Skip to content

පටුනට යන්න

ජේ කැම්බල් | ජීවිත කතාව

දූවිල්ලේ බඩ ගාපු මාව යෙහෝවා උස්සලා ගත්තා

දූවිල්ලේ බඩ ගාපු මාව යෙහෝවා උස්සලා ගත්තා

 මං පුංචි කාලේ ගොඩක් ලැජ්ජයි. හැම වෙලේම බැලුවේ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න. මොකද මිනිස්සු මාව පිළිකුල් කරයි කියලා මට ලොකු බයක් දැනුණා. ඒ නිසා මං ගේ අස්සේ රිංගගත්ත ගමන්මයි. ඉන්නකෝ මං මගේ කතාව ඔයාලට මුල ඉඳන්ම කියන්නං.

 1967. එතකොට මට වයස අවුරුදු එකහමාරක් විතර ඇති. දවසක් එකපාරටම මට සහලෝලා උණ ගත්තා. පහුවදා නැඟිටිද්දී මගේ කකුල් දෙකම පණ නෑ. අපි හිටියේ සියරා ලියොන්වල ෆ්‍රීටවුන් කියන ගමේ. ඉතිං අම්මලා ටක් ගාලා ඒ ළඟ තිබුණ ඉස්පිරිතාලෙකට මාව එක්කන් ගියා. එහෙන් කිව්වා මට පෝලියෝ කියලා. සාමාන්‍යයෙන් පෝලියෝ වැඩියෙන්ම හැදෙන්නේ අවුරුදු පහට වඩා අඩු ළමයින්ට. ඒක හැදුණාම ඇවිදින්න බෑ. කොච්චර ෆිසියෝතෙරපි ව්‍යායාම් (භෞතචිකිත්සාව) කළත් ඒකෙන් වැඩක් වුණේ නෑ. මගේ කකුල් පණ නැති නිසා ඇඟේ බර දරාගන්න කකුල්වලට බැරි වුණා. මගේම තාත්තා හැම වෙලාවෙම කිව්වේ “අපිට ඉන්නේ ළමයෙක් නෙවෙයි අබ්බගාතයෙක්” කියලා. මොකද ඉතිං මගේ කකුල් බෑනේ. මේ ජරා ලෙඩේ නිසා මාව ඇත්තටම පහතට වැටුණා විතරක් නෙවෙයි මං මානසිකවත් බිමටම වැටුණා.

උස් මහත් වුණෙත් බඩ ගාගෙනමයි

 මං ජීවත් වුණේ එක ළඟ පුංචි පුංචි ගෙවල් තිබුණ වත්තක. ඒ වත්තේ හිටියේ මායි, අම්මායි අපි වගේම දුප්පත් පවුල් කීපයකුයි. අනිත් අය මට ආදරෙන් සැලකුවාට මට ඕනෙම කරන කෙනාගේ ආදරේ මට ලැබුණේ නෑ. ඒ තාත්තාගේ ආදරේ. සමහරු කිව්වා මට හූනියමක් වගේ දෙයක් කරලා තියෙනවා, ඒකයි මේ වගේ ලෙඩක් හැදුණේ කියලා. තවත් අය අම්මාට කිව්වා මාව ආබාධිත අය ඉන්න ළමා නිවාසයක් ඉස්සරහා තියලා එන්න කියලා. එතකොට එයාට මගේ බරෙන් නිදහස් වෙන්න පුළුවන්නේ. හැබැයි මිනිස්සු ඒ මොනවා කිව්වත් අම්මා ඒවා ඇහුවේ නෑ. පුංචි කාලේ ඉඳන් මාව හදා වඩා ගන්න එයා දහ දුක් වින්දා.

 මට හිටගන්න බෑ, ඇවිදින්න බෑ. ගමන ඉතිං බඩ ගාගෙනම තමයි. එහෙම යද්දී ඇඟ හැම තැනම හීරෙනවා, තුවාල වෙනවා. ඒ නිසා මං කොයි වෙලෙත් ඇන්දේ ගොරෝසු ඇඳුම්. මං මගේ බාටා දෙකත් ග්ලව්ස් දෙකක් වගේ අත් දෙකේ දාගන්නවා. පස්සේ කාලෙක මට “U” අකුරේ හැඩේට තියෙන පොඩි ලී කෑලි දෙකක් හම්බ වුණා. ඊටපස්සේ ඒක තියතිය තමයි මං ඇවිද්දේ. අඩියක් ඉස්සරහට තියන්න මුලින්ම ඔය ලී කෑලි දෙක ඉස්සරහින් තියලා මුළු ඇඟේම බර අත් දෙකට අරන් රූටලා ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේ අඩියෙන් අඩිය ඉස්සරහට තියලා යද්දී බාගෙට පණ යනවා. අත් දෙකයි, උරහිස් දෙකයි ගන්න දෙයක් නෑ. ඔය සෙල්ලම කරන්න කොච්චර අමාරුද කියනවා නං මං වත්තෙන් එළියට බැස්සේ හරිම කලාතුරකින්. ඕක නිසා මට ඉස්කෝලේ යන්න බෑ. අනිත් ළමයි වගේ සෙල්ලම් කරන්න බෑ. කවදා හරි අම්මා නැති වුණ දවසක මට යන කල දසාව මොකක්ද කියලා මං සෑහෙන්න වධ වුණා.

 මං දෙවියන්ට යාච්ඤා කරලා කිව්වා මට කවදාවත් හිඟමනට නං වැටෙන්න දෙන්න එපා දෙවියනේ කියලා. මට ලොකු විශ්වාසයක් තිබ්බා මං ඔහුට ළං වෙලා හරි විදිහට ඔහුට නමස්කාර කළොත් ඔහු මාව බලාගනියි කියලා. ඒ නිසා 1981 එක දවසක මං අපේ පැත්තේ තිබුණ පල්ලියකට ගියා. ඒ ගමන යන එක කොච්චර අමාරු වුණත් මං කොහොමහරි ගියා. හැබැයි මිනිස්සු මං දිහා බලන විදිහ දැක්කාම මට ලොකු අපහසුතාවයක් දැනුණා. අනික ඒ පල්ලියේ පාස්ටර් මාව හරියට පිළිගත්තෙත් නෑ. ඒ මදිවට අනිත් අය ගෙවපු බංකුවක ඉඳගත්තා කියලා ඒ පාස්ටර් අපේ අම්මාටත් හොඳටම බැනලා තිබ්බා. මං එදා හිතාගත්තා ආයෙත් ඒ පැත්ත පළාතේ යන්නේ නෑ කියලා.

ස්වර්ගයේ ඉන්න තාත්තාව අඳුරගත්තා

 1984 එක දවසක උදේම මං වෙනදා වගේම උඩ තට්ටුවේ ජනේලේ ළඟට ගියා. එතකොට මට අවුරුදු 18යි. මට ලෝකේ දකින්න කියලා තියෙන්නේ ඉතිං ඒ ජනේලේ තමයි. ඔහොම ඉද්දී මට නිකමට වගේ හිතුණා පල්ලෙහාට ගිහිල්ලා බලන්න. සාමාන්‍යයෙන් උදේට පල්ලෙහා එච්චර සෙනඟ ගැවසෙන්නේ නෑ. හැබැයි එදා මට ගෙයින් ගෙට යන මහත්තුරු දෙන්නෙක් හම්බ වුණා. එයාලා මට කිව්වා ඉස්සරහට හොඳ කාලයක් ඇවිල්ලා මේ අසනීප ඔක්කොම නැති වෙනවා කියලා. ඒ වගේම එයාලා මට යෙසායා 33:24​යි, එළිදරව් 21:3, 4​යි පෙන්නුවා. ඊටපස්සේ එයාලා ‘පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!’ කියලා පාට පාට ලස්සන සඟරාවක් දුන්නා. ඒ විතරක් නෙවෙයි ආයෙත් ඇවිල්ලා ඒ සඟරාවේ තියෙන දේවල් කියලා දෙන්නම් කියලත් පොරොන්දු වුණා.

 එයාලා ආයෙත් ආවාම කිව්වා මට බයිබලේ ගැන උගන්නන්න පෝලීන් කියලා කෙනෙක්ව එක්කන් එන්නම් කියලා. එයා මෙහෙට අලුතෙන් ආපු මිෂනාරිවරියක්. පෝලීන් අනිත් අයට ගොඩක් ආදරේ කරන, ඉවසිල්ලෙන් වැඩ කරන, කරුණාවන්ත කෙනෙක්. එයා හැම තිස්සේම වගේ මං ගැන හොයලා බැලුවා. මට දැනුණේ එයා අම්මා කෙනෙක් වගේ. මගේ අම්මා කිව්වා මේ “අලුත් අම්මාත්” එක්ක දිගටම බයිබලේ පාඩම් කරන්න කියලා. පෝලීන් මට අකුරු කියවන්නත් ඉගැන්නුවා. ‘මගේ බයිබල් කතන්දර පොත’ පාවිච්චි කරලා ටිකෙන් ටික ස්වර්ගයේ ඉන්න මගේ තාත්තාව මට හඳුන්වලා දුන්නා. ඔය විදිහට කාලයක් තිස්සේ මං හොයහොය හිටපු පිය සෙනෙහස මට හම්බ වුණා.

මට බයිබල් පාඩම කරපු පෝලීන්

 බයිබලේ තියෙන දේවල් ඉගෙනගද්දී මට මාර සතුටක් දැනුණේ. මං දවසක් පෝලීන්ගෙන් ඇහුවා අර ඔයාලාගේ පොත් පාඩම a කියන රැස්වීමට මටත් එන්න පුළුවන්ද කියලා. ඒක තිබ්බේ අපේ ගෙවල් කිට්ටුව තව සාක්ෂිකරුවෙක්ගේ ගෙදර. පෝලීන් කිව්වා පුළුවන් කියලා. ඉතිං ඊළඟ අඟහරුවාදා මාව රැස්වීමට එක්කන් යන්න පෝලීන් ආවා. මං නාලා ලෑස්ති වෙලා එන කල් එයා බලන් හිටියා. සමහරු මට කිව්වා “පෝලීන්ට කියන්නකෝ ටැක්සියක් අරන් ඇවිත් ඔයාව එක්කන් යන්න කියලා.” හැබැයි මං කිව්වා “නෑ, එහෙම ඕනෙ නෑ. මට පුළුවන් වෙනදා වගේම මගේ ලී කෑලි දෙකෙන් යන්න” කියලා.

 මං ගෙදරින් එළියට බහිද්දී අම්මායි, අහළ පහළ අයයි මං යන හැටි බලාගෙන හිටියා. එයාලා වධ වුණා ඔය ටික දුර හරි මට ඔය විදිහට යාගන්න පුළුවන් වෙයිද කියලා. මිදුලට බහිද්දී සමහරු පෝලීන්ට කෑගැහුවා “ඔයා ඔය ළමයාව බලෙන් නේද එක්කං යන්නේ” කියලා.

 ඒ වෙලාවේ පෝලීන් මගෙන් ඇහුවා “ජේ, ඔයාට ඇත්තටම මේ ගමන යන්න ඕනෙද” කියලා. ඒක තමයි යෙහෝවා ගැන මගේ හිතේ තිබුණ විශ්වාසය පෙන්නන්න වෙලාව. (හිතෝපදේශ 3:5, 6) ඉතිං මං කිව්වා “ඔව්, මං මේ යන්නේ කැමැත්තෙන්මයි” කියලා. ඉතිං ඒක ඇහුවාට පස්සේ අහළ පහළ ඉන්න අයට තේරුණා මං මේක කරන්නේ කාගෙවත් බල කිරීමට නෙවෙයි කියලා. ඒ නිසා එයාලා සද්ද නොකර හිටියා. පස්සේ මං අපේ වත්තෙන් එළියට බහිද්දී හැමෝම සතුටින් අත්පුඩි ගහලා ගමනට සුබ පැතුවා.

 ඒ රැස්වීම නං මට කවදාවත් අමතක වෙන්නේ නෑ. එදා මට ලොකු සහනයක්, ප්‍රබෝධයක් දැනුණා. හැමෝම මාව ආදරෙන් පිළිගත්තා. කවුරුත් මා දිහා පහත් විදිහට බැලුවේ නෑ. ඒ නිසා මං දිගටම පොත් පාඩමට ගියා. ඔහොම ටික කාලයක් යද්දී මං පෝලීන්ගෙන් ඇහුවා මට ඕගොල්ලන්ගේ අර නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන ලොකු රැස්වීමට එන්න බැරිද කියලා. මං හරිම දුප්පත්. ඒ නිසා මගේ සන්තකේටම තිබ්බේ ගවුම් දෙකකුයි, සෙරෙප්පු කුට්ටමකුයි විතරයි. හැබැයි ඒ දේවල් නිසා සාක්ෂිකරුවන් මාව කොන් කරයි කියලා මට පොඩ්ඩක්වත් හිතුණේ නෑ. ඇත්තටම එයාලා කවදාවත් එහෙම කළෙත් නෑ.

 නමස්කාර මධ්‍යස්ථානයට යන්න අපේ පාරේ කෙළවරටම ගිහිල්ලා එතන ඉඳන් ටැක්සියකින් කන්ද පාමුලට යන්න ඕනේ. ඊටපස්සේ සහෝදරයෝ තමයි මාව උස්සගෙන ශාලාව ඇතුළට ගෙනිච්චේ.

 ඉතිං යෙහෝවාගේ යහපත්කමේ රහ දැනෙන්න දැනෙන්න මට ඕනෙ වුණා ඔහුගේ රැකවරණය ලබන්න. ඒ නිසා මං හිතාගත්තා මොන දේ වුණත් මං දිගටම රැස්වීම් යනවා කියලා. (ගීතාවලිය 34:8) හැබැයි වැස්ස කාලෙට නං ඒක කරන එක ලේසි නෑ. මොකද මං ශාලාවට යද්දී හොඳටම තෙමිලා, මඩත් නාගෙන යන්නේ. ගියාට පස්සේ ඉතිං මං ඇඳුම් මාරු කරගන්නවා. ඒක ලේසි නැති වුණත් කවදාවත් ඒ මහන්සිය අපතේ ගියේ නෑ.

 ‘1985 වාර්ෂික පොතේ’ මගේ අද්දැකීම ආවා. ඒක කියෙව්වාට පස්සේ ස්විට්සර්ලන්තයේ හිටපු සහෝදරියක් මට අතින් පදින්න පුළුවන් රෝද තුනේ බයිසිකලයක් එව්වා. ඒකේ රෝදවලට මඩ විසි වෙන්නේ නැති වෙන්න මඩ්ගාඩ් දාලා තිබ්බා. ඔය විදිහට ඉතිං මං මගේ “රාජකීය රථයේ” යද්දී ගමේ කොල්ලෝ කුරුට්ටෝ දුවගෙන එනවා ඒක බලන්න. දූවිල්ලේ බඩ ගාපු මං දැන් යන්නේ රැජිනක් වගේ. එදායින් පස්සේ නං මිනිස්සු මං දිහා පිළිකුලෙන් බැලුවේ නෑ. මට වැදගත් විදිහට සැලකුවා.

යෙහෝවා මාව උස්සලා ගත්තා

 සත්‍යයේ දියුණු වෙන්න මට එච්චර අමාරු වුණේ නෑ. මොකද ඒ වෙද්දීත් මං හරිම සරල, පිරිසිදු ජීවිතයක් තමයි ගත කළේ. මගේ මේ අලුත් බයිසිකලේ නිසා සේවේ කරන එකත් අමාරු වුණේ නෑ. කොහොමහරි 1986 අගෝස්තු 9වෙනිදා මං බව්තීස්ම වුණා. බව්තීස්මෙන් පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. යෙහෝවා මාව කවදාවත් හිතපු නැති තරම් ඉහළට උස්සලා ගත්තා. ජීවිතේ කිසිම දවසක අද්දැකලා නැති සතුටක්, සැනසීමක් මට ලැබුණා. මං ගැන හොඳ හැඟීමක් මට ඇති වුණා. මොකද මං දැන් දන්නවා මට ඇත්තටම ආදරේ කරන තාත්තා කෙනෙක් ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි මං ගැන සැලකිලිමත් වෙන හුඟක් යාළුවොත් මට දැන් ඉන්නවා.

 මං වෙනුවෙන් කරපු දේවල්වලට යෙහෝවාට ආපිට දෙයක් දෙන්න මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. ඒ නිසා මට හිතුණා ස්ථාවර පුරෝගාමි පටන්ගන්න ඕනෙ කියලා. ඒත් ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා හිතේ ලොකු බයක් තිබුණා. (ගීතාවලිය 116:12) මං ඒ ගැන යෙහෝවාට ගොඩක් යාච්ඤා කරලා තීරණයකට ආවා. ඉතිං 1988 ජනවාරි පළවෙනිදා පුරෝගාමි කියන පාරට මං අඩිය තිබ්බා. එදායින් එදා මං ඒ පාරෙන් අහකට ගියේ නෑ. ඇත්තටම පුරෝගාමි සේවය මගේ ජීවිතේට ලැබුණ ලොකුම ආශීර්වාදයක්. හැම මාසෙම පැය සම්පූර්ණ කරගන්න සහෝදර සහෝදරියෝ මට සෑහෙන්න උදව් කරනවා. ඒ වගේම දිගටම පුරෝගාමි සේවය කරන්න යෙහෝවාත් ඔහුගේ බලය දීලා මට ලොකු තල්ලුවක් දෙනවා.—ගීතාවලිය 89:21.

 කකුල් වාරු නැති වුණත් එක තැනම ඉන්නේ නැතුව මං පුළුවන් තරම් සේවේ කළා. ඒ ලැබුණ ව්‍යායාම් නිසා මගේ කකුල් දෙකත් වෙනදාට වඩා එහෙට මෙහෙට කරගන්න පුළුවන් වුණා. ඒ නිසා මට හිතුණා මං පිළිවෙළකට කකුලට ෆිසියෝතෙරපි කරගන්න ඕනෙ කියලා. එහෙම හිතලා මං ඉස්පිරිතාලෙකට ගියා. එතන හිටපු එක නර්ස් කෙනෙක් මට කිව්වා “ආයෙත් නාවාට කමක් නෑ, ඔයා තව වැඩි කල් ජීවත් වෙන්නේ නෑනේ” කියලා. ඒ නර්ස් විතරක් නෙවෙයි තව නර්ස් කෙනෙකුත් එහෙම කිව්වා. ඒක අහලා මං හොඳටම මානසිකව වැටුණා. ගෙදර ඇවිල්ලා යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා. මගේ හිත සන්සුන් කරන්න, හොඳ තැනකින් තෙරපි එකක් කරගන්න උදව් කරන්න කියලා මං ඔහුගෙන් ඉල්ලුවා.

 මගේ කකුල් දෙකට ලැබුණ “හොඳම තෙරපි” එක තමයි මගේ සේවය. සේවේ නිසා මට හොඳ ව්‍යායාමයක් ලැබුණා. අවුරුදු කීපයකට පස්සේ දවසක් මං නමස්කාර මධ්‍යස්ථානයේ ඉද්දී අර මං ඉක්මනටම මැරෙයි කියලා මට කියපු නර්ස් මාව දැක්කා. මං තාමත් ජීවතුන් අතර ඉන්නවා දැකලා එයා ගොඩක් පුදුම වුණා.

 මොන බාධාව ආවත් මං මගේ සේවේ නං නතර කළේ නෑ. මට තිබුණ උද්‍යෝගය ගැන, මං වේලපහින්ම රැස්වීම්වලට එන එක ගැන සහෝදරයෝ හැම තිස්සේම මාව අගය කරනවා. ඇත්තටම මං වේලපහින් රැස්වීමට යන්න ගොඩක් කැමතියි. මොකද එතකොට මට පුළුවන්නේ මගේ සහෝදර සහෝදරියන්ව ආදරෙන් පිළිගන්න. ඒ වගේම එයාලට සැලකිල්ල පෙන්නන්න.

 යෙහෝවාගේ යහපත්කමේ රස මට හැම විදිහකින්ම දැනිලා තියෙනවා. ඒ වගේම යෙහෝවාගේ ආශීර්වාදවලිනුත් මට කිසිම අඩුවක් නෑ. මට පුළුවන් වුණා තුන්දෙනෙක්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න. එයාලාගෙන් එක් කෙනෙක් තමයි ඇමීලියා. එයා ගිලියද් පාසැලේ 137වෙනි පන්තියටත් සහභාගි වුණා. ඊට අමතරව මටත් අවස්ථාව ලැබුණා පුරෝගාමි පාසැලට සහභාගි වෙන්න. ඒකත් එක සැරයක් විතරක් නෙවෙයි, කීප සැරයක්ම. ඇත්තටම මං හිතන් හිටියේ ජේ කියලා කියන්නේ බිම බඩ ගාගෙන යන නිකම්ම නිකං කෙනෙක් කියලා. හැබැයි දූවිල්ලේ බඩ ගගා හිටපු මාව ඉහළටම අරං යෙහෝවා වටිනාකමක් දුන්නා. දැන් අපේ ටවුමේ විතරක් නෙවෙයි මුළු රට පුරාම, ලෝකේ පුරාම මගේ කියලා කියන්න ඕන තරම් අය ඉන්නවා.

 ළඟදීම කිසිම ආබාධයක් නැතුව හැමෝම සතුටින් මේ පොළොවේ ජීවත් වෙනවා. ඒක තමයි යෙහෝවාගේ අරමුණ. ඒක මට දැනගන්න ලැබිලා දැන් අවුරුදු 40කට කිට්ටුයි. ඒ පොරොන්දුව මගේ ඇස් ඉස්සරහා සැබෑවක් වෙන කල් මං දිගටම ඉවසීමෙන් බලාගෙන ඉන්නවා. මොකද මං දන්නවා යෙහෝවා කවදාවත් පරක්කු වෙන්නේ නෑ කියලා. (මීකා 7:7) මගේ ඉවසීමට ඔහු මේ වෙද්දීත් ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා. ඕනෙම කරන උදව් ඔහු ඕනෙම වෙලාවේදී මට දෙනවා. ජීවිතේ වැටුණ තැන්වලදී, දරාගන්න බැරි වේදනාවක් දැනුණ තැන්වලදී මගේ හයියට හිටියේ මගේ යෙහෝවා. ඇත්තටම දූවිල්ලේ බඩ ගගා හිටපු මාව ඉහළට ඉස්සුවේ ඔහු ඇරෙන්න වෙන කවුද! ඒ නිසයි මේ ජේගේ මූණේ කොයි වෙලෙත් හිනාවක් තියෙන්නේ.

a දැන් ඒකට කියන්නේ සභා බයිබල් පාඩම කියලයි.