ඩොරීනා කපරෙල්ලි | ජීවිත කතාව
මාව නවත්තන්න මං මගේ ලැජ්ජාවට ඉඩ දුන්නේ නෑ
මං හරිම ලැජ්ජාශීලී කෙනෙක්. හැබැයි පහුගිය අවුරුදු ගාණ පුරා මං දෙවියන්ට කරපු සේවේ දිහා බලද්දී මටම හිතාගන්න බෑ. ඒ කාලේ වෙච්ච සමහර දේවල් මතක් වෙද්දීත් හිනා යනවා.
මං ඉපදුණේ 1937දී පිස්කාරාවල. ඒක ඉතාලියේ ආද්‍රියාතික් මුහුදට කිට්ටුවෙන් තිබුණ නගරයක්. අපේ පවුලේ ගෑනු ළමයිම හතරදෙනායි. මං තමයි බාලයා. තාත්තා අපිට නම් දැම්මේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙලට. ඒකයි මගේ නම “ඩී” අකුරෙන් පටන්ගන්නේ.
අපේ තාත්තා ආගමට ගොඩක් ළැදි කෙනෙක්. එයාට මුලින්ම සත්‍යය ගැන අහන්න ලැබුණේ 1943දී ලිබෙරාතෝ රිච්චි කියලා කෙනෙක්ගෙන්. එයා සාක්ෂිකරුවොත් එක්ක බයිබලේ පාඩම් කරපු කෙනෙක්. එයා තාත්තාට සත්‍යය ගැන කියලා ‘මුරටැඹ’ සඟරාවකුත් දීලා තිබුණා. වැඩි කල් යන්න කලින් තාත්තාත් ඉගෙනගත්ත දේවල් හරිම ආසාවෙන් අනිත් අය එක්ක කතා කරන්න පටන්ගත්තා. මගේ අම්මට අකුරු බෑ. හැබැයි එයාත් බයිබල් පද කටපාඩම් කරගෙන අනිත් අයට ඒවා කියලා දුන්නා.
ඒ කාලේ කොයි වෙලාවෙත් අපේ ගෙදර කට්ටිය පිරිලා. ඉස්සර අපේ ගෙදර තමයි රැස්වීම් තිබ්බෙත්. කාමර දෙකක් විතරක් තිබුණට මොකෝ චාරිකා සේවකයන්, පුරෝගාමීන් නතර වුණේ අපේ ගෙදර තමයි.
මගේ ලොකුම අක්කලා දෙන්නා බයිබලේ ඉගෙනගන්න එච්චර ආස වුණේ නෑ. පස්සේ එයාලා කසාද බැඳලා ගෙදරින් ගියා. හැබැයි පොඩි අක්කා චෙසීරායි, මායි තාත්තා බයිබලේ කියවද්දී ආසාවෙන් අහන් හිටියා. සහෝදරයෝ අපේ පුංචි කණ්ඩායමට ඇවිල්ලා උද්‍යෝගයෙන් දේශන දෙද්දී අපි දෙන්නා ඒවා අහන් හිටියේ ගොඩක් ආසාවෙන්.
මං තාත්තායි, අනිත් සහෝදර සහෝදරියෝ එක්කයි සේවේ නම් ගියා. හැබැයි ගියාට මාස ගාණක් යන කල් කට ඇරියේ නම් නෑ. මං ඉතිං කොහොමත් ලැජ්ජාකාරිනේ. ඒත් යෙහෝවා ගැන මගේ හිතේ තිබුණ ආදරේ නම් දවසින් දවස වැඩි වුණා. 1950 ජූලිවල මං බව්තීස්ම වුණා. එදා බව්තීස්ම දේශනය දුන්නෙත් අපේ ගෙදර ඉඳන්. ඊටපස්සේ අපිව මුහුදට එක්කන් ගිහින් බව්තීස්ම කළා. ඊළඟ අවුරුද්දේ විශේෂ පුරෝගාමි යුවළක් අපේ පැත්තේ සේවේ කරන්න ආවා. මං එයාලා එක්කත් ගෙයින් ගෙට ගියා. ඔය විදිහට වැඩි වැඩියෙන් සේවේ කරද්දී මගේ හිතේ තිබුණ බය, ලැජ්ජාව ටිකෙන් ටික ඇරිලා ගියා. සේවේ කරන්න තිබුණ ආසාවත් වැඩි වුණා.
