Skip to content

පටුනට යන්න

ඩේවිඩ් මේසා | ජීවිත කතාව

දුක සැප එක සේ විඳගත් අපි අද සතුටින්

දුක සැප එක සේ විඳගත් අපි අද සතුටින්

බයිබලේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගත්තට පස්සේ කවදාවත් හිතපු නැති දෙයක් මට ලැබුණා. ඒ තමයි සතුටින් පිරුණු එකමුතු පවුල් ජීවිතයක්! ඒ නිසා මටයි, මගේ නෝනාටයි, අපේ දරුවෝ තුන්දෙනාටයි පුළුවන් වුණා මුළු හිතින් එකා වගේ යෙහෝවාට සේවේ කරන්න.

2004 අප්‍රියෙල් 24වෙනිදා අපේ ජීවිතේ අඳුරුම දවසක්. ඒ දවසට අපි කවුරුවත් ලෑස්ති වෙලා හිටියේ නැහැ.

 මගේ නෝනාගේ නම කේ. අපේ ලොකු දූ ලෝරන්. එයා ඉපදෙද්දී හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මං දැනන් හිටියේ නැහැ. පස්සේ අපේ දෙවෙනි පුතා මයිකල් ඉපදෙද්දිත් මගේ එහෙමයි කියලා ලොකු වෙනසක් තිබුණේ නැහැ. එහෙම වෙන්න මගේ අම්මයි, තාත්තයි එක හේතුවක්. එයාලා කොයි වෙලෙත් රණ්ඩු කළා. අන්තිමට එයාලාගේ කසාදේ කෙළවර වුණේ දික්කසාදෙන්. මට ඕනෙ වුණා හොඳ තාත්තා කෙනෙක්, හොඳ සැමියෙක් වෙන්න. ඒත් මං දැනන් හිටියේ නැහැ ඒ වගේ කෙනෙක් වෙන්නේ කොහොමද කියලා.

 අම්මයි, තාත්තයි විතරක් නෙමෙයි මං කරපු දේවලුත් ඒකට හේතුවක් වුණා. යෞවන කාලේදීම මං මත්පැන්, මත්ද්‍රව්‍ය, සූදුව වගේ තව ගොඩක් දේවල්වලට ඇබ්බැහි වුණා. මං ඒ පුරුදුවල කොච්චර එරිලා හිටියද කියනවා නම් ගොඩ එන්න විදිහක් තිබුණෙම නැහැ. ඒ නිසා මට කිසිම දෙයක් හරියට කරගන්න බැරුව ගියා. එකපිට එක දේවල් වරද්දගත්තා. ඒ අතරින් මට වාවගන්නම බැරි දේ වුණේ කේ, අපේ දරුවෝ දෙන්නත් එක්ක මාව දාලා ගිය එක.

 මං කේගෙන් ඇහුවා එයාව ආයෙත් ගෙදර එක්කන් එන්න මං මොනවාද කරන්න ඕනෙ කියලා. එයා ගත්කටටම කිව්වා “බයිබලේ පාඩම් කරන්න” කියලා. මොකද ඒ දවස්වල එයා ග්ලෝරියා කියන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියත් එක්ක බයිබලේ පාඩම් කරකර හිටියේ. කේ මොන අරමුණෙන්ද ඒක කිව්වේ කියලා මට තේරුණේ නැහැ. හැබැයි කේව ආයෙත් මං ගාවට ගෙන්නගන්න ඕනෙ නිසා මං එයාට කිව්වා “හරි, මං ග්ලෝරියයි එයාගේ මහත්තයා බිල් එක්කයි බයිබල් පාඩමක් කරන්නම්” කියලා.

ජීවිතේ වෙනස් කරපු සාකච්ඡාවක්

 බිලුයි, ග්ලෝරියයි අපේ ගෙදර ආපු වෙලාවේ මං දැක්කා ඒ දෙන්නා කොච්චර ආදරෙන්ද ඉන්නේ කියලා. එයාලගේ දරුවෝ තුන්දෙනාත් මගේ වයසේ. ඒ වෙද්දිත් ඒ තුන්දෙනා අනිත් අය වෙනුවෙන් ජීවිතේ හුඟක් දේවල් කැප කරලයි තිබුණේ. මුල්ම වතාවට මට දැනුණා බයිබලේ තියෙන දේවල් ඉගෙනගත්තොත් සතුටින් පිරුණු පවුල් ජීවිතයක් ගත කරන්න මටත් පුළුවන් වෙයි කියලා.

 එදා බිලුයි, ග්ලෝරියයි මාත් එක්ක මගේ ප්‍රශ්න ගැන කතා කෙරුවා. එයාලා බයිබලේ ගලාති 6:7 තියෙන දේ මට පෙන්නුවා. එතන කියන්නේ “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.” එවෙලේ මං හිතුවා ‘අනේ මං මේ බයිබල් ප්‍රතිපත්ති කලින් ඉගෙනගෙන අදාළ කරගෙන තිබ්බා නම් අද මං එරිලා ඉන්න වළේ වැටෙන්නේ නැහැනේ!’ කියලා.

කේ සහ ඩේවිඩ්

 කාලයක් යද්දී මට තේරුණා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා මගේ ජිවිතේ කොච්චර හොඳ අතට හැරුණාද කියලා. කේයි, මායි සිගරට් බොන එක නතර කළා. ඇබ්බැහි වෙලා හිටපු හැම දේකින්ම මං නිදහස් වුණා. 1985දී අපේ තුන්වෙනි පුතා ඩේවිඩ් ඉපදෙද්දී හොඳ තාත්තා කෙනෙක් වෙන්න මං ලෑස්ති පිට හිටියේ. ඩේවිඩ්ට අපි ආදරේට කිව්වේ ඩේවි කියලා.

පවුලක් විදිහට යෙහෝවාට කරපු සේවය

 අපි අපේ දරුවෝ එක්ක ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ වගේ පොත් පාඩම් කරද්දී අපිත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. දරුවන්ව යෙහෝවාට ළං කරන්න අපි මහන්සි වෙද්දී අපි දෙන්නත් යෙහෝවාට ළං වුණා. ඒ විතරක් නෙමෙයි අපේ සභාවේ හිටපු සමහර පවුල් අපිට, අපේ දරුවන්ට හොඳ ආදර්ශයක් වුණා.

මයිකල් සහ එයාගේ බිරිඳ ඩියානා

 ඔහොම කාලයක් ගියා. 2004 මුල වෙද්දී ලෝරන් ස්පාඤ්ඤ භාෂාව කතා කරන සභාවක පුරෝගාමී සේවේ පටන්ගත්තා. බෙතෙල් සේවේ කරකර හිටපු මයිකල් පුතා ඩියානා එක්ක විවාහ වෙලා ගුවාම්වල සේවේ කරන්න යන්න, ඔන්න මෙන්න කියලා තිබුණේ. ඩේවිට ඒ වෙද්දී වයස 19යි. එයා ඩොමිනිකන් ජනරජයේ සේවේ කරන්න පටන්ගත්තා විතරයි.

 අපේ දරුවෝ ගත්ත තීරණ ගැන දෙමව්පියෝ විදිහට අපි දෙන්නට තියෙන්නේ පුදුම සතුටක්. අපිට ලොකු සහනයක් දැනුණා. අපිට දැනුණේ එදා සභාව ගැන යොහන්ට දැනිච්ච විදිහටමයි. 3 යොහන් 4වෙනි ඡේදයේ කියනවා “මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වන බව අසන්න ලැබීම තරම් සතුටක් තවත් මට නැත” කියලා. ඒත් එක ෆෝන් කෝල් එකකින් අපේ මුළු ජීවිතේම කඩන් වැටෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ.

වේදනාකාරී අද්දැකීමක්

 2004 අප්‍රේල් 24වෙනිදා කේයි, මායි, තව හතරදෙනෙක් එක්ක රෑ කෑමට එළියට ගියා. රෙස්ටොරන්ට් එක තිබ්බේ අපේ දිහා ඉඳලා කිලෝමීටර් 100ටත් එහායින්. ඒ නිසා අපි හයදෙනාම ගියේ අපේ කාර් එකේ. කෑම කෑවට පස්සේ අපි තව කැෆේ එකකට ගියා ඩෙසට් මොනාහරි කන්න. අනිත් අයව බස්සලා මං වාහනේ නවත්තන්න තැනක් හොය හොය ඉද්දී මට කෝල් එකක් ආවා. ඒ මගේ යාළුවෙක්ගෙන්. එයා කතා කෙරුවේ වෙවුල වෙවුල. එයා කතා කරපු විදිහෙන් එයා හිටියේ ලොකු පීඩනේකින් කියලා මට තේරුණා.

 එයා කිව්වා “කලබල වෙන්න එපා. ඩේවි ඇක්සිඩන්ට් වෙලා. තත්වය ටිකක් බරපතළයි” කියලා.

 “ඇයි මොකද වුණේ? ගොඩක් අමාරුද?” කියලා ඇහුවත් එයා මොනවා කියයිද කියලා මං බයෙන් හිටියේ.

 මුලදී, එයා මුකුත් කියාගන්න බැරුව ගොත ගැහුවත් අන්තිමට එයා කිව්වා ඩේවි මැරුණා කියලා.

 කතා කරලා ඉවර වුණ හැටියේ ෆෝන් එක පැත්තකින් තියලා මං ඉස්සෙල්ලාම කෙරුවේ ශක්තිය ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරපු එක. ඊටපස්සේ මං කැෆේ එකට ගිහිල්ලා අනිත් අයට කිව්වා “මට ටිකක් සනීප මදි, ඒ නිසා අපි දැන් ගෙදර යමු” කියලා. එවෙලේ ඩේවිට වුණ දේ ගැන කේට මම කිව්වේ නැහැ. මට ඕනෙ වුණේ ගෙදර ගිහින් ඒ ගැන එයාට කියන්න.

 ගෙදර යන්න ගත වුණ විනාඩි 90වම මම හිතින් අඬඅඬ ගියේ. මේ කිසිම දෙයක් ගැන තාමත් දන්නෙ නැති කේ, ගෙදර යනකම්ම තව ටික දවසකින් ඩේවි අපිව බලන්න එන එක ගැන අනිත් අයට පුදුම සතුටකින් කියකිය ආවේ. ඒ අස්සේ මගේ ෆෝන් එකට හුඟක් අය එයාලාගේ දුක කියලා මට මෙසේජ් එව්වා.

 අනිත් හතරදෙනාව බස්සලා අපි ගෙදර ආවා. කේ එකපාරක් මං දිහා බැලුවා. එයාට තේරුණා මොකක් හරි ලොකු අවුලක් වෙලා තියෙනවා කියලා. එයා ඇහුවා “මොකද වුණේ?” කියලා. මං ඊළඟට කියන්න යන දේ අහලා කේගේ හිත කෑලි කෑලිවලට කැඩිලා යනවා කියලා මං දැනන් හිටියා. මොකද පැය දෙකකට කලින් ඒ ආරංචිය අහපු වෙලාවේ මගේ පපුවත් දාලා ගියා.

දුක දරාගත්තා

 කේයි, මායි ජීවිතේ හුඟක් ප්‍රශ්නවලට මූණ දුන්නා. ඒ වගේම අපි දැනන් හිටියා යෙහෝවා එයාගේ සෙනඟට ඕනෙ කරන සහනය දෙනවා කියලා. (යෙසායා 41:10, 13) හැබැයි මෙදා පාර නම් ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න අපිට ලේසි වුණේ නැහැ. මං හැමතිස්සෙම වගේ හිතුවා ‘ඩේවිට ඇයි මේ වගේ දෙයක් වුණේ? එයා යෙහෝවා වෙනුවෙන් කොච්චර නම් දේවල් කෙරුවාද? ඇයි යෙහෝවා එයාව ආරක්ෂා කෙරුවේ නැත්තේ?’

 අපේ අනිත් දරුවන් හිටියෙත් පුදුම දුකකින්. එයාලත් කලකිරිලයි හිටියේ. ලොකු දුව ලෝරන්, ඩේවිව බලාගත්තේ එයාගේම පුතෙක් විදිහට. ඩේවිගේ මරණය ලෝරන්ට දරාගන්න එක ලේසි වුණේ නැහැ. මයිකලුත් එහෙමයි. මයිකල් අවුරුදු පහක්ම ගෙදරින් පිට ජීවත් වුණත් මල්ලි කොච්චර හොඳ, අවබෝධෙන් වැඩ කරන තරුණයෙක් වෙලාද කියලා ළඟදී එයා අපිට කිව්වා.

 මුල ඉඳලාම අපේ සභාවේ අය අපිට නොසෑහෙන්න උදව් කෙරුවා. උදාහරණෙකට ඩේවි මැරුණා කියලා කේ පිළිගන්න කල්ම සහෝදරයෝ නිතරම වගේ අපේ ගෙදරට ඇවිල්ලා ඕනෙ කරන උදව්, සහනය ලබා දුන්නා. (හිතෝපදේශ 17:17) එයාලා පෙන්නපු ආදරේ මට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ!

 කේයි, මායි වරද්දන්නේ නැතුව හැමදාම යාච්ඤා කෙරුවා, බයිබලේ අධ්‍යයනය කෙරුවා, දිගටම රැස්වීම්වලට ගියා. ඒකෙන් දුක ටිකක් තුනී වුණා. හැබැයි දුක සම්පූර්ණෙන්ම මැකිලා ගියේ නැහැ. ඒත් ඒ දේවල් කරන එකෙන් අපිව තව තවත් යෙහෝවාට ළං කරනවා කියලා අපි දන්නවා.—ෆිලිප්පි 3:16.

ලෝරන් සහ එයාගේ මහත්තයා ජස්ටින්

 ඒ දවස්වලම වගේ මයිකලුයි ඩියානායි අපේ ගෙවල් ළඟින් පදිංචි වුණා. ලෝරනුත් ආයේ අපේ ඉංග්‍රීසි සභාවට එකතු වුණා. ඊළඟ අවුරුදු කීපයක්ම අපි ළඟ ඉඳලා එක් එක් කෙනාට උදව් කරගත්ත නිසා දුක තුනී කරගන්න අපි හැමෝටම පොඩ්ඩක් ලේසි වුණා. පස්සේ ලෝරන් විවාහ වුණාම එයාගේ මහත්තයා ජස්ටිනුත් අපිට ලොකු හයියක් වුණා.

අමාරුම ගමනක්

 ඩේවිගේ මරණයෙන් ටික දවසකට පස්සේ දුක තුනී කරගන්න කියලා හිතාගෙන අපි දෙයක් කෙරුවා. මුලදී නම් අපිට සෑහෙන්න අමාරු වුණා. හැබැයි ඒ දේ කරපු නිසා දුක තුනී කරගන්න අපිට පුළුවන් වුණා. ඒ ගැන කේ ඕගොල්ලන්ට කියයි.

 “අපේ පුතා ඩේවි මැරුණා කියලා මගේ මහත්තයා කියපු වෙලාවේ මට දැනුණේ පතුලක් පේන්නේ නැති කලු වළකට වැටිලා ඒකේ මං සෑහෙන වෙලාවක් හිටියා වගේ. මං කොච්චර දුකින් හිටියාද කියනවා නම් එදා වැඩවත් කරගන්න මට බැරි වුණා. මං එක දිගට ඇඬුවා. ඇත්තම කිව්වොත් මට යෙහෝවා එක්කයි ජීවත් වෙලා හිටපු අනිත් හැමෝම එක්කයි පුදුම කේන්තියක් ආවේ. දේවල් දිහා සාධාරණව බලන්න මට බැරි වුණා.

 “මට ඩොමිනිකන් ජනරජයට යන්න ඕනෙ වුණා. මට ඕනෙ වුණේ ඩේවි මැරෙන්න කලින් හිටපු තැනට, එයා යෙහෝවා දෙවියන්ට සේවේ කරපු තැනට යන්න. ගමන යන්න ලොකු වුවමනාවක් තිබුණත් මං කොච්චර මානසිකව වැටිලා හිටියාද කියනවා නම් ඒ ගමන යන්න මට පොඩ්ඩක්වත් ශක්තිය තිබුණේ නැහැ.

 “මගේ ළඟම යාළුවෙක් මට කිව්වා ඩොමිනිකන් ජනරජයේ ඉන්න ඩේවිගේ යාළුවෝ කොච්චර දුකින්ද ඉන්නේ කියලා. ඒ වගේම එයාලට ඩේවිගේ පවුලේ අයව හම්බවෙන්න ඕනෙ කියලත් එයා කිව්වා. එයා උදව් කරපු නිසා මං කොහොමහරි ගමන යන්න ප්ලේන් එකට නැග්ගා.

 “අපි ඒ ගමන ගිය එක හොඳට ගියා. මොකද ඒ වෙලාවේ ඒක තමයි අපිට ඕනෙම කරලා තිබුණේ. ඒ ගමන ගියාම තමයි අපිට තේරුණේ යෙහෝවාට සේවේ කරන්න ඩේවි කොච්චර මහන්සි වෙලා තියෙනවාද කියලා. ඩේවි හිටපු සභාවේ ඉන්න එකම වැඩිමහල්ලා කිව්වා “ඩේවිට වැඩක් බාර දුන්නොත් එයා ඒක තිතටම කරනවා, ඒ ගැන ආයෙ වද වෙන්න දෙයක් නැහැ” කියලා.

 “ඩේවි හිටපු පැත්තේ මිනිස්සුන්ට අපිව හම්බුණාම එයාලා කිව්වා, ඩේවි එයාලා වෙනුවෙන් කොච්චර නම් හොඳ දේවල් කරලා තියෙනවාද කියලා. මං දැනන් හිටියා කොහොමත් මගේ දරුවාට තියෙන්නේ හොඳ හිතක් කියලා. හැබැයි එයාලා කියපු දේවල් අහද්දී තමයි මට තේරුණේ ඩේවි යේසුස් වගේ වැඩ කරන්න කොච්චර මහන්සි වෙලාද කියලා.

ඩේවි ඩොමිනිකන් ජනරජයේ සේවය කරන ගමන්

 “අපිට ඩේවි එක්ක බයිබලේ පාඩම් කරපු කෙනෙක්වත් හම්බුණා. එයා හිටියේ හරිම පොඩි ගෙදරක. අනික එයාගේ අසනීපේ නිසා එයාට ඇඳෙන් බහින්නවත් බැහැ. එයා හරිම දුප්පත්. හැබැයි සභාවේ අය කිව්වා ඩේවි එයාට සැලකුවේ පුදුම ගෞරවයකින් කියලා. ඒක අහපු වෙලාවේ මගේ දරුවා ගැන මට දැනුණේ පුදුම ආඩම්බරයක්!

 “මෙහෙ ආපු ගමන තමයි මගේ ජීවිතේ ගිය අමාරුම ගමන. ඒත් මේ ගමන ආපු නිසා අපිට පුළුවන් වුණා ඩේවි ගැන දුක් වෙච්ච හැමෝත් එක්කම අපේ දුක බෙදාගන්න. ඒ වගේම නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ආයේ හිතන්නත් මේ ගමන ලොකු උදව්වක් වුණා. ඒ නිසා හිතේ බර පොඩ්ඩක් පැත්තකින් තියන්න අපිට පුළුවන් වුණා.”

ඩේවිගේ අද්දැකීමෙන් එයාලා දිරිමත් වෙලා

 2005 ජනවාරි 8 ‘පිබිදෙව්!’ සඟරාවේ ඩේවිගේ මරණේ ගැනත් එයා ඩොමිනිකන් ජනරජයේ කරපු සේවේ ගැනත් කියලා ලිපියක් පල වුණා. ඒ ලිපිය හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා කියලා අපි පස්සේ තමයි දන්නේ. උදාහරණෙකට 2019 මැයි මාසේ නික් කියලා සහෝදරයෙක් අපිට කෝල් කරලා මෙහෙම දෙයක් කිව්වා.

 “2004 අග වෙද්දී මම හිටියේ ඉස්කෝලේ අන්තිම අවුරුද්දේ. හැබැයි නමස්කාරය පැත්තෙන් මට එහෙමයි කියලා ඉලක්ක තිබුණේ නැහැ. මම හිටියෙත් සතුටින් නෙවෙයි. මගේ තරුණ වයසේ ඉතුරු අවුරුදු ටික යෙහෝවා කැමති විදිහට ගත කරන්න උදව් ඉල්ලලා මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කෙරුවා. වැඩි දවසක් යන්න කලින් ඩේවිගේ අද්දැකීම ‘පිබිදෙව්!’ සඟරාවේ පළ වුණා. ඒක තමයි මගේ යාච්ඤාවට උත්තරේ වුණේ!

 “ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මං පුරෝගමී සේවය පටන්ගත්තා. මගේ ඊළඟ ඉලක්කය වුණේ ස්පාඤ්ඤ භාෂාව ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා සේවේ කරන්න. කාලයක් යද්දී මට නිකරගුවාවේ සේවය කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි මායි මගේ නෝනායි දෙන්නම ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට (SKE) ගියා. සමහර වෙලාවට සහෝදරයෝ මගෙන් අහනවා ඔයාට පුරෝගාමී සේවය කරන්න හිතුණේ ඇයි කියලා. එතකොට මම ඩේවිගේ අද්දැකීම එයාලත් එක්ක බෙදාගන්නවා.”

 ඩේවිගේ අද්දැකීම සහෝදරි ඇබීටත් උදව් වෙලා තිබුණා. එයාව අපිට හම්බ වුණේ 2019 ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නගරේ තිබුණු ජාත්‍යන්තර සමුළුවේදී. එයා තමයි අපිව හොටලේදී බලාගත්තේ. එයා හිත හොඳ අනිත් අයට ආදරෙන් සලකපු සහෝදරියක්. එයාට තිබුණේ ඩේවිගේම ගතිගුණ. ඒ සහෝදරි අපිට සලකපු විදිහ දකිද්දී අපිට මතක් වුණේම අපේ දරුවා ඩේවිව.

පූර්ණකාලීන සේවය තෝරගන්නත් හුදකලා පැත්තක සේවේ කරන්නත් ඇබී පෙලඹුණේ ඩේවිගේ අද්දැකීම නිසයි

 අපි හෝටලේ අපේ කාමරේට ගිහිල්ලා ඩේවිගේ අද්දැකීම තිබුණු ‘පිබිදෙව්!’ සඟරාවේ ලින්ක් එක ඇබීට යැව්වා. විනාඩි කිහිපයකට පස්සේ එයා අපිට රිප්ලයි එකක් එව්වා. අපිට කතා කරන්න එයාට පුදුම ඕනෙකමක් තිබුණේ. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා එයාව හම්බවුණා. එතකොට ඇබී එයාගේ ඇස්වල කඳුළු පුරෝගෙන අපිට කිව්වා ඩේවිගේ අද්දැකීම එයාට කොච්චර උදව් වුණාද කියලා. 2011 සැප්තැම්බර් මාසේ පුරෝගමී සේවය කරන්න පටන්ගන්නත් හුදෙකලා පැත්තකට ගිහිල්ලා සේවේ කරන්නත් එයාව පොලඹවලා තියෙන්නේ ඩේවිගේ මේ අද්දැකීම. එයා කිව්වා, “පැවරුම කරගෙන යන්න අමාරු වෙනකොට එයා මේ ලිපිය ආයේ ආයේ කියෙව්වා” කියලා. ඒ ලිපියේ පිටපතකුත් එයා ගාව තියෙනවා!

 මේ අද්දැකීම්වලින් අපිට තේරෙන්නේ අපි ලෝකේ කොහේ හිටියත් අපි හැමෝම එකම පවුලේ අය කියලා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තරම් එකමුතුව එක්සත්ව ඉන්න සෙනඟක් වෙන කොහේවත් නැහැ!

 ඩේවිගේ අද්දැකීම අනිත් අයට උදව් වෙලා තියෙන විදිහ දකිද්දී මටයි කේටයි පුදුම සහනයක් දැනුණේ. ඩේවි විතරක් නෙවෙයි යෙහෝවා වෙනුවෙන් වැඩි සේවයක් කරන්න මහන්සි වෙන තරුණ දූලා පුතාලා ගැන අපිට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. සමහරවිට එයාලා දන්නේ නැතුව ඇති එයාලා යෙහෝවා වෙනුවෙන් උද්‍යෝගයෙන් සේවේ කරද්දී ඒක දකින අය කොච්චර දිරිගැන්වෙනවාද කියලා. එයාලාගේ ආදර්ශ නිසා තව හුඟදෙනෙක් යෙහෝවා දෙවියන් වෙනුවෙන් උපරිමය කරන්න පෙලඹිලා ඇති.

“දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වන අය හැටියට”

 යෙහෝවා තමන්වම හඳුන්වපු විදිහ ගැන යේසුස් ලූක් 20:37 කියනවා. එතන යෙහෝවාව හඳුන්වලා තියෙන්නේ “ආබ්‍රහම්ගේද ඊසාක්ගේද යාකොබ්ගේද දෙවි” විදිහට. යෙහෝවා දෙවි එතන කිව්වේ නැහැ එයාලා ජීවතුන් අතර ඉද්දී විතරක් මම එයාලගේ දෙවියන් කියලා. හැබැයි ඔහු කිව්වේ ඔහු තාමත් එයාලගේ දෙවියන් කියලා. ඇයි එහෙම දෙයක් කිව්වේ? ඒකට උත්තරේ යේසුස් 38වෙනි පදයේ කිව්වේ “දෙවි ඔවුන්ව සලකන්නේ ජීවත් වෙන අය හැටියටයි” කියලා.

 ඒක ඇත්ත, මොකද දෙවියන්ට විශ්වාසවන්තව ඉඳලා මිය ගිය හැමෝවම යෙහෝවා තාමත් සලකන්නේ ජීවත් වෙලා ඉන්න අය හැටියට. ඔහු අනිවාර්යෙන්ම එයාලට ආයෙත් ජීවිතය දෙනවා කියලා ඒකෙන් තේරෙනවා. (යෝබ් 14:15; යොහන් 5:28, 29) අපේ දරුවා ඩේවි ගැනත් මරණය කියන නින්දේ සැතපිලා ඉන්න හැමෝ ගැනමත් යෙහෝවාට හැඟෙන්නේ එහෙමයි කියලා මට කිසිම සැකයක් නැහැ.

 අපේ දරුවාව ආයේ දකින දවස එන කල් මම ඉන්නේ ඇඟිලි ගැනගැන. ඒ වගේම ඊට වඩා ආසාවකුත් මට තියෙනවා. ඒ තමයි කේට ඩේවිව මුණගැහෙන්න ඕනේ. දවසක් දවසක් ගාණේ කේ විඳින දුක දන්නේ මම විතරයි. ලූක් 7:15 තියෙන වචන මට හරි විශේෂයි. එතන කියන්නේ “මිය ගොස් සිටි මිනිසා නැඟිට කතා කරන්න පටන්ගත්තේය. යේසුස් ඔහුව සිය මවට භාර දුන්නේය.”

 2005 සැප්තැම්බර් මාසේ මායි, කේයි පුරෝගාමී සේවේ කරන්න පටන්ගත්තා. මගේ නෝනායි දරුවනුයි එක්ක එකතු වෙලා පුරෝගාමී සේවේ කරන්න ලැබුණු එක නම් නියමයි. අපි දැන් එක්සත් පවුලක්. අපි එක් එක් කෙනාට උදව් කරගන්නවා. අපි වැඩ කරන්නේ පාරාදීස පොළොව දිහාම බලාගෙන. එදාට ඩේවි අපිත් එක්ක ඉන්න නිසා අපේ පවුල සම්පූර්ණ වෙනවා.