Skip to content

පටුනට යන්න

ටෙරී රෙනෝල්ඩ්ස් | ජීවිත කතාව

උපරිමය දෙන්න යෙහෝවා මට අත දුන්නා

උපරිමය දෙන්න යෙහෝවා මට අත දුන්නා

 මට අවුරුදු 14දී වයසක සහෝදරයෙක් මට එයාගේ බයිබලේ දුන්නා. එයාගේ නම සිසිල්. එයා මට දීලා තියෙන්නේ එයා අධ්‍යයනය කරන්න පාවිච්චි කරපු බයිබලේ. ඒ බයිබලේ හිස් තීරු පුරාම එයා ලියපු සටහන්වලින් පිරිලා තිබුණා. මට හිතුණා ‘ෂා, මේක නං නියම තෑග්ගක්!’ කියලා.

 සිසිල් කියන්නේ හරිම නිහතමානී සහෝදරයෙක්. එයා හැම තිස්සේම අනිත් අය ගැන හිතුවා. එයාගේ ආදර්ශය, මගේ අම්මාගේ ආදර්ශය සහ විශ්වාසවන්ත සහෝදර සහෝදරියන්ගේ ආදර්ශ තමයි යෙහෝවා වෙනුවෙන් උපරිමය දෙන්න මගේ හිතේ ලොකු “ආසාවක් වගේම පෙලඹීමක්” ඇති කළේ. (ෆිලිප්පි 2:13) ඉන්නකෝ මං මුල ඉඳන්ම මගේ කතාව ඔයාලට කියන්නම්.

අම්මාගේ උද්‍යෝගය මටත් බෝ වුණා

 මං ඉපදුණේ 1943දී. අපි හිටියේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ බන්ඩබර්ග්වලට කිට්ටුව තිබුණ ගොවිපොළක. සාමාන්‍යයෙන් එහේ අය පුරුදු වෙලා හිටියා හැම සෙනසුරාදා හවසකම ටවුමට ගිහින් කට්ටියව හම්බ වෙලා ආගිය තොරතුරු කතා කරන්න. දවසක් ඔහොම යද්දී අම්මලට පුරෝගාමීන් දෙන්නෙක්ව (යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණකාලීන සේවකයන්) හම්බ වුණා. ඒ 1939දී. එයාලා අම්මාටයි, තාත්තාටයි බයිබලේ ගැන කිව්වා. ඒ කියපු තොරතුරු එයාලාගේ හිතට තදින්ම වැදුණා. ඒ නිසා කාලයත් එක්කම එයාලත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණා. ඉතිං ඔය විදිහට මටයි, මගේ අක්කා ජීන්ටයි පොඩි කාලේ ඉඳන්ම සත්‍යයේ හැදී වැඩෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි දවසක් අපි හිතුවෙවත් නැති දෙයක් වුණේ. පඩි පෙළෙන් වැටිලා හදිස්සියේ මගේ තාත්තා නැති වුණා. එතකොට මට අවුරුදු හතක් වුණා විතරයි. එයාගේ මරණය මට සෑහෙන්න බලපෑවා. මට තාම මතකයි මගේ තාත්තා ගොඩක් මහන්සි වෙලා වැඩ කරන, කොයි වෙලෙත් විහිළුවෙන් තහළුවෙන් ඉන්න කෙනෙක්. එයා නැවත නැඟිටලා එන කල් මං ආසාවෙන් බලන් ඉන්නවා. එතකොට මට ආයෙත් තාත්තා ළඟින් ඉන්න පුළුවන්.—ක්‍රියා 24:15.