ජීවිතේම වෙනස් කරපු තීරණයක්!
මුලින්ම අපිට චාරිකා ආවේ සහෝදර පියාරෝ ගැටී. a එයා මට කිව්වා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න කියලා. ඊට කලින් කවදාවත් මං ඒ ගැන හිතලා තිබුණේ නෑ. අපේ පැත්තේ සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් කසාද බැඳලා යන කල් ගෙදරටම වෙලා තමයි ඉන්නේ. ඒ නිසා 1952 මාර්තුවල මං ගෙදර ඉඳන් පුරෝගාමි කරන්න පටන්ගත්තා. හැබැයි මං එදා ගත්ත ඒ තීරණය මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළයි කියලා මං කවදාවත් හිතුවේ නෑ.
ඔය කාලේදීම වගේ ඇනාත් පුරෝගාමි කරන්න පටන්ගත්තා. එයා අපේ සභාවේ හිටපු යෞවන සහෝදරියක්. එයා අපේ ගෙදර නවතින්න ආවා. මොකද එතකොට අපි දෙන්නාටම පුළුවන්නේ එකට සේවේ කරන්න. 1954දී අපි දෙන්නාට පෙරුජියාවල විශේෂ පුරෝගාමි කරන්න පැවරුමක් ලැබුණා. ඒක අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 250ක් විතර ඈතින් තිබුණ නගරයක්. එහේ සාක්ෂිකරුවෝ හිටියේ නෑ.
ඒක මට අලුත්ම අද්දැකීමක්. එතකොට මට යාන්තමින් අවුරුදු 20ක් වුණා විතරයි. අනික මං කවදාවත් ගමෙන් පිට අඩියක් තියලා නෑ. ගියා නම් ගියේ අම්මලත් එක්ක සමුළුවලට විතරයි. ඇනායි, මායි වෙනම පැත්තක තනියම ජීවත් වෙන එක ගැන තාත්තා ගොඩක් වද වුණා. ඒ නිසා පෙරුජියාවල අපිට ඉන්න තැනක් හොයන්න තාත්තා ගොඩක් මහන්සි වුණා. අන්තිමට අපිට පුළුවන් වුණා රැස්වීම් තියන්නත් එක්ක පුංචි කාමරයක් කුලියට ගන්න. මුලදී නම් රැස්වීමට හිටියේ මායි, ඇනායි විතරයි. හැබැයි ඒ පැත්තේ නගරෙන් නගරෙට, ගමෙන් ගමට ගිහිල්ලා දේශනා කරද්දී සත්‍යයට උනන්දු ගොඩක් අයව හම්බ වුණා. අවුරුද්දකට විතර පස්සේ එහෙට සහෝදරයෙක් ආවා. පස්සේ එයා තමයි රැස්වීම් තියන්න උදව් කළේ. 1957 අපි ඊළඟ පැවරුමට යද්දී එහේ පුංචි සභාවක් හැදිලා තිබුණා.
අපිට ඊළඟ පැවරුම ලැබුණේ ටර්නිවලට. ඒක ඉතාලියේ මැද හරියට වෙන්න තිබුණ පුංචි නගරයක්. අපි එහේ සේවේ කරන්න හිටියේ ගොඩක් ආසාවෙන්. මොකද ඒ වෙද්දීත් සත්‍යයට උනන්දු ගොඩක් අය එහේ හිටියා. හැබැයි එහෙදී අභියෝග තිබ්බේ නැතුවම නෙවෙයි. 1943දී ෆැසිස්ට් පාලනය අවසන් වෙලා තිබුණත් සමහර බලධාරීන් සාක්ෂිකරුවන්ගේ වැඩ නවත්තන්න දිගටම උත්සාහ කළා. ඒගොල්ලෝ කිව්වා “ගෙයින් ගෙට යන්න නම් ඔයාලට ලයිසන් එකක් තියෙන්න ඕනෙ” කියලා.
ඒ කාලේ පොලීසියෙන් අපේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉඳලා අපේ පස්සෙන් එන එක අපිට සාමාන්‍ය දෙයක්. ඒ වගේ වෙලාවට අපි හෙමීට සෙනඟ අස්සෙන් රිංගලා ගිහින් එයාලව මඟ අරිනවා. හැබැයි ඉතිං හැමදාමත් ඕක කරන්න බෑනේ. දවසක් මායි, චාරිකා සේවකයි සේවේ කරකර ඉද්දී පොලීසියෙන් අපිව අත්අඩංගුවට ගත්තා. අපි නීතිය කැඩුවා කියලා අපිට දඩයක් නියම කළා. අපි කිව්වා අපිට ඒ දඩය ගෙවන්න බෑ කියලා. මොකද ඉතිං අපි නීතියක් කැඩුවේ නෑනේ. හැබැයි ඒ වෙලාවේ දැනුණ බයට මගේ හදවතට දඩ දඩ ගාලා ගැහෙන්න පටන්ගත්තා. ඒ සද්දේ අනිත් අයටත් ඇහුණාද මන්දා! හැබැයි මොනවා වුණත් ඒ හැම වෙලාවකම යෙහෝවා මං ගාව ඉන්නවා කියලා මට දැනුණා. යෙසායා 41:13 තිබුණ වචන මට මතක් වුණා. එතන යෙහෝවා දෙවියන් කියනවා “භය නොවන්න, මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියලා. ඒක කොච්චර ඇත්තක්ද කියලා එදා මට තේරුණා. කොහොමහරි අන්තිමට උසාවියේදී අපි නිර්දෝෂයි කියලා ඔප්පු වෙලා අපිව නිදහස් කළා. ඊට මාස හයකට පස්සේ මාව ආයෙත් අත්අඩංගුවට ගත්තා. එදා නම් මං හිටියේ තනියම. එදාත් මං වරදක් කළේ නෑ කියලා ඔප්පු වෙලා මාව නිදහස් කළා.
සේවේ කරන්න තවත් අවස්ථා
1954 ඉතාලියේ නේපල්ස්වල තිබුණ සමුළුව නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ සමුළුවේ මං පිරිසිදු කිරීමේ අංශයේ වැඩ කළා. මට වේදිකාව කිට්ටුව තමයි පිරිසිදු කරන්න ලැබුණේ. ඉතින් පැවරුම කරකර ඉද්දී මං දැක්කා පරිවාරක අංශයේ වැඩ කරපු හරිම කඩවසම් සහෝදරයෙක් එතන ඉන්නවා. එයාගේ නම ඇන්ටෝනියෝ කපරෙල්ලි. එයා ලිබියාවේ පුරෝගාමි කරන සහෝදරයෙක්. ඒගොල්ලෝ 1930 ගණන්වල ඉතාලියේ ඉඳන් ලිබියාවේ පදිංචියට ඇවිල්ලා තියෙනවා.
ඇන්ටෝනියෝ කියන්නේ ගොඩක් උද්‍යෝගයෙන් සේවේ කරපු ධෛර්යවන්ත කෙනෙක්. කාන්තාර පැතිවල ජීවත් වෙන ඉතාලි ජාතිකයන්ට දේශනා කරන්න එයා එයාගේ මෝටර් බයිසිකලෙන් ගොඩක් දුර ගිහින් තියෙනවා. සමුළුවෙන් පස්සේ අපි දෙන්නා ලියුම්වලින් කතාබහ කරන්න පටන්ගත්තා. 1959දී එයා ආයෙත් ඉතාලියට ආවා. ඉතාලියේ විටෙර්බෝවල විශේෂ පුරෝගාමි ලැබෙන කල් මාස කීපයක්ම එයා සේවේ කළේ රෝමේ බෙතෙල් එකේ. ඔය කාලේදී අපි හුඟක් කිට්ටු වුණා. 1959 සැප්තැම්බර් 26වෙනිදා අපි කසාද බැන්දා. පස්සේ මං ඇන්ටෝනියෝ එක්ක විටෙර්බෝවල සේවේ කරන්න ගියා.
අපි දෙන්නාට ඉන්නයි, රැස්වීම් තියන්නයි මොකක් හරි තැනක් හොයාගන්න වුණා. අන්තිමේදී ගොඩනැඟිල්ලක පහළම තට්ටුවේ පුංචි කඩ කාමරයක් අපිට හම්බ වුණා. ඒකේ කොනකට වෙන්න පුංචි බාත්රූම් එකකුත් තිබ්බා. ඉතිං ඒ කාමරේ එක පැත්තක අපි ඇඳ දාලා ඒක තිරයකින් වෙන් කළා. ඇඳ තිබ්බ පැත්ත නෙවෙයි අනිත් පැත්ත සමහර දවස්වලට අපේ සාලේ වෙනවා. තවත් දවස්වලට කිංඩම් හෝල් එක වෙනවා. ඒක තීරණය වෙන්නේ ඉතින් දවසට අනුව තමයි. ඒක පුංචි කඩ කාමරයක් නිසා ගොඩක් පහසුකම් තිබ්බේ නැහැ. හැබැයි මං හිටියේ සතුටින්. මොකද ඇන්ටෝනියෝ මාත් එක්ක හිටියානේ.
1961දී ඇන්ටෝනියෝට චාරිකා සේවකයෙක් විදිහට පැවරුමක් ලැබුණා. හැබැයි ඊට කලින්, පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්ට තිබුණ පාසැලකට යන්න එයාට ආරාධනාවක් ලැබුණා. ඒ පාසැල මාසයක් පුරා තිබුණා. ඉතින් මාසයක්ම මටත් ඉන්න වුණේ තනියම. ඒ දවස් ටික නම් මට පිස්සු වගේ. හවසට තට්ට තනියම අර කාමරේට වෙලා ඉද්දී එපා වෙනවා. හැබැයි යෙහෝවා දෙවියන් ඇන්ටෝනියෝව සේවෙට පාවිච්චි කරන විදිහ ගැන හිතද්දී මට ලොකු සතුටක් දැනුණා. ඒ දවස් ටිකේ මං පුළුවන් තරම් වැඩියෙන් සේවේ කළා. එතකොට දන්නෙම නැතුව කාලේ ගෙවිලා ගියා.
චාරිකා සේවය කියන්නේ ඉතින් ගමනේම තමයි. අපි ඉතාලියේ උතුරට වෙන්න තිබුණ වෙනේටෝ කියන පළාතේ ඉඳන් දකුණෙන් තිබුණ සිසිලිය වෙන කල්ම සේවේ කළා. මුලදී අපිට කාර් එකක් තිබ්බේ නෑ. ඉතින් පාරේ බස් එකේ තමයි ගියේ. දවසක් සිසිලියේ ගම්බද පැත්තකට යන්න අපි බස් එකකට නැග්ගා. ඒකෙත් ගැස්සි ගැස්සි ගිහිල්ලා කොහොමහරි යන්න ඕන තැනට යාගත්තා. බස් එකෙන් බහිද්දී සහෝදරයෝ අපිව එක්කන් යන්න ඇවිත් හිටියා. එයාලා ඇවිත් තියෙන්නේ නිකං නෙවෙයි බූරුවෙකුත් එක්ක. ඒ බූරුවාගේ පිටේ තමයි අපේ බඩු ටිකයි, ටයිප්රයිටරෙයි තියාගෙන ගියේ. ඒ සහෝදරයෝ ගොවිතැන් කරන අය. එදා ඇන්ටෝනියෝ ටයි එකක්, කෝට් එකක් එහෙම දාගෙන ගියේ. මාත් රැස්වීම්වලට යනවා වගේ හොඳට ඇඳගෙන හිටියේ. පොඩ්ඩක් හිතන්නකෝ අපි දෙන්නා හොඳට සූට් බූට් දාගෙන බූරුවෙකුත් එක්ක පාරේ යද්දී කොහොම තියෙන්න ඇද්ද කියලා. ඒක මතක් වෙද්දීත් මට හිනා යනවා.
ඒ සහෝදරයෝ කොච්චර දුප්පත් වුණත් එයාලා තියෙන දේ ආසාවෙන් අනිත් අයත් එක්ක බෙදාගත්තා. සමහර ගෙවල්වල බාත්රූම් එකක් තියා ටැප් ලයින් එකක්වත් තිබ්බේ නෑ. දවසක් අපි දෙන්නාට ඉන්න වුණේ අවුරුදු ගාණකින් කවුරුත් පාවිච්චි කරලා නැති කාමරේක. කොහොමහරි රෑ මං එක දිගට නින්දෙන් එහෙට මෙහෙට පෙරළුණ නිසා ඇන්ටෝනියෝ මාව ඇහැරෙව්වා. ඊටපස්සේ කෝකටත් කියලා අපි දෙන්නා ඇඳේ ෂීට් එක උස්සලා බැලුවා. බලද්දී පුංචි පුංචි සත්තු ජාතියක් මෙට්ටෙන් එකයි. මහ රෑ මොකුත් කරගන්නත් බෑනේ. ඉතිං අපි දෙන්නා පුළුවන් තරම් මෙට්ටේ ගසලා ගසලා ඔහොම්මම නිදාගත්තා. වෙන මොනවා කියලා කරන්නද?
ඔය මොනවා වුණත් ඒවා මට ප්‍රශ්නයක් වුණේ නෑ. මට තිබුණ ලොකුම ප්‍රශ්නෙ තමයි මගේ ලැජ්ජාව. ඒක හින්දා මුලින්ම සභාවලට යද්දී මට යාළුවෝ ඇති කරගන්නත් අමාරු වුණා. සහෝදරියන්ව දිරිගන්වන්න, එයාලට උදව් කරන්න මට ලොකු වුවමනාවක් තිබුණා. හැබැයි ඒක කරන්න මට මගේ පැත්තෙන් ගොඩක් මහන්සි වෙන්න වුණා. හැබැයි යාන්තමින් සතිය ඉවර වෙද්දී යෙහෝවාගේ උදව්වෙන් මට සහෝදරයෝ එක්ක හිතවත් වෙන්න පුළුවන් වුණා. එයාලා අනිත් අය ගැන හිතන, අනිත් අයත් එක්ක දේවල් බෙදාගන්න, විශ්වාසවන්ත අය. ඒ වගේම එයාලගේ හිතේ යෙහෝවා ගැනත් පුදුම ආදරයක් තිබුණා. ඒ වගේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ලැබුණ එක ඇත්තටම වරප්‍රසාදයක්.
අවුරුදු කීපයක්ම චාරිකා සේවය, දිස්ත්‍රික් සේවය b කළාට පස්සේ 1977දී අපිට රෝමයේ බෙතෙල් එකට එන්න කියලා කිව්වා. 1978 තිබ්බ “දිව්‍ය ඇදහිල්ල” කියන ජාත්‍යන්තර සමුළුවට උදව් කරන්නයි අපිට පැවරුණේ. ඊට මාස කීපයකට පස්සේ බෙතෙල් එකේ නැවතිලා දිගටම සේවේ කරන්න අපිට පැවරුමක් ලැබුණා. පස්සේ ඇන්ටෝනියෝ ශාඛා කමිටුවෙත් සේවය කළා.
බෙතෙල් ජීවිතේ කියන්නේ මට අලුත්ම දෙයක්. මට දැනුණ ලැජ්ජාව එහෙදීත් මට ලොකු අභියෝගයක් වුණා. හැබැයි යෙහෝවාගේ උදව්වෙන්, බෙතෙල් එකේ හිටපු සහෝදරයන්ගේ උදව්වෙන් වැඩි කාලයක් යන්න කලින් බෙතෙල් එක මට මගේම ගෙදර කියලා දැනුණා.
හීනෙකින්වත් හිතපු නැති අභියෝගයක්!
ඊළඟ අවුරුදු කීපයේදී අපිට අලුත් අභියෝගයකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි අසනීප. 1984දී ඇන්ටෝනියෝගේ හදවතේ සැත්කමක් කළා. ඊට අවුරුදු දහයකට විතර පස්සේ එයා තවත් ලෙඩ වුණා. 1999දී අපි දැනගත්තා ඇන්ටෝනියෝට ඉක්මනින් පැතිරෙන භයානක පිළිකාවක් තියෙනවා කියලා. ඇන්ටෝනියෝ හරිම ශක්තිමත් කෙනෙක්. ඒත් මේ ජරා ලෙඩේ පරද්දන්න ඒ ශක්තිය මදි වුණා. එයා දවසින් දවස දුර්වල වෙද්දී මට ඒක දිහා බලාගෙන ඉන්න ලේසි වුණේ නෑ. මං යෙහෝවාගෙන් හැම වෙලේම ඉල්ලුවා මගේ ඇන්ටෝනියෝව බලාගන්න මට ශක්තිය දෙන්න කියලා. දුකක් දැනෙන හැම වෙලාවෙම මං ගීතාවලිය පොත කියෙව්වා. එතකොට මගේ හිතට දැනුණේ පුදුම සහනයක්. 1999 මාර්තු 18වෙනිදා ඇන්ටෝනියෝ නැති වුණා. එතකොට අපි කසාද බැඳලා අවුරුදු 40ක්.
දහස් ගාණක් මගේ වටේ හිටියත් එයා නැති අඩුව මට තදින්ම දැනුණා. ඒ කාලේ පුරාම බෙතෙල් පවුලේ අය, චාරිකා සහ දිස්ත්‍රික් සේවේ යද්දී හම්බ වුණ අය මාව සනසපු විදිහ, මට ආදරේ පෙන්නපු විදිහ මට කවදාවත් අමතක කරන්න බෑ. හැබැයි ඒ කොහොම වුණත් වැඩ ඇරිලා ඇන්ටෝනියෝ නැති ඒ බෙතෙල් කාමරේට යද්දී මට කියාගන්න බැරි හිස්කමක් දැනුණා. යාච්ඤාවයි, බයිබල් අධ්‍යයනයයි තමයි කාලෙත් එක්ක ඒ හිස්කම පුරවගන්න මට උදව් වුණේ. මං හැම තිස්සෙම ඇන්ටෝනියෝ එක්ක එකතු වෙලා කරපු දේවල් ගැන හිතුවා. ඒකෙනුත් මට සහනයක් දැනුණා. මං දන්නවා ඇන්ටෝනියෝ මගේ ළඟ නැතත් එයා යෙහෝවා දෙවියන්ගේ මතකයේ ඉන්නවා කියලා. ඒ නිසා ළඟදීම එයා නැවත නැඟිටිලා එයි. එදාට මට ආයෙත් එයාව දකින්න පුළුවන්.
බෙතෙල් එකේදී මං හුඟක් පැවරුම් කළා. දැන් මං කරන්නේ මහන එක. මං ඒ පැවරුමට හරිම ආසයි. මොකද මං කරන මේ පුංචි දෙයින් වුණත් බෙතෙල් පවුලේ අය සතුටු වෙනවා කියලා මං දන්නවානේ. මං පුළුවන් උපරිමයෙන්ම සේවෙත් හවුල් වෙනවා. මං දන්නවා මට ඉස්සර තරම් සේවේ කරගන්න බෑ කියලා. හැබැයි සේවේ පටන්ගද්දී සේවේ ගැන මට දැනුණ අගය තාමත් එහෙම්මම දැනෙනවා. ඒ නිසයි මං හැම වෙලේම දුවලා පුතාලට කියන්නේ පුරෝගාමි සේවය පටන්ගන්න කියලා. මොකද ඒකෙන් ලැබෙන සතුට වෙන කිසිම දේකින් ගන්න බෑ.
දැන් මං පූර්ණකාලීන සේවය පටන් අරන් අවුරුදු 70කටත් කිට්ටුයි. ඒ කාලේ පුරාම යෙහෝවා මට උදව් කරපු විදිහ, ආශීර්වාද කරපු විදිහ මං හොඳ හැටි රස බලලයි තියෙන්නේ. තාමත් මං ලැජ්ජාකාරියෙක් තමයි. හැබැයි මාව නවත්තන්න මං ඒ ලැජ්ජාවට ඉඩ දුන්නේ නෑ. මොකද මං දන්නවා යෙහෝවා දෙවියන් මං ළඟින් ඉඳලා මට උදව් කරනවා කියලා. මං සේවේ කරන්න ගව් ගණන් දුර ගිහිල්ලා තියෙනවා. හිතපු නැති විදිහේ අද්දැකීම් ලබලා තියෙනවා. සේවේ කරන එකෙනුත් අනිත් අයගෙනුත් මං ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. යෙහෝවා නැත්නම් ඒක කීයටවත් කරගන්න බෑ. මට ජීවිතේ මුල ඉඳන් පටන්ගන්න ආයෙත් අවස්ථාවක් ලැබුණොත් මං එදාටත් කරන්නේ මේ ටිකම තමයි.
a සහෝදර පියාරෝ ගැටීගේ ජීවිත කතාව ගැන දැනගන්න 2011 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ “‘සදහටම ජීවත් වීමේ’ අපේක්ෂාව දැන් මට තියෙනවා” කියන ලිපිය බලන්න.
b චාරිකා කීපයක්ම එකතු වෙලා හැදුණ දිස්ත්‍රික්කයක සේවේ කරපු සහෝදරයාව හැඳින්නුවේ දිස්ත්‍රික් සේවක විදිහට.