියා. එයාලා දේශපාලන හිරකරුවන්.

ගුවන් තොටුපොළේ වැඩ කරද්දී

 එදා රෑ මට නිදාගන්න වුණේ වැඩට ඇඳපු ඇඳුම පිටින්මයි. මං බිම දිගා වෙලා අම්මලා ගැනයි, නංගිලා මල්ලිලා ගැනයි ගොඩක් හිතුවා. මට පුදුම දුකක් දැනුණා. මාව අත්අඩංගුවට ගත්තාට මාව මොන ලෝකෙක හිර කරන් ඉන්නවාද කියලා එයාලා දැනන් හිටියේ නෑ. මාව හිර කරලා තියෙන්නේ කොහෙද කියලා දැනගන්න එයාලට උදව් කරන්න කියලා මං යෙහෝවාට යාච්ඤා කළා.

 ඊළඟ දවසේ උදේ හරි පුදුම දෙයක් වුණා. එතන මං අඳුරන කෙනෙක් හිටියා. බැලින්නම් එයා එතන ගාඩ් කෙනෙක්. එයාත් මාව දැකලා පුදුම වෙලා මගෙන් ඇහුවා “ඇස්ටර්, ඔයා මොනවාද මෙහේ කරන්නේ” කියලා. මං එයාගෙන් ඉල්ලුවා මං ඉන්නේ මෙහේ කියලා අම්මලාට ගිහින් කියන්න කියලා. ඉතිං එදාම අම්මලා මට කෑමයි, ඇඳුනුයි එව්වා. එදා යෙහෝවා මගේ යාච්ඤාවට උත්තර දුන්නා. ඒකෙන් මං සැක හැරලා තේරුම්ගත්තා යෙහෝවා මාත් එක්ක ඉන්නවා, මං තනි වෙලා නෑ කියලා.

 එහෙදී බයිබලේ කියවන්නවත් අපේ සඟරා කියවන්නවත් පවුලේ කෙනෙක්ට, යාළුවෙක්ට මාව බලන්න එන්නවත් අවසර තිබුණේ නෑ. ඒත් යෙහෝවා හිරේ ඉන්න අයව පාවිච්චි කරලා මාව දිරිගැන්වුවා. එහෙදී හැම දවසකම මං අනිත් අයට දේශනා කළා. එයාලත් දේවරාජ්‍ය පණිවිඩේ ඇහුවේ හරිම උනන්දුවෙන්. එයාලා මගෙන් ප්‍රශ්නත් ඇහුවා. එයාලා මට නිතරම වගේ කිව්වා “අපි මේ සටන් කරන්නේ රටේ ආණ්ඩුව වෙනුවෙන්. ඒත් ඔයා සටන් කරන්නේ දේවරාජ්‍යය වෙනුවෙන්. ඔයාව මරනවා කිව්වත් දෙවියන්ගේ ආණ්ඩුව පාවලා දෙන්න එපා.”

 සමහර වෙලාවට එහේ හිටපු ගාඩ්ලා හිරකාරයන්ව ප්‍රශ්න කරන්න අරන් ගිහින් හොඳටම ගහනවා. එයාලා මාව අත්හැරියෙත් නෑ. දවසක් රෑ 11ට විතර මාවත් අරන් ගිහිල්ලා ගොඩක් බොරු චෝදනා කළා. එයාලා මට කිව්වා මං ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නෑ කියලා. එයාලා සටන් පාඨයක් කියලා ඒක මටත් කියන්න කිව්වා. මං බෑ කිව්වාම පිරිමි ගාඩ්ලා දෙන්නෙක් මට හොඳටම ගැහුවා. සැරයක් දෙසැරයක් නෙවෙයි කීප සැරයක්ම එහෙම වුණා. ඒ හැම වෙලාවකම මං යෙහෝවාට හුඟක් යාච්ඤා කළා. එතකොට මට දැනුණේ පුදුම සහනයක්.

 මාස තුනකට පස්සේ එයාලා මාව නිදහස් කරනවා කියලා කිව්වා. ඒක දැනගත්තාම මට පුදුම හිතුණා, සතුටකුත් දැනුණා. හැබැයි පොඩි දුකකුත් නොතිබුණාම නෙවෙයි. මොකද ඒ වෙද්දී තරුණ කාන්තා හිරකරුවන් කීපදෙනෙක් එක්ක මං බයිබලේ තියෙන දේවල් සාකච්ඡා කරකර හිටියේ.

 මං හිරෙන් නිදහස් වෙලා මාස කීපයකට පස්සේ ආයෙත් හමුදා සෙබළු අපේ ගෙදරට ආවා. හැබැයි එදා මං ගෙදර හිටපු නැති දවසක්. එයාලා මගේ මල්ලි කෙනෙක්වයි, නංගිලා දෙන්නෙක්වයි අත්අඩංගුවට අරන් තිබුණා. ඒ තුන්දෙනා ඒ කාලේ ඉස්කෝලේ යනවා. එදා මං තීරණය කළා මං මේ රටින් යනවා කියලා. මං ඒ ගැන හිතහිත ඉද්දී අම්මා කිව්වා “අපි ගැන හිතන්න එපා, ඔයා යන්න. යෙහෝවා ඔයාට උදව් කරයි” කියලා. ඊට ටික දවසකට පස්සේ මං ඇමරිකාවට යන්න ප්ලේන් එකට නැග්ගා. ඒත් එදා හවස මාව අත්අඩංගුවට ගන්න ආයෙත් අර හමුදා සෙබළු අපේ ගෙදරට ඇවිල්ලා තිබුණා. හැබැයි මං ගෙදර නෑ කියලා දැනගත්තාම එයාලා ඉක්මනටම එයාර්පෝට් එකට ආවා. හැබැයි එයාලා පරක්කු වැඩියි. මොකද ඒ වෙද්දීත් ප්ලේන් එක නග්ගලා ඉවරයි.

 මං ඇමරිකාවේ මේරිලෑන්ඩ්වලට ආවාම මාව පිළිගන්න හේවුඩ් සහ ජෝඈන් වෝඩ් යුවළ ඇවිල්ලා හිටියා. එයාලා මිෂනාරි සේවය කරපු කාලේ තමයි අපේ අම්මලාට පාඩම් කරලා තිබුණේ. එහෙට ගිහින් මාස පහකට පස්සේ මට පුළුවන් වුණා පුරෝගාමි සේවය පටන්ගන්න. මං පුරෝගාමි සේවය කළේ එයාලාගේ දුව සින්ඩි එක්ක. ඉතිං අපි හරිම සතුටින් එහේ සේවය කළා.

මායි, සින්ඩියි පුරෝගාමි කරපු කාලේ

බෙතෙල් සේවය

වෝල්කිල් බෙතෙල් එකේ මායි, මහත්තයායි සේවේ කරද්දී

 1979 ජූනි මාසේදී වගේ මං නිව් යෝර්ක්වල තිබුණ අපේ බෙතෙල් එක බලන්න ගියා. එහෙදී මට වෙස්ලි පාකර්ව හම්බ වුණා. එයා හරිම හොඳ කෙනෙක්. යෙහෝවාට වැඩිපුර සේවයක් කරන්න එයාට හොඳ ඉලක්ක තිබුණා. ඉතිං 1981දී අපි බැන්දා. ඊටපස්සේ අපි සේවය කළේ වෝල්කිල් බෙතෙල් එකේ. එහෙදී මං හවුස්කීපිං අංශයේ, ඩ්‍රයික්ලීනිං අංශයේ වැඩ කළා. පස්සේ කොම්පියුටර් අංශය යටතේ තිබුණ මෙප්ස් කණ්ඩායමෙත් වැඩ කළා. බෙතෙල් එකේ සේවය කරන්න ලැබුණ අවස්ථාව නිසා මට පුළුවන් වුණා මං හිතුවේවත් නැති විදිහට යෙහෝවාට සේවය කරන්න. මට එහෙදී හොඳ යාළුවොත් හම්බ වුණා. එයාලා තාමත් අපේ හොඳ යාළුවෝ.

 ඒත් ඉතියෝපියාවේ තත්වය වෙනස් වෙලා තිබුණේ නෑ. මගේ පවුලේ අය දිගින් දිගටම ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. ඒක මට ලොකු වේදනාවක් වුණා. අත්අඩංගුවට ගත්ත මගේ නංගිලයි, මල්ලියි ඒ වෙද්දීත් හිටියේ හිරේ. b හැමදාම එයාලට කෑම උයලා ගෙනියන්න අම්මා ගොඩක් දුක් වින්දා. මොකද ඒ හිරගෙදර කාටවත් කෑම දුන්නේ නෑ.

 ඒ අමාරු කාලේ යෙහෝවායි, බෙතෙල් පවුලයි තමයි මට ශක්තියක් වුණේ, මගේ සැනසීම වුණේ. (මාක් 10:29, 30) එක දවසක් සහෝදර ජෝන් බූත් මට කිව්වා “දුවේ, ඔයා බෙතෙල් එකේ කරන සේවය ගැන අපිට ගොඩක් සතුටුයි. යෙහෝවාගේ ආශීර්වාදය නැත්තං ඔයාට මේ වගේ සේවයක් කරන්න බෑ” කියලා. c ආදරෙන් කියපු ඒ වචන මගේ හිතට ලොකු සහනයක් වුණා. ඒකෙන් මට තේරුණා ඉතියෝපියාව දාලා මෙහෙට එන්න මං ගත්ත තීරණේ හරි කියලා. ඒ වගේම මගේ පවුලේ අයව යෙහෝවා බලාගන්නවා කියලත් මට තේරුණා.

පවුලක් විදිහට යෙහෝවාට කරපු සේවය

 1989 ජනවාරි මාසේ අපිට දැනගන්න ලැබුණා මට බබෙක් හම්බ වෙන්න යනවා කියලා. ඒක දැනගත්තාම අපිට දැනුණේ අපිව කරකවලා අත්හැරියා වගේ. ඒත් දවස් කීපයක් යනකොට ඒ හැඟීම් හිතුවේවත් නැති විදිහට ලොකු සතුටකට පෙරළුණා. එත් අපි කල්පනා කළා ‘අපි මොන වගේ දෙමාපියෝ වෙයිද, අපි ඉන්න යන්නේ කොහෙද, බෙතෙල් එකෙන් ගියාට පස්සේ අපි ජීවත් වෙන්නේ කොහොමද’ කියලා.

 1989 අප්‍රියෙල් 15වෙනිදා අපිට තිබුණ බඩු මුට්ටු ටිකත් කාර් එකට පටවගෙන අපි ඔරිගන්වලට ගියා. අපි හිතුවා එහේ ගිහිල්ලා දිගටම පුරෝගාමි සේවය කරනවා කියලා. එහෙට ගිහිල්ලා ටික දවසකට පස්සේ අපේ සභාවේ හිටපු යාළුවෝ කීපදෙනෙක් අපිට කිව්වා “ඔයාලා ඉන්න තත්වය උඩ පුරෝගාමි කරන එක ගැන තව ටිකක් හිතුවොත් හොඳයි නේද” කියලා. එයාලා එහෙම කිව්වේ හොඳ චේතනාවෙන්. මොකද ඒ වෙද්දී අපිට ගොඩක් දේවල් තිබුණේ නෑ. බාබා හම්බ වෙන්නත් ගොඩක් ළං වෙලයි තිබුණේ. ඒත් ඔය කාලේදීම අපේ චාරිකා සේවක සහෝදර ගයි පියර්ස් d අපේ සභාවට ආවා. එයායි, එයාගේ බිරිඳ පෙනීයි අපිට දිරිගැන්වූවා දිගටම පුරෝගාමි සේවය කරන්න කියලා. ඉතිං යෙහෝවා අපිට උදව් කරනවා කියන විශ්වාසයෙන් අපි පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. (මලාකි 3:10) අපේ පළවෙනි පුතා ලෙමුවෙල් ඉපදුණාට පස්සෙත් අපේ දෙවෙනි පුතා ජේඩන් ඉපදුණාට පස්සෙත් අපි දිගටම පුරෝගාමි සේවය කළා.

 දරුවෝ චූටි වයසේදීම පුරෝගාමි කරපු එකෙන් මට මිල කරන්න බැරි තරම් අද්දැකීම් ගොන්නක් ලැබුණා. ඇත්තටම පුරෝගාමි සේවය නිසා මිනිස්සුන්ගේ හිත්වල විතරක් නෙවෙයි අපේ දරුවන්ගේ හිත්වලත් සත්‍ය බීජ පැළ කරන්න අපිට පුළුවන් වුණා. (ද්විතීය කතාව 11:19) ඒත් අපේ තුන්වෙනි පුතා ජෙෆ්තා ඉපදුණාට පස්සේ අපි තීරණය කළා ටික කාලෙකට පුරෝගාමි සේවය නතර කරනවා කියලා.—මීකා 6:8.

යෙහෝවාට සේවය කරන්න අපි පුතාලටත් ඉගැන්නුවා

 අපි තේරුම්ගත්තා දෙමාපියෝ විදිහට අපිට තියෙන ප්‍රධාන වගකීම තමයි යෙහෝවා ඇත්ත කෙනෙක් කියලා දරුවන්ට පෙන්නලා දෙන එක. ඊටපස්සේ දරුවන්ට යෙහෝවා එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න උදව් කරන එක. ඉතිං චූටි කාලේදීම ඒක කරන්න අපි අපේ කොලු පැටව් තුන්දෙනාට උදව් කළා. ඒකට අපි පවුලේ නමස්කාරය හොඳට පාවිච්චි කළා. පුතාලා චූටි කාලේදී අපි එයාලවත් එකට එකතු කරගෙන ‘උතුම් ගුරුවරයාට සවන් දීම,’ ‘මගේ බයිබල් කතන්දර පොත’ වගේ පොත් කියෙව්වා. සමහර කතන්දර අපි රඟපෑවා. මංනේ ඉතිං ගෙදර හිටපු එකම ගෑනු කෙනා, ඉතිං ගෑනු චරිත රඟපාන්න අහුවෙන්නේ මාව. දවසක් අපි යෙසබෙල්ගේ කතාව රඟපෑවා. එදා කොල්ලෝ තුන්දෙනාට ඊට වඩා දෙයක් නෑ. එයාලට පුදුම ආසාවක් තිබුණේ මාවත් සෙටියෙන් බිමට තල්ලු කරලා බල්ලෝ වගේ හපා කන්න. පවුලේ නමස්කාරයට අමතරව වෙස්ලි අපේ පුතාලා තුන්දෙනා එක්ක වෙන වෙනමත් බයිබල් පාඩම් කෙරුවා.

 අපි හරි ආදරෙන් අපේ දරුවන්ව හදා වඩා ගත්තා. ඒ වගේම පවුලක් විදිහට අපි අතර තියෙන බැඳීම හැමදාම එක විදිහට තියාගන්න අපිට උදව් කරන්න කියලා අපි යෙහෝවාට යාච්ඤා කළා. අපේ දරුවෝ ටික ටික ලොකු වෙද්දී ගෙදරදොරේ වැඩ එයාලට තනියම කරන්නත් අපි ඉගැන්නුවා. පිඟන් කෝප්ප හෝදන්න, කාමරේ පිරිසිදුවට, පිළිවෙළකට තියාගන්න, තනියම ඇඳුම් හෝදගන්න එයාලා ඉගෙනගත්තා. උයන්නත් එයාලා ඉගෙනගත්තා.

 ඒත් ඒ කාලේ දේවල් ඉගෙනගත්තේ දරුවෝ විතරක් නෙවෙයි, අපිත් දේවල් ඉගෙනගත්තා. සමහර තැන්වලදී දරුවන්ගේ හිත් පෑරෙන වචන අපිට කියවුණ අවස්ථා තිබුණා. අපි දෙන්නා අතරත් බහින් බස් වීම් ඇති වුණ වෙලාවල් තිබුණා. ඒ වගේ අවස්ථාවලදී නිහතමානි වෙලා සමාව ඉල්ලන එකේ වැදගත්කම අපිත් ඉගෙනගත්තා.

