මයිල්ස් නෝත්ඔවර් | ජීවිත කතාව
මගේ දෑතට යෙහෝවා ආශීර්වාද කළා
මගේ දෙමාපියෝ හැම තිස්සේම යෙහෝවාගේ සංවිධානෙට සහයෝගය දුන්නා. මට මතකයි ලන්ඩන් බෙතෙල් පවුලට කිරි සපයන්න අවශ්‍ය වුණාම අපේ තාත්තා අපිට හිටපු එකම ජර්සි එළදෙනගේ පැටියාව බෙතෙල් එකට දුන්නා. ඒ නිසා ඒ කාලේ අපි නිතරම විහිළු කරකර හිටියා අපේ පවුලෙන් මුලින්ම බෙතෙල් ගියේ අපේ වහු පැටියා කියලා. මගේ දෙමාපියන්ගේ ආදර්ශය මගේ හිතෙත් ආශාවක් ඇති කළා යෙහෝවා වෙනුවෙන් මගේ උපරිමේ දෙන්න. (දේශනාකාරයා 11:6) ඇත්තටම යෙහෝවාත් හිතාගන්න බැරි විදිහට මගේ අත් දෙක පාවිච්චි කරලා ඔහුට සේවේ කරන්න අවස්ථාව හදලා දුන්නා. ඔහු මං කරපු සේවෙට ආශීර්වාදත් කළා. ඔන්න අහන්නකෝ මගේ කතාව.
මං හැදුණේ වැඩුණේ එක්සත් රාජධානියේ බිස්ට කියන නගරෙට කිට්ටුව තිබුණ ගමක. අපි හිටියේ කුලියට ගත්ත ගොවිපොළක. මට අක්කෙකුයි, අයියෙකුයි හිටියා. ඒ දෙන්නාම පුරෝගාමි සේවේ කළා. ඉතිං මාත් 19දී පුරෝගාමි කරන්න පටන්ගත්තා. ඊටපස්සේ මාව විශේෂ පුරෝගාමියෙක් විදිහට ස්කොට්ලන්තයට යැව්වා. 1970දී ලන්ඩන් බෙතෙල් එකේ සේවේ කරන්න මට එන්න කිව්වා. එතකොට මට 23යි. එහෙදී තමයි මං සංඥා භාෂාව ගැන දැනගත්තේ. ඒක මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරෙව්වා. ඒ වෙනස නිසා මගේ ජීවිතේ ආශීර්වාදවලින් වගේම සතුටින් පිරුණා.
දෑතේ භාෂාව ඉගෙනගත්තා
බෙතෙල් එකෙන් මාව මිල් හිල් සභාවේ සේවේ කරන්න දැම්මා. ඒ සභාවේ බිහිරි කීපදෙනෙක්ම හිටියා. එයාලාගේ භාෂාව බැරි නිසා එයාලාගෙන් දුරස් වෙලා ඉන්න