 මගේ අම්මාත් හුඟක් කරුණාවන්ත, සාධාරණ කෙනෙක්. එයා හැම දේකදීම නීති දැම්මේ නෑ. අපේ කැමැත්තටත් ඉඩ දුන්නා. හැබැයි නමස්කාරේ දේවල්වලදී, බයිබල් ප්‍රතිපත්ති රකිද්දී තත්වේ ඊට වඩා වෙනස්. ඒ වෙලාවලදී අම්මා වැඩ කළේ හරි කෙළින්. අපි රැස්වීම් එකක්වත් මිස් කළේ නෑ. මට මතකයි පොඩි කාලේ ඉඳන්ම අම්මා අක්කාටයි, මටයි කියනවා ඉස්කෝලේ වෙලාවලදී ඇරෙන්න අනිත් වෙලාවට ඕනෑවට වඩා ලෝකේ යාළුවන්ව ආශ්‍රය කරන්න එපා කියලා. (1 කොරින්ති 15:33) ආපහු හැරිලා බලද්දී අම්මා ඒ විදිහට කෙළින් වැඩ කරපු එක මං ගොඩක් අගය කරනවා.

මට අවුරුදු 14දී

 මගේ අම්මා හරිම උද්‍යෝගයෙන් සේවේ කරපු කෙනෙක්. එයා ඉස්සර උපකාරක පුරෝගාමි කළා (දැන් ඒකට කියන්නේ සහායක පුරෝගාමි කියලා). සේවේ යනවාට අමතරව එයාට හැම මාසෙම ‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ සඟරා දෙන ගෙවල් 50කට වැඩිය තිබුණා. එයා වයසට ගියාට පස්සෙත් බැරි බැරි ගාතේ උනන්දුව දක්වපු අයව හම්බ වෙන්න යන විදිහ මට අද වගේ මතකයි. එයාගේ ඒ උද්‍යෝගය නං මොන දේ නිසාවත් අඩු වුණේ නෑ. අම්මාගේ හිතේ අනිත් අය ගැන තිබුණ ආදරේ, විශේෂයෙන්ම අපි දෙන්නා ගැන තිබුණ සෙනෙහස අපි පොඩි කාලේ ඉඳන්ම දැක්කා. ඒක තමයි අපි දෙන්නාව පෙලඹුවේ එයාව ආදර්ශයට ගන්න. ඉතිං 1958දී ඒ කියන්නේ මට අවුරුදු 14ක් වෙද්දී මං යෙහෝවාට කැප වෙලා බව්තීස්ම වුණා.

ආශ්‍රය මට ලොකු බලපෑමක් වුණා

 අපේ සභාවේ හිටියා රුඩොල්ෆ් කියලා සහෝදරයෙක්. එයා ආවේ ජර්මනියේ ඉඳන්. ඒ වෙද්දී එයා 20 ගණන්වල විතර ඉන්න ඇති. මං බව්තීස්ම වෙලා ටික කාලෙකට පස්සේ එයාත් බව්තීස්ම වුණා. ඉතිං සෙනසුරාදා උදේට අපි දෙන්නා තමයි සේවේ යන්නේ. අපි ශුභාරංචිය කිව්වේ පාරවල් අයිනේ වාහනවලට වෙලා ඉන්න අයට.

 රුඩොල්ෆ් කියන්නෙත් හරිම උද්‍යෝගිමත් සහෝදරයෙක්. එයා මට කිව්වා ඉස්කෝලේ නිවාඩු කාලෙට අපි උපකාරික පුරෝගාමි කරමු කියලා. සැරයක් අපි සේවේ කරන්න ග්ලැඩ්ස්ටෝන්වලට ගියා. ඒක තිබුණේ බන්ඩබර්ග් ඉඳලා කි.මී. 190ක් විතර දුරින්. අපි සති හයක්ම එහේ නැවතිලා සේවේ කළා. රුඩොල්ෆ් එක්ක සේවේ කරද්දී මගේ හිතට දැනුණේ පුදුම සතුටක්. මොකද මට දැනුණේ එයා මගේම අයියා කෙනෙක් වගේ. මේ ලැබුණ සතුටත් එක්ක මට ඕනෙ වුණා ස්ථාවර පුරෝගාමි පටන්ගන්න. ඉතිං අවුරුදු 16දී මං පූර්ණකාලීන සේවේට අඩිය තිබ්බා. එදා මං හිතාගත්තා ඒ තිබ්බ අඩිය කවදාවත් ආපස්සට ගන්නේ නෑ කියලා.