 අපේ සහෝදර සහෝදරියන්ට මොනා හරි කාලා බීලා යන්න අපි නිතරම වගේ අපේ ගෙදරට ආරාධනා කළා. බෙතෙල් එකේ සේවය කරපු අයට, මිෂනාරි සේවය කරපු අයට, චාරිකා සේවකයන්ට වගේම ප්‍රචාරකයන් අඩු පැතිවල සේවය කරපු සහෝදර සහෝදරියන්ට අපේ ගෙදරදොර හැම වෙලේම ඇරලා තිබුණේ. (රෝම 12:13) සාමාන්‍යයෙන් ලොකු අය කතා කරකර ඉද්දී දරුවෝ කරන්නේ කාමරවලට ගිහිල්ලා සෙල්ලම් කරකර ඉන්න එකනේ. ඒත් අපි අපේ දරුවන්ට එහෙම කරන්න දුන්නේ නෑ. ඒගොල්ලොත් අපිත් එක්ක ඉඳගෙන ඒ සාකච්ඡාවලට හවුල් වුණා. අද්දැකීම් කියද්දී ඒවා අහගෙන හිටියා. හුඟක් වෙලාවට ඒ කතා කරපු දේවල පුංචි පුංචි තොරතුරු අපිට වඩා අපේ දරුවන්ට මතක තිබුණා.

 අපි යෙහෝවාට නිකංම සේවය කළා නෙවෙයි, ඒ සේවය සතුටින් කරන්න පුළුවන් විදි ගැන හිතලා ඒ වෙනුවෙන් මහන්සි වුණා. උදාහරණයකට පවුලක් විදිහට වෙන රටකට යන්න සැලසුම් කරලා අපි ඒකට සල්ලි, නිවාඩු ඉතුරු කරගත්තා. එහෙම ට්‍රිප් ගිය හැම වෙලාවකදීම ඒ රටේ බෙතෙල් එක බලන්න යන එක, එහේ රැස්වීම් යන එක, සේවේ කරන එක අපි වැරැද්දුවේ නෑ. පවුලක් විදිහට අපි එක් එක් කෙනා අතර තියෙන බැඳීම වැඩි කරගන්නත් ලෝක ව්‍යාප්ත පවුලට ළං වෙන්නත් ඒක අපිට උදව් වුණා.

අපි 2013දී බෘක්ලින්වල තියෙන ලෝක මූලස්ථානය බලන්න ගිය වෙලේ

අපි සේවයට දිගටම කැප වුණා

 අපි දැකපු දෙයක් තමයි අපි හිටපු පළාතේ ගොඩක් ස්පාඤ්ඤ භාෂාව කතා කරන අය ඉන්නවා කියලා. හැබැයි එයාලට පණිවිඩය දැනගන්න ලැබුණේ කලාතුරකින්. ඒ කාලේ අපේ දරුවෝ පොඩියි. ඒත් අපි සහෝදර පියස්ගෙන් ඇහුවා “ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවකට මාරු වුණොත් මොකද හිතන්නේ” කියලා. එයා හිනාවකුත් දාලා මෙහෙම කිව්වා. “මාළු අල්ලන කෙනා ඉන්න ඕනෙ මාළු ඉන්න දිහාවේ.” ඉතිං ඒ දිරිගැන්වීමත් එක්ක අපි ඔරිගන් ප්‍රාන්තයේ වුඩ්බර්න්වල තිබුණ ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවකට ගියා. එහෙදී සත්‍යයට උනන්දු කීපදෙනෙක් එක්කම බයිබල් පාඩම් කරලා, එයාලට බව්තීස්ම වෙන්න උදව් කරලා අපි ලොකු සතුටක් ලැබුවා. ටික කාලෙකට පස්සේ ස්පාඤ්ඤ භාෂා කතා කරපු කණ්ඩායමක් සභාවක් වෙනවා දකින්නත් අපිට පුළුවන් වුණා.

 ඔය අතරේ වෙස්ලිට එයාගේ ජොබ් එක නැති වුණා. එයාට හම්බ වුණ අලුත් ජොබ් එක නිසා අපිට වුණා කැලිෆෝනියාවේ පදිංචියට යන්න. ඊට අවුරුදු දෙකකට පස්සේ ලෙමුවෙලුයි, ජේඩනුයි, මායි පුරෝගාමි සේවය පටන්ගත්තා. 2007දී අපි තුන්දෙනාටම එකම පුරෝගාමි පාසැලට යන්න අවස්ථාව ලැබුණා. ඒක ලොකු සතුටක්. ඊට ටික කාලෙකට පස්සේ අපි දැක්කා අපි ඉන්න පැත්තේ ගොඩක් අරාබි භාෂාව කතා කරන අය ඉන්නවා කියලා. ඉතිං ස්පාඤ්ඤ භාෂාව කතා කරන පැත්තක අවුරුදු 13ක් සේවය කළාට පස්සේ අපි තීරණය කළා අරාබි භාෂාව කතා කරන සභාවක සේවය කරන්න. එහෙට ඇවිත් හිටපු අරාබි භාෂාව කතා කරන අයට සත්‍ය පණිවිඩය කියලා අපි ලොකු සතුටක් ලැබුවා. අපි විශේෂ දේශනා කිරීමේ ව්‍යාපෘතිවලට වෙන රටවල්වලටත් ගියා. දැන් අපි පුරෝගාමීන් විදිහට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ ප්‍රදේශයේ අරාබි භාෂාව කතා කරන අය ඉන්න පැත්තක තමයි සේවය කරන්නේ.

 වෙස්ලි අපේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක්. මට හොඳ සැමියෙක්. එයාට යෙහෝවා දෙවියන්ගේ සංවිධානය ගැන තියෙන්නේ පුදුම ගෞරවයක්. එයා කවදාවත් බෙතෙල් එකේවත් සභාවේවත් අඩුපාඩු ගැන කතා කරන්නේ නෑ. ඒ වෙනුවට එයා කොයි වෙලෙත් හොඳ පැත්ත තමයි කතා කරන්නේ. එයා මං ගැන කියලා යාච්ඤා කරනවා. ඒ වගේම මාත් එක්කත් යාච්ඤා කරනවා. අමාරු කාලවල් කලබල වෙන්නේ නැතුව, සන්සුන්ව පහු කරන්න එයා කරපු යාච්ඤා මට ගොඩක් උදව් වෙලා තියෙනවා.

 අපි ආපු ගමන දිහා ආපස්ස හැරිලා බලද්දී අපි පූර්ණකාලීන සේවය කරලා තියෙනවා, පවුලක් හදලා තියෙනවා, ප්‍රචාරකයන් අඩු සභාවල සේවය කරලා තියෙනවා. ඒ ගැන හිතද්දී අපිට දැනෙන්නේ ලොකු සතුටක්. යෙහෝවාව මුල් තැනට දාලා වැඩ කරන අයට කිසිම දේකින් කවදාවත් අඩුවක් වෙන්නේ නෑ. ඒ වගේ අයට යෙහෝවා ආශීර්වාද කරනවා කියලා අපි අපේ ජීවිතෙන්ම දැක්කා. (ගීතාවලිය 37:25) මගේ ජීවිතේම යෙහෝවාට කැප කරන්න ගත්ත තීරණේ ගැන මම මොහොතකටවත් පසුතැවෙන්නේ නෑ. ඒක තමයි මං ගත්ත හොඳම තීරණේ.—ගීතාවලිය 84:10.

වමේ ඉඳන්: ජෙෆ්තා, ලෙමුවෙල්, මම, ජේඩන් සහ වෙස්ලි

a සහෝදර ලින්ක් සේවය කළේ කෙන්යා ශාඛා කාර්යාලයේ. ඒකෙන් තමයි ඉතියෝපියාවේ වැඩකටයුතු බලාගත්තේ.

b මගේ නංගිලා දෙන්නවයි, මල්ලිවයි අවුරුදු හතරකට පස්සේ නිදහස් කළා.

c 1996දී පොළොවේ ගත කරපු ජීවිතය අවසන් වෙන කල්ම සහෝදර බූත් පාලක මණ්ඩලයේ සේවය කළා.

d පස්සේ කාලෙක සහෝදර පියර්ස් පාලක මණ්ඩලයේ සේවය කළා. 2014දී පොළොවේ ගත කරපු ජීවිතේ අවසන් වෙන කල්ම එයා ඒ සේවය කළා.