Skip to content

පටුනට යන්න

කේසුස් මාර්ටින් | ජීවිත කතාව

“මගේ ජීවිතේ අඳුරුම කාලේදීත් යෙහෝවා මාව තනි කළේ නෑ”

“මගේ ජීවිතේ අඳුරුම කාලේදීත් යෙහෝවා මාව තනි කළේ නෑ”

මං ඉපදුණේ 1936 මැඩ්‍රිඩ්වල. ස්පාඤ්ඤයේ අයට නම් ඒ අවුරුද්ද ලේසියෙන් අමතක වෙන එකක් නෑ. මොකද ඒ අවුරුද්දේ හැමෝවම කම්පා කරපු බිහිසුණු යුද්ධයක් ස්පාඤ්ඤයේ ඇති වුණා.

 අවුරුදු තුනක් පුරා තිබ්බ ඒ යුද්ධය හුඟදෙනෙක්ගේ ජීවිත බිලිගත්තා. තවත් හුඟදෙනෙක්ව අබ්බගාතයන් කළා. ඒ විතරක් නෙවෙයි ඒ යුද්ධය නිසා තවත් දහස් ගාණක් මනසින් නොසෑහෙන්න දුක් වින්දා. මගේ තාත්තා ආගමට හුඟක් ළැදි කෙනෙක්. එයාට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒත් කතෝලික පූජකයෝ යුද්ධ කරන්න මිනිස්සුන්ව උසිගන්වන විදිහ දැකලා තාත්තාට ආගම එපා වුණා. කොච්චරද කියනවා නං මාවයි, මල්ලිවයි පල්ලියෙන් බව්තීස්ම කරන්නවත් තාත්තා කැමති වුණේ නෑ.

ෆ්‍රාන්සිස්කෝ ෆ්‍රැන්කෝට කතෝලික පල්ලියත් එක්ක කිට්ටු සම්බන්ධයක් තිබුණා

 1950දී සාක්ෂිකරුවන් දෙන්නෙක් අපේ ගෙදර ආවා. තාත්තා පණිවිඩේ අහලා එයාලත් එක්ක බයිබලේ පාඩම් කරන්න කැමති වුණා. එතකොට මට අවුරුදු 14යි. ඒ කාලේ මට ෆුට්බෝල්වලින් තොර ලෝකයක් තිබුණේ නෑ. තාත්තා කොහොමහරි හැදුවේ සාක්ෂිකරුවෝ දීලා ගිය පොත් කියවන්න මගේ හිතේ ආසාවක් ඇති කරන්න. ඒත් මං නෙවෙයි ඒවා දිහා ඇහැක්වත් ඇරලා බැලුවේ. දවසක් ෆුට්බෝල් මැච් එකක් ඉවර වෙලා ගෙදර ආවාම මං අම්මාගෙන් ඇහුවා “අම්මේ, අර බයිබල් කට්ටිය අදත් ආවාද” කියලා. එතකොට අම්මා කිව්වා “ඔව්, ඔය ඉන්නේ තාත්තාත් එක්ක කෑම කාමරේ” කියලා. ඕක ඇහුණා විතරයි මං හැරුණ තැපෑලෙන් ආයේ පාරට දිව්වා.

 සත්‍යය ගැන තාත්තාගේ හිතේ ලොකු ආදරයක් තිබුණා. ඒ නිසා මං අකමැති වුණත් තාත්තා නම් බයිබලේ ඉගෙනගන්න එක නැවැත්තුවේ නෑ. කොහොමහරි 1953දී තාත්තා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ඒ නිසා ඒ ගැන මට ලොකු කුතුහලයක් ඇති වුණා. ඉතින් මං තාත්තාගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. මටම කියලා බයිබලේකුත් ඉල්ලගත්තා. ඒ නිසා තාත්තා මාත් එක්ක බයිබලේ පාඩම් කරන්න මාක්සිමෝ මර්ෂියා කියන තරුණ සහෝදරයාව ලෑස්ති කළා. කොහොමහරි ඊට අවුරුදු දෙකකට පස්සේ ඒ කියන්නේ අවුරුදු 19දී මාත් සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා. ඒ මැඩ්‍රිඩ් නගරයට නැගෙනහිරෙන් තියෙන කරාමා කියන ගඟේ.

ඒකාධිපති ෆ්‍රැන්කෝගේ පාලනය යටතේ

 1950 ගණන්වල නිදහසේ රැස්වීම් තියන්න, දේශනා කරන්න අවස්ථාවක් තිබුණේ නෑ. මොකද ඒ කාලේ ස්පාඤ්ඤය තිබුණේ ෆ්‍රාන්සිස්කෝ ෆ්‍රැන්කෝගේ ඒකාධිපති පාලනය යටතේ. එයාගේ රටේ කතෝලික ඇරෙන්න වෙන කිසිම ආගමක් තියෙනවාට එයා කැමති වුණේ නෑ. ඒ නිසා සාක්ෂිකරුවන්ටත් පොලිසියෙන් ගොඩක් පීඩා කළා. ඉතින් අපි රැස්වීම් තිබ්බේ සහෝදරයන්ගේ ගෙවල්වල. අහළ පහළ අයට සැකයක් ඇති නොවෙන්න අපි ගොඩක් පරෙස්සම් වුණා. මොකද ඕනම කෙනෙක්ට පුළුවන්කම තිබුණා අපි ගැන පොලිසියට ඔත්තු දෙන්න. අපි ගෙයින් ගෙට ගියෙත් හරිම පරෙස්සමෙන්. ගොඩක් වෙලාවට අපි කරන්නේ එක පාරක ගෙවල් දෙක තුනක් කරලා ටක් ගාලා තව පැත්තකට යනවා. ගොඩක් අය අපේ පණිවිඩේට ඇහුම්කන් දුන්නා. ඒත් හැමෝම නෙවෙයි.

රහසිගතව පවත්වපු සමුළුවක සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්ස් දේශනයක් දෙනවා

 මට මතකයි දවසක් එක ගෙදරකට යද්දී කතෝලික පූජකයෙක්ව මට හම්බ වුණා. මං ආවේ ඇයි කියලා පැහැදිලි කළාම එයා මට කිව්වා “ඔයා මේ කාගේ හයියෙන්ද ගෙවල් ගාණේ යන්නේ? මට ඕනෙ නම් මේ දැන් ඔයාව පොලිසියට අල්ලලා දෙන්න පුළුවන්” කියලා. මං කිව්වා ඒක දැනගෙන තමයි අපි ආවේ කියලා. “යේසුස්ගේ හතුරෝ කීප වතාවක්ම උත්සාහ කළා ඔහුවත් අත්අඩංගුවට ගන්න. ඉතින් යේසුස්ගේ ගෝලයන්ට එහෙම නොවී තියෙයිද” කියලත් මං එයාට කිව්වා. ඕක ඇහුවා විතරයි එයාට හොඳටම කේන්ති ගිහින් ගේ ඇතුළට දිව්වා පොලිසියට කෝල් කරන්න. මාත් ඉතින් බලබල ඉන්නේ නැතුව අඩියට දෙකට ඉක්මනින්ම එතනින් මාරු වුණා.

 ඒ කාලේදී ස්පාඤ්ඤයේ හිටියේ සාක්ෂිකරුවන් දෙතුන්සීයක් විතරයි. ඒත් මොන දේට මුහුණ දුන්නත් එයාලා උද්‍යෝගයෙන් සේවේ කළා. ඒ වගේම සත්‍යයට උනන්දු හුඟදෙනෙක්වත් එයාලට හම්බ වුණා. 1956 පෙබරවාරි මාසයේදී විශේෂ පුරෝගාමියෙක් a විදිහට මට පැවරුමක් ලැබුණා. එතකොට මට 19යි. ඒ කාලේ හිටිය ගොඩක් පුරෝගාමීන් තරුණ අය. එයාලට එච්චර අද්දැකීම් තිබ්බෙත් නෑ. හැබැයි අපේ රටේ හිටපු මිෂනාරීවරු කීපදෙනා අපිව ගොඩක් දිරිගැන්නුවා. අපිව හොඳට පුහුණු කළා. මටයි, මාත් එක්ක හිටපු සහෝදරයාටයි සේවේ කරන්න පැවරුම ලැබුණේ අලිකන්ටේ කියන නගරයේ. ඒ වෙද්දී කවුරුත් එහේ සේවේ කරලා තිබුණේ නෑ. වැඩි කල් යන්න කලින් අපිට බයිබල් පාඩම් ගොඩක් හම්බ වුණා. ඒ වගේම පොත් පත් සිය ගාණක් බෙදලා දෙන්නත් අපිට පුළුවන් වුණා.

 හැබැයි හැමදාමත් හැංගි හැංගි සේවේ කරන්න අපිට පුළුවන් වුණේ නෑ. අලිකන්ටේවලට ඇවිල්ලා මාස කීපයක් ගියාට පස්සේ පොලිසිය අපිව අත්අඩංගුවට අරගෙන අපි ළඟ තිබුණ බයිබල් එයාලගේ භාරයට ගත්තා. අපිව දවස් 33කට හිරේ දැම්මා. ඊටපස්සේ අපිව මැඩ්රිඩ්වලට ගෙනිච්චා. එහේදී තමයි අපිව නිදහස් කළේ. ඉස්සරහට අපිට මොන මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඒ සිද්ධියෙන් අපිට ඉඟියක් ලැබුණා.

අඳුර වෙලාගත්ත කාලයක්!

 මට අවුරුදු 21දී හමුදාවට බැඳෙන්න කියලා නියෝගයක් ආවා. ඉතින් උතුරු මොරොක්කෝවේ නේඩෝ නගරේ තිබුණ හමුදා කඳවුරක පෙනී ඉන්න මට සිද්ධ වුණා. එතනට ගිහිල්ලා මං හමුදාවට බැඳෙන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රධාන ලුතිනන්වරයාට ගෞරවාන්විතව පැහැදිලි කරන්නත් මට සිද්ධ වුණා. මං එයාට පැහැදිලිවම කිව්වා “මං හමුදාවට බැඳෙන්නේ නෑ. අඩුම ගාණේ හමුදා නිළ ඇඳුමවත් අඳින්නේ නෑ” කියලා. ඊටපස්සේ නඩු තීන්දුවක් ලැබෙන කල් මෙල්ලිලා නගරේ රොස්ට්‍රෝගෝර්ඩෝ හිරගෙදර මාව රඳවලා තියාගත්තා.

මෙල්ලිලා නගරේ රොස්ට්‍රෝගෝර්ඩෝ හිරකඳවුර

 මගේ නඩු විභාගයට කලින් මොරොක්කෝවේ හිටපු හමුදා නිළධාරියා මගේ හිරගෙදර හිටපු අනිත් නිලධාරීන්ට කියලා තිබුණා “මෙයාට දෙක තුනක් ඇන්නාම නිකම්ම මොළේ පෑදෙයි” කියලා. ඒ නිසා එයාලා මට ගොඩක් ලැජ්ජා කරලා අශ්වයන්ට ගහන කසයකින් විනාඩි 20ක් විතර එක දිගට ගැහුවා. ඊටපස්සේ බිමට ඇදගෙන වැටෙන කල්ම මට පයින් ගැහුවා. ඒත් ඒ මොනා කළත් හිරගෙදර හිටපු කැප්ටන් සෑහීමට පත් වුණේ නෑ. ඒ නිසා එයා මං ගාවට ඇවිත් හමුදා බූට් එකෙන් මගේ ඔළුව පෑගුවා. ඔළුවෙන් ලේ ගලනවා දැක්කාම තමයි ඒක නැවැත්තුවේ. ඊටපස්සේ මාව එයාගේ ඔෆිස් එකට ගෙනිච්චා. කැප්ටන් මට කෑ ගහලා මෙහෙම කිව්වා. “උඹ හිතන්න එපා මේක මෙතනින් ඉවරයි කියලා. හැමදාම මීටත් වඩා බඩ කට පිරෙන්න උඹට සලකනවා.” ඊටපස්සේ එයා අණ කළා මාව පොළොව යට තිබුණ හිරකුටියකට දාන්න කියලා. ඒක කට්ට කළුවරයි. තෙතම තෙතයි. ඒකේ ඇතුළට ගියාම නං මට පුදුම අසරණකමක් දැනුණේ. හැමදාම මේක ඇතුළටම වෙලා ඉන්න වෙයිද කියලා මට හිතුණා.

 මට තාම මතකයි එදා රෑ මං ඒ තෙත පොළොවේ වැතිරිලා හිටපු විදිහ. ඒ වෙද්දීත් මගේ ඔළුවේ ලේ පැල්ලම් එහෙම්ම තිබුණා. මට පොරවගන්න තිබුණේ තුනීම තුනී බ්ලැන්කට් එකක් විතරයි. ඉඳලා හිටලා ඔළුව දාලා යන මියෝ දෙතුන්දෙනෙක් ඇරෙන්න මගේ තනියට කවුරුත් හිටියේ නෑ. මේක දරාගන්න ශක්තිය ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණෙත් නෑ. ඒ අඳුරු, සීතල ගුහාවේ ඉඳන් මං අනන්ත වාරයක් දෙවියන්ට යාච්ඤා කරන්න ඇති. b

 ඊළඟ දවසේ ඉතින් දෙවෙනි ගුටි වාරය පටන්ගත්තා. මේ පාර මට ගැහුවේ කෝප්රල් කෙනෙක්. කලින් දවසේ මගේ ඔළුව පාගපු කැප්ටන් ඒ ළඟම ඉඳන් බලන් හිටියා. එයාට ඕන වුණේ එයාගේ හිතේ හැටියට කෝප්රල්වරයා මට ගහනවාද කියලා බලන්නයි. ඒ වෙද්දී නම් මගේ හොඳ පණ ගිහිල්ලයි තිබුණේ. තවත් නම් දරාගන්න බෑ කියලා මට හිතුණා. ඉතින් එදා රෑ මං කලින්ටත් වඩා බැගෑපත් වෙලා යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලුවා.

 තුන්වෙනි දවසේ මට ආයෙත් කැප්ටන්ගේ ඔෆිස් එකට අඬගැහුවා. මට හිතුණා ‘අදත් හරි තමයි’ කියලා. ඉතින් මං ඔෆිස් එකට යන කල්ම මඟ දිගට යාච්ඤා කරකර තමයි ගියේ. යද්දී හමුදා අධිකරණයේ ලේකම්වරයා එතන හිටියා. එයාගේ නම ඩොන් එස්ටෙවාන්. c එයා තමයි මගේ නඩුවේ විනිශ්චයකාරයා. එයා ඇවිත් හිටියේ නඩුව ගැන කතා කරන්න.

 ඔළුවේ තිබුණ බැන්ඩේජ් එක දැක්කාම එයා මගෙන් ඇහුවා මොකද වුණේ කියලා. මුලින්ම මං මුකුත් කිව්වේ නෑ. මොකද මට බය හිතුණා කිව්වොත් මට තවත් ගුටි කන්න වෙයි කියලා. හැබැයි පස්සේ මං එයාට ඇත්ත විස්තරේ කිව්වා. එතකොට එයා මට මෙහෙම කිව්වා “ඔයාට තියෙන නඩුව අයින් කරන්න නම් මට බෑ. ඒත් මං ඔයාට එක දෙයක් පොරොන්දු වෙන්නම්. ඔයා හිරේ ඉන්න කල් ආයේ කවුරුත් ඔයාට අත තියන්නේ නෑ.”

 කිව්වා වගේම ඊටපස්සේ මං හිරේ ඉන්න තාක් කල් කවුරුත් මට කරදර කළේ නෑ. මං අදටත් දන්නේ නෑ ඇයි ඩොන් එස්ටෙවාන් මාව එදාම හම්බ වෙන්න ආවේ කියලා. හැබැයි මං එක දෙයක් දන්නවා. යෙහෝවා දෙවියන් මගේ යාච්ඤාවට පුදුම විදිහට උත්තර දුන්නා. මට දරාගන්න බැරි තරම් පීඩාවලට මුහුණ දෙන්න ඔහු ඉඩ දුන්නේ නෑ. (1 කොරින්ති 10:13) මගේ ජීවිතේ අඳුරුම කාලේදී යෙහෝවා මගේ ළඟින්ම හිටියා. ඒ නිසා ඔහුව විශ්වාස කරලා බය නැතුව නඩුවට පෙනී ඉන්න මට පුළුවන් වුණා.

ඕකාන්යා හිරකඳවුරේදී

 නඩු විභාගයෙන් පස්සේ මට අවුරුදු 19ක හිරදඬුවමක් ලැබුණා. ඊටපස්සේ හිරගෙදරදී අකීකරු වීම කියන චෝදනාව මත ඒ දඬුවම තව අවුරුදු තුනකින් දික් වුණා. මොරොක්කෝවල හිරගෙදරක මාස 15ක් විතර හිටියාට පස්සේ මාව මැඩ්‍රිඩ්වලට ළඟින් තිබුණ ඕකාන්යා හිරකඳවුරට මාරු කළා. ඒක නම් යෙහෝවාගෙන්ම ලැබුණ ආශීර්වාදයක්. කලින් හිටපු හිරගේ එක්ක බලද්දී මේ අලුත් එක හරියට පාරාදීසයක් වගේ. ඒකේ ඇඳක් තිබ්බා, මෙට්ටයක් තිබ්බා, පොරවගන්න ෂීටුත් තිබ්බා. කාලයක් ගියාට පස්සේ මාව හිරගෙදර ගණන් හිලව් බලා කියා ගන්න පත් කළා. ඒ කොච්චර වුණත් සහෝදරයෝ නැති පාළුව, තනිකම ඒ මොකෙන්වත් මැකිලා ගියේ නෑ.

 මගේ අම්මායි, තාත්තායි මාව කීප සැරයක්ම බලන්න ආවා. මාව ශක්තිමත් කළා. හැබැයි මට තවත් දිරිගැන්වීම් ඕන වෙලයි තිබ්බේ. අම්මලා කිව්වා හමුදාවට බැඳෙන්නේ නැති නිසා තවත් සහෝදරයන්ව හිරේ දාලා තියෙනවා කියලා. ඒ නිසා මං යෙහෝවාගෙන් බැගෑපත් වෙලා ඉල්ලුවා “අනේ, එක සහෝදරයෙක්ව හරි මං ඉන්න හිරගෙටත් එවන්නකෝ” කියලා. මේ සැරෙත් යෙහෝවා මං කියපු දේ අහක දැම්මේ නෑ. මං ඉල්ලුවේ එක් කෙනයි. හැබැයි යෙහෝවා මට සහෝදරයන් තුන් දෙනෙක්වම දුන්නා. වැඩි දවසක් යන්න කලින් ඇල්බර්ටෝ කොන්ටීයොක්, ෆ්‍රැන්සිස්කෝ ඩියාස් සහ ඇන්ටෝන්යෝ සැන්චේස් කියන සහෝදරයන්ව ඕකාන්යා හිරගෙදරට මාරු කළා. අවුරුදු හතරක් තිස්සේ තට්ට තනියම හිටපු මට ඒ විශ්වාසවන්ත සහෝදරයන්ගේ ඇසුර භුක්ති විඳින්න පුළුවන් වුණා. ඊටපස්සේ අපි හතරදෙනා එකතු වෙලා බයිබලේ සාකච්ඡා කළා. අනිත් හිරකාරයන්ට දේශනාත් කළා.

නිදහස් වුණ ගමන්ම ආයෙත් සේවේට

 ඔහොම යද්දී අවුරුදු 22කට තිබුණ මගේ හිරදඬුවම අවුරුදු 6 1/2කට අඩු වුණා. ඒ නිසා 1964දී මං හිරෙන් නිදහස් වුණා. මං එදාම අපේ රැස්වීමකට ගියා. ඕකාන්යාවල ඉඳලා මැඩ්‍රිඩ්වලට යන්න මගේ සන්තකේම ටැක්සියට දෙන්න වුණා. ඒත් කොහොමහරි රැස්වීම පටන්ගන්න කලින් එතනට යා ගත්තා. සහෝදරයන්ව ආයෙත් දකින්න ලැබුණ එක කොච්චර සතුටක්ද! හැබැයි ඒ විතරක් මදි, පුළුවන් තරම් ඉක්මන්ට පුරෝගාමි සේවේ පටන්ගන්නත් මට ඕන වුණා. මොකද පොලිසියෙන් සහෝදරයන්ට කොච්චර ප්‍රශ්න ඇති කළත් හුඟක් මිනිස්සු පණිවිඩයට ඇහුම්කන් දුන්නා. ඒ නිසා කරන්න ගොඩක් වැඩ තිබ්බා.

 ඒ කාලේදී තමයි මට මර්සේඩීස්ව හම්බ වුණේ. එයා හුඟක් උද්‍යෝගයෙන් සේවේ කරපු විශේෂ පුරෝගාමි සහෝදරියක්. එයාට ඕනෙ වුණේ පුළුවන් තරම් දෙනෙක්ට සාක්ෂි දරන්න. ඒ වගේම එයා ගොඩක් නිහතමානියි, කරුණාවන්තයි. එයා අනිත් අයත් එක්ක දේවල් බෙදා හදා ගන්න කෙනෙක්. ඔන්න ඔය ගුණාංග නිසා තමයි මගේ හිත එයාට ඇදිලා ගියේ. ඒ නිසා අපි දෙන්නා ආදරේ කරලා අවුරුද්දකට විතර පස්සේ කසාද බැන්දා. මර්සේඩීස් නම් මට දෙවියන්ගෙන්ම ලැබුණ තෑග්ගක්.

බැඳලා ටික දවසකට පස්සේ මර්සේඩීස් එක්ක

 බැඳලා මාස කීපයක් ගියාට පස්සේ අපි දෙන්නාට චාරිකා සේවේ කරන්න පැවරුමක් ලැබුණා. අපි හැම සතියේම සේවේ කළේ අලුත් සභාවක් එක්ක. ඒ කාලේ වෙද්දී රට පුරාම පුංචි පුංචි සභා ඇති වෙලා තිබ්බා. ඒ නිසා සහෝදරයන්ට ගොඩක් උදව් ඕනෙ වුණා. ඒ කාලේ අපේ වැඩකටයුතු සිද්ධ වුණේ රහසිගතව. කොහොමහරි මටත් පුළුවන් වුණා බාසිලෝනාවල තිබුණ අපේ ශාඛා කාර්යාලයේ ටික කාලෙකට සේවේ කරන්න.

 1967දී ස්පාඤ්ඤයේ පුරවැසියන් හැමෝටම ආගමික නිදහස ලැබුණා. 1970දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් ආගමක් විදිහට නීත්‍යානුකූල පිළිගැනීම ලැබුණා. ඒ විදිහට අපි ආසාවෙන් බලන් හිටපු ඒ දවස උදා වුණා. ඉතින් ඊටපස්සේ අපිට නිදහසේ රැස් වෙන්න, නමස්කාර මධ්‍යස්ථාන, ශාඛා කාර්යාල පාවිච්චි කරන්න පුළුවන් වුණා.

අලුත් අලුත් පැවරුම්

 1971දී අපි දෙන්නාට බාසිලෝනාවල බෙතෙල් එකේ සේවේ කරන්න පැවරුමක් ලැබුණා. හැබැයි ඊට අවුරුද්දකට විතර පස්සේ අපිට දැනගන්න ලැබුණා අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒ නිසා බෙතෙල් පැවරුමට සමු දීලා අපිට අලුත් පැවරුමක් භාරගන්න වුණා. ඒ තමයි අපේ චූටි දුව ඇබිගේල්ව හදා වඩා ගන්න එක.

 ඇබිගේල් යෞවන වයසට ආවාම ශාඛා කාර්යාලය අපෙන් ඇහුවා ආයෙත් චාරිකා සේවේ යන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ගොඩක් යාච්ඤා කරලා අද්දැකීම් තියෙන සහෝදරයන් එක්කත් ඒ ගැන කතා කළා. එක වැඩිමහල්ලෙක් කිව්වා “කේසුස්, සංවිධානයට ඔයාලව ආයෙත් ඕනෙ නම් ඔයාට දෙන්න තියෙන්නේ එක උත්තරයයි. ඒ ‘හා’ කියන එකයි” කියලා. ඔන්න ඔය විදිහට අපි අපේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පෙරළුවා. මුල් ටිකේ නම් අපි ගියේ ළඟපාත තිබුණ සභාවලට විතරයි. මොකද එතකොට අපිට ඇබිගේල්වත් බලාගන්න පුළුවන්නේ. හැබැයි ඇබිගේල් වැඩිහිටියෙක් වුණාට පස්සේ එයා වෙනම ජීවත් වුණා. ඒ නිසා අපිට පුළුවන් වුණා අපේ සේවේ තව වැඩි කරන්න.

 මර්සේඩීසුයි, මායි අවුරුදු 23ක්ම චාරිකා සේවේ කළා. මං නම් ඒ පැවරුමට ගොඩක් ආසයි. මොකද ඒ කාලේ තරුණ අයත් එක්ක මගේ අද්දැකීම් බෙදාගෙන එයාලව දිරිගන්වන්න මට ගොඩක් අවස්ථාවන් ලැබුණා. කාලයක් මං වැඩිමහල්ලන්ටයි, පූර්ණකාලීන සේවකයන්ටයි උගන්වන පාසැල්වල උපදේශකයෙක් විදිහටත් සේවේ කළා. ඒ කාලේ අපි නැවතිලා හිටියේ මැඩ්‍රිඩ් බෙතෙල් එකේ. ඔයාලා දන්නවාද, ඊට කිලෝමීටර් තුනක් විතර එහායින් තමයි මං බව්තීස්ම වුණ කරාමා ගඟ ගලාගෙන ගියේ. කවුද හිතුවේ අවුරුදු ගාණකට පස්සේ මං කැරකිලා ඔතන්ටම එයි කියලා. ඇත්තටම පූර්ණකාලීන සේවේට අඩිය තියන තරුණ සහෝදර සහෝදරියන්ව පුහුණු කරන්න යෙහෝවා මාව පාවිච්චි කරයි කියලා එදා මං හීනෙකින්වත් හිතුවේ නෑ.

සංවිධානයේ පාසැලක උපදේශකයෙක් විදිහට

 2013 ඉඳලා මර්සේඩීස්ටයි, මටයි විශේෂ පුරෝගාමි කරන්න පැවරුමක් ලැබුණා. චාරිකා සේවේ කරකර ඉදලා එක පාරටම පුරෝගාමි සේවේට හැඩගැහෙන එක ලේසි වුණේ නෑ. හැබැයි ඒ වෙනස වෙච්ච එක හොඳයි. මොකද ළඟකදී ඉඳන් මං ගොඩක් අසනීප වෙන්න පටන්ගත්තා. හාට් එකේ ටිකක් බරපතළ ඔපරේෂන් එකකුත් කරන්න වුණා. කලින් වගේම මේ අමාරු කාලේදීත් මං යෙහෝවා දෙවියන් මතම රඳා හිටියා. ඔහු කොයිම වෙලාවකදීවත් මාව අත්හැරියේ නෑ. ඒ විතරක් නෙවෙයි මර්සේඩීස් ගැනත් කියන්නම ඕනේ. අවුරුදු 56ක් පුරා මං කරපු හැම පැවරුමකදීම මගේ හෙවණැල්ල වගේ එයා මගේ ළඟින්ම හිටියා.

 උපදේශකයෙක් විදිහට සේවේ කරපු කාලේ මට නිතරම මතක් වෙනවා. ඒ ශිෂ්‍යයන්ට පුදුම උද්‍යෝගයක් තිබුණේ. ඒ තරුණ සහෝදර සහෝදරියන්ගේ මූණු මට අදටත් මැවිලා පේනවා. එයාලා ගැන හිතද්දී මට මතක් වෙන්නේ මගේ තරුණ කාලේ. හයිය හත්තිය තිබුණ ඒ කාලේ සේවේ පටන්ගද්දී ඒ වගේම උද්‍යෝගයක් මටත් තිබුණා. ඇත්ත, මගේ ජීවිතේ අඳුරු කාලවල් නොතිබුණා නෙවෙයි. ඒත් ඊටත් වඩා සුන්දර මතකයන් ගොඩක් මට ලැබුණා. මගේ ජීවිතේ අමාරු කාලවලිනුත් මං ගොඩක් වැදගත් පාඩම් ජීවිතේට එකතු කරගත්තා. ඒවායින් ප්‍රධාන එකක් තමයි මගේම ශක්තිය මත රඳා හිටියොත් මට කවදාවත් සාර්ථක වෙන්න බෑ කියන එක. ඇත්තටම ජීවිතේ අමාරුම අවස්ථාවලදී තමයි යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් මැදිහත් වෙන විදිහ මට හොඳටම දැකගන්න පුළුවන් වුණේ. එදත් අදත් කවදත් කොටින්ම කිව්වොත් මගේ ජීවිතේ අඳුරුම කාලවලදී පවා යෙහෝවා මාව අත්හැරියේ නෑ.—ෆිලිප්පි 4:13.

මර්සේඩීසුයි, මායි විශේෂ පුරෝගාමීන් විදිහට

a විශේෂ පුරෝගාමියෙක් කියන්නේ පූර්ණකාලීනව දේවසේවයේ හවුල් වෙන ස්වේච්ඡා සේවකයෙක්ට. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවලින් තමයි බයිබලේ ගැන උගන්වන අය අඩු පැතිවලට එයාලව යවන්නේ.

b ටොයිලට් එකක්වත් නැති වර්ග මීටර් හතරක (වර්ග අඩි 43ක) හිස් හිරකුටියක තමයි මට මාස හතක්ම ඉන්න වුණේ. මං නිදාගත්තේ වැලි පොළොවේ. මට පොරවගන්න තිබුණේ තුනී බ්ලැන්කට් එකක් විතරයි.

c “ඩොන්” කියන්නේ ස්පාඤ්ඤ භාෂාව කතා කරන රටවල්වල කෙනෙක්ගේ නමට කලින් පාවිච්චි කරන ගෞරවාන්විත යෙදුමක්.