 මට මුලින්ම පැවරුම ලැබුණේ මැකේවලට. ඒක තිබුණේ බන්ඩබර්ග්වල ඉඳන් උතුරට වෙන්න. එහේ ඉඳන් මහා බාධක පරයටත් වැඩි දුරක් නෑ. ඔහොම අවුරුද්දක් විතර යද්දී ඒ කියන්නේ මට අවුරුදු 17දී මට විශේෂ පුරෝගාමි a ලැබුණා. මෙදා සැරේ මට යන්න වුණේ ඕස්ට්‍රේලියාවේ පිටිසර පැත්තකට. මගේ පුරෝගාමි පාට්නර් වුණේ සහෝදර බෙනට් (බෙන්) බ්‍රිකල්. එයා මට වඩා අවුරුදු 40ක් වැඩිමල් අභිෂේක ලත් සහෝදරයෙක්. b ඒ වගේ ජ්‍යෙෂ්ඨ පුරෝගාමියෙක් එක්ක වැඩ කරන්න ලැබුණ එක ඇත්තටම මට ලැබුණ වරප්‍රසාදයක්. කට්ටිය එයාට කිව්වේ “පුරෝගාමීන්ගෙත් පුරෝගාමියා” කියලා.

1963දී ආදිවාසී කාන්තාවකට සාක්ෂි දරනවා

 අපි සේවේ කරන්න ගියේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ වයඹ දිගට වෙන්න තිබුණ කාපන්ටේරියා කියන පැත්තේ. ඒ පිටිසර පැතිවල සාක්ෂිකරුවන්ට කියලා හිටියේ මායි, බෙන් අංකලුයි විතරයි. ඒක සෑහෙන්න ලොකු පැත්තක්. ඒ නිසා අපිට එක එක තැන්වල නැවතිලා තමයි සේවේ කරන්න වුණේ. නැවතිලා හිටපු එක තැනක ඉඳන් තව තැනකට යන්න සෑහෙන දුරක් යන්නත් වුණා. ඉතිං දූවිලි නාගෙන වාහනෙන් ඔහොම පැය ගාණක් යද්දී බෙන් අංකල් එයාට සේවෙන් ලැබුණ රසබර අද්දැකීම් මාත් එක්ක කියනවා. දෙවෙනි ලෝක මහා යුද්ධ කාලේ ඕස්ට්‍රේලියාවේ අපේ වැඩ තහනම් කළාම එයාලා ශබ්ද විකාශන යන්ත්‍ර හයි කරපු කාර්වලින් සාක්ෂි දරපු විදිහත් එයා මට කිව්වා.

මායි, (මැද) තව සහෝදරයෙකුයි බයිබල් පාඩමක් කරනවා

 සාමාන්‍යයෙන් අපි මුළු දවසම සේවේ කරලා රෑ ගත කරන්නේ පාර අයිනේ. c ඊටපස්සේ මොකක් හරි අටවගෙන පුංචි කෑමක් හදාගන්නවා. පොළොවට ඉටි කොළයක් එළලා ඒකේ උඩින් බ්ලැන්කට් එකයි, කොට්ටෙයි දාගෙන තමයි මං නිදාගත්තේ. ඒක තමයි ඉතිං මගේ ඇඳ. ඕකෙ දිගා වුණාම කෙළින්ම පේන්නේ අහස. වටේ පිටේ මුකුත් ලයිට් නැති නිසා හරිම ලස්සනට අහසේ තරු පේනවා. ඕවා දිහා බලාගෙන ඉද්දී තේරෙනවා යෙහෝවා මොන තරම් ශ්‍රේෂ්ඨද කියලා.

 ඔය වගේ හද්ද පිටිසර පැත්තක බැරි වෙලාවත් වාහනයක් කැඩුණොත් නං දෙයියන්ගෙම පිහිට තමයි. දවසක් අපිටත් ඒ වගේ දෙයක් වුණා. අපේ වාහනේ ඇක්සල් එක කැඩුණා. එදා ගිනි කාෂ්ටක අව්ව. අනිත් එක අපිට බොන්න ඇති තරම් වතුර තිබුණෙත් නෑ. කොහොමහරි එතනින් ගිය වාහනේක නැගලා බෙන් අංකල් ඒක හදාගන්න ටවුමට ගියා. එයා ආපහු එන කල් දවස් තුනක් විතර මට වාහනේ තැපතැප ඉන්න වුණා. මං හිටපු පාරේ, ඉඳලා හිටලා වාහනයක් දෙකක් යනවා. සමහර ඩ්‍රයිවර්ලා මට බොන්න වතුරත් දුන්නා. ඔහොම ඉද්දී සැරයක් එක ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ නවත්තලා කොළ නැමිච්ච, හම්පඩ පොතක් මට දීලා කිව්වා “යාළුවා එන කල් කම්මැළිකමට මේක කියවන්න” කියලා. හැබැයි ඒක දැකලා මාව උඩ ගියා! මොකද ඒකේ තිබුණේ නාට්සි පාලනය යටතේ සාක්ෂිකරුවන් මූණ දීපු අද්දැකීම් ගැන.

 බෙන් අංකලුයි, මායි අවුරුද්දක් විතර එකට පුරෝගාමි කළා. එයාව මට හම්බ වුණ අන්තිම දවසේදී එයා මට කිව්වා “පුතා මේ සටන අත්හරින්න එපා” කියලා. බෙන් අංකල්ට යෙහෝවා ගැන තිබුණ ළැදිකම, එයාගේ ඒ උද්‍යෝගය පූර්ණකාලීන සේවේ දිගටම රැඳිලා ඉන්න මට ලොකු තල්ලුවක් වෙලා තියෙනවා.

ගිලියද්වලින් තායිවානයට

 ඔය විදිහට අවුරුදු ගාණක්ම පුරෝගාමි සේවේ කළාට පස්සේ මට චාරිකා සේවේ කරන්න ආරාධනාවක් ලැබුණා. මට චාරිකා යන්න තිබුණේ පිටිසර පැතිවල තිබුණ සභාවලට සහ කණ්ඩායම්වලට. ඔහොම අවුරුදු ගාණක් සේවේ කරද්දී මට චාරිකා හතරක් බලාගන්න දුන්නා. ඒ චාරිකාවලට ක්වීන්ස්ලන්තයේ සහ නිව් සවුත් වේල්ස්වල තිබුණ සභාත් ඇතුළත්. 1971දී මං හිතපු නැති විදිහේ ආශීර්වාදයක් මට ලැබුණා. මට පුළුවන් වුණා 51වෙනි ගිලියද් පාසැලට සහභාගි වෙන්න. එහෙදී මට අවස්ථාව ලැබුණා මාස පහක් තිස්සේ ඒ ශිෂ්‍යයන් එක්කයි, උපදේශකයන් එක්කයි කිට්ටුවෙන් වැඩ කරන්න. ඉතිං ඒ ලැබුණ ආශ්‍රය, ඒ පුහුණුව මගේ ඊළඟ පැවරුමට මට ලොකු පන්නරයක් වුණා. මගේ ඊළඟ පැවරුම වුණේ තායිවානයේ මිෂනාරි සේවය.

මගේ ගිලියද් පන්තියේ කට්ටිය

 ගිලියද් පාසැලෙන් තායිවානයට නමදෙනෙක්ට පැවරුම් ලැබුණා. ඒ අය අතරේ සහෝදර ඉයන් බ්‍රවුනුත් හිටියා. එයා නවසීලන්තයේ සහෝදරයෙක්. අපි දෙන්නාට තමයි එකට සේවේ කරන්න පැවරුම ලැබුණේ. තායිවානය ගැන අපි මෙලෝ දෙයක් දැනගෙන හිටියේ නෑ. කොච්චරද කියනවා නං සිතියම අරන් බැලුවාට පස්සේ තමයි ඒක තියෙන්නේ කොහෙද කියලා දැනගත්තෙත්.

 ක්වීන්ස්ලන්තයයි, තායිවානයයි කියන්නේ අහසට පොළොව වගේ! අපිට දැනුණේ අපිව කරකෝලා අතහැරියා වගේ. අපිට තිබ්බ පළවෙනි අභියෝගය තමයි චීන භාෂාව ඉගෙනගන්න එක. රැස්වීම් කියන්නේ යෙහෝවාගෙන් පෝෂණය ලැබෙන ප්‍රධානම විදිහ. හැබැයි භාෂාව දන්නේ නැති නිසා මුලදී රැස්වීම් ගියාට මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඒ ගැන හිතද්දී හිතට ලොකු බරක් දැනුණා. ඒ මදිවට සහෝදර සහෝදරියන් එක්ක හරියට කතා කරගන්නත් බෑ. ඒ වුණාට එයාලාගේ හිතේ අපි ගැනයි, යෙහෝවා ගැනයි තිබුණ ආදරේ අපිට දැනුණා. ඒක අපිට ලොකු දිරිගැන්වීමක් වුණා. ගිලියද්වලදී ඉගෙනගත්ත දේවලුත් අපිට ඔය කාලේදී ගොඩක් උදව් වුණා. අපි ආයේ ආයේ ඒවා මතක් කරගත්තා. ඒ වගේම බයිබල් අධ්‍යයනය, යාච්ඤාව අපිට ලොකු හයියක් වුණා. ඒවා නිසා තමයි අපේ විශ්වාසය රැකගන්න අපිට පුළුවන් වුණේ.

චීන භාෂාවත් ඉගෙනගත්තා

 තායිවානයට ආවාට පස්සේ මිෂනාරි සේවේ කරන හැමෝටම චීන භාෂාව ඉගෙනගන්න පුංචි ක්ලාස් එකක් තිබුණා. අපිට භාෂාව ඉගැන්නුවේ ඕස්ට්‍රේලියාවේ ඉඳන් ආපු කැත්ලීන් ලෝගන් d කියලා සහෝදරියක්. එයා 25වෙනි ගිලියද් පාසැලට ගිය කෙනෙක්. එයා හැම තිස්සේම අපිව උනන්දු කළා ඉගෙනගන්න දේවල් පුළුවන් තරම් පාවිච්චි කරන්න කියලා. ඉතිං මායි, ඉයනුයි චීන භාෂාවෙන් කෙටියෙන් පණිවිඩේ කියන්න පුළුවන් විදිහක් කටපාඩම් කරගෙන සේවේ ගියා. දැන් ඊළඟට තිබ්බ ප්‍රශ්නේ තමයි කවුද මුලින්ම පණිවිඩේ කියන්නේ කියලා. මංනේ ඉතිං වැඩිමලා. මං අයියා පාට් එක දාලා ඉයන්ට කිව්වා ඔයා මුලින්ම කියන්න කියලා. පළවෙනි ගෙදරට තට්ටු කළාම ආවේ හරිම වැදගත් පෙනුමක් තියෙන චීන මහත්තයෙක්. ඉතිං ඉයන් දන්න චීනයි, ඉංග්‍රීසියි දාලා පටල පටල කොහොමහරි පණිවිඩේ කියාගත්තා. ඕක හරිම ඉවසීමෙන් අහන් ඉඳලා ඒ මහත්තයා ඉංග්‍රීසියෙන්ම ඇහුවා “දැන් ඔයාලට ඇත්තටම මොකක්ද කියාගන්න ඕනෙ” කියලා. ඊටපස්සේ ඉතිං පණිවිඩේ ඉංග්‍රීසියෙන් කිව්වා. චීන භාෂාව ඉගෙනගන්න එක ගැන එයා අපිව ගොඩක් අගය කළා. එයා කිව්වා “අත්හරින්න එපා දිගටම ඕක ඉගෙනගන්න” කියලා. ඔය වචන කියද්දී මට බෙන් අංකල්වත් මතක් වුණා.

 තායිපේ අගනුවර අපිට සේවේ කරන්න තිබුණ පැත්ත හරිම ලොකුයි. එහේ සාක්ෂිකරුවෝ හිටියේ හරිම ටිකදෙනායි. හුඟක් අය පණිවිඩේ අහලත් නෑ. ඉතිං ඉයනුයි, මායි අපි මේක කොහොමහරි කරමු කියලා වැඩේට බැස්සා. ඒ දවස්වල අපි මාසෙකට සඟරා සිය ගාණක් දුන්නා. සමහරු අපෙන් සඟරා ගත්තේ ඇත්තටම සත්‍යය හොයලා බලන්නම නෙමේ. ඒ වෙනුවට අපි කවුද, මොකක්ද මෙයාලා කියන්න යන්නේ කියලා දැනගන්න තියෙන කුතුහලයට. ඒ කොහොමවුණත් අපි පුළුවන් තරම් දෙනෙක්ට සත්‍යය ගැන කිව්වා. මොකද අපිට ලොකු විශ්වාසයක් තිබුණා අවංක හදවත්වල සත්‍යය කියන බීජය පැළ වෙයි කියලා.

මගේ සහයට අලුත් කෙනෙක්

1974දී වෙන් හුවායි, මායි සේවේ යන ගමන්

 එහේ එක තායිවාන් සහෝදරියක් හිටියා වෙන් හුවා කියලා. කාලයක් යද්දී අපි හුඟක් හිතවත් වුණා. එයා සත්‍යයට හරිම ළැදියි. එයාට ලොකු ආසාවක් තිබුණා එහේ හිටපු හැමෝම සත්‍යය දැනගන්නවා දකින්න. ඒ නිසා එයා හුඟක් මිෂනාරිවරුන්ට උදව් කළා ඒ රටේ භාෂාව ඉගෙනගන්න. එයාලා අතරේ ඉතිං මාත් හිටියා. ඔහොම කාලයක් යද්දී ටිකෙන් ටික එයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වුණා. ඉතිං 1974දී අපි බැන්දා.

 මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදිහට පණිවිඩේ කියන්න වෙන් හුවා මිෂනාරිවරුන්ට හුඟක් උදව් කළා. එයා නිකම්ම භාෂාව ඉගැන්නුවා විතරක් නෙමේ තායිවානේ අයගේ සංස්කෘතිය, එයාලා හිතන පතන විදිහ මේ හැම දෙයක්ම එයා ඉගැන්නුවා. එහේ වැඩියෙන්ම හිටියේ බෞද්ධ අයයි, ටාඕවාදීනුයි. එයාලා එයාලාගේ මැරිච්ච මුතුන්මිත්තන්ට වන්දනාමාන කරපු අය. ඒ හුඟක් අය බයිබලේ කියවලා තියා ඇහැටවත් දැකලා නෑ. ඉතිං අපි එයාලත් එක්ක වැඩියෙන්ම කතා කළේ නිර්මාතෘ ගැන. අපි එයාලට කිව්වා “නිර්මාතෘගේ නම යෙහෝවා, ඔහු ඉන්නවා කියන්න ඕන තරම් සාක්ෂි තියෙනවා” කියලා. සමහර වෙලාවට අපිට ගොවිතැන් කරන අයව, මාළු අල්ලන අයව හම්බ වෙනවා. එයාලා නිතරම වගේ කියන දෙයක් තමයි “දෙයියන්ට පිං සිද්ධ වෙන්න තමයි අපේ බඩ කට පිරෙන්නේ” කියලා. ඒ වගේ වෙලාවට අපි එයාලට කියනවා “මේ හැම දෙයක්ම දෙන දෙවියන් කවුද, ඔහුට මේ හැම දේම නිර්මාණය කරන්න තරම් බලයක් තියෙනවා නං අපි නමස්කාර කරන්න ඕනෙත් ඔහුට නේද” කියලා.

1975දී වෙන් හුවා එක්ක

 ඔහොම කාලේ ගෙවිලා යද්දී අපි දරපු මහන්සිය මල්පල ගැන්වුණා. ශුභාරංචිය හුඟදෙනෙක්ගේ හදවත්වල ටිකෙන් ටික පැළ වුණා. අපිත් එක්ක පාඩම් කරපු සමහර අයගේ හිතේ මුල් ඇදලා තිබුණ බොරු විශ්වාසයන්, චාරිත්‍ර වාරිත්‍ර උගුල්ලලා දාන එක එයාලට ලේසි වුණේ නෑ. හැබැයි එයාලාගේ මහන්සියෙනුයි, මිෂනාරිවරුන් සහ ප්‍රචාරකයන්ගේ උදව්වෙනුයි එයාලා කොහොමහරි ඒක ජය ගත්තා. එයාලාගේ ජීවිත පුදුම විදිහට වෙනස් වුණේ. (යොහන් 8:32) ඒ විදිහට සත්‍යයට ආපු හුඟදෙනෙක් දැන් පූර්ණකාලීන සේවේ කරනවා. සමහරු බෙතෙල් එකේ. ඒ අය අතරේ හිටපු හුඟක් සහෝදරයෝ සභාවල වගකීමුත් දරනවා.

 1976 ඉඳලා මට අවස්ථාව ලැබුණා මිෂනාරිවරයෙක් විදිහට සේවේ කරන ගමන් තායිවානයේ ශාඛා කමිටුවෙත් සේවේ කරන්න. 1981දී මටයි, වෙන් හුවාටයි බෙතෙල් එකට ආරාධනාවක් ලැබුණා. එදා ඉඳන් අවුරුදු ගාණක් යන කල්ම මං ශාඛා කමිටුවේ සේවේ කළා. දැන් මං පූර්ණකාලීන සේවෙට අඩිය තියලා අවුරුදු 60කටත් වඩා වැඩියි. ඒකෙන් අවුරුදු 50කටත් වඩා ගෙවුණේ තායිවානයේමයි. දැන් අපි දෙන්නා කසාද බැඳලත් අවුරුදු 50කට කිට්ටුයි. ඔයාලට මතකයිනේ මාත් එක්ක එකට සේවේ කරපු මගේ යාළුවා ඉයන් බ්‍රවුන්. එයා 2013දී නැති වුණා. ඒ වෙන කල්ම එයා මෙහේ විශ්වාසවන්තව යෙහෝවාට සේවේ කළා.

1997දී තායිවානයේ මගේ ඔෆිස් එකේ

 බෙතෙල් එකෙයි, අපේ සභාවෙයි සේවේ කරන්න වෙන් හුවායි, මායි අපිට පුළුවන් උපරිමය කළා. ඇත්තටම ඒ විදිවලින් සේවේ කරන්න අපිට අවස්ථාව දුන්නාට අපි යෙහෝවාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. කොල්ලා කාලේ ඉඳන්ම ඔහු වෙනුවෙන් උපරිමය දෙන්න මගේ හිතේ ආසාවක්, පෙලඹීමක් ඇති කළේ යෙහෝවා. අදටත් යෙහෝවා ඒ ආසාව පොඩ්ඩක්වත් අඩු වෙන්න දීලා නෑ.

a විශේෂ පුරෝගාමියෙක් කියලා කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් ප්‍රචාරකයන් අඩු පැතිවලට දේශනා සේවේ කරන්න යවන ස්වේච්ඡා සේවකයෙක්ට.

b සහෝදර බෙනට් බ්‍රිකල්ගේ අද්දැකීම 1972 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා. (සිංහලෙන් නැහැ.)

c මේ වගේ ප්‍රදේශවල සේවේ කරන සහෝදරයන් ගැන දැනගන්න ‘හුදෙකලා ප්‍රදේශයක සාක්ෂි දැරීම - ඕස්ට්‍රේලියාව’ කියන වීඩියෝ එක බලන්න.

d හාර්වි සහ කැත්ලීන් ලෝගන්ගේ ජීවිත කතාව 2021 ජනවාරි ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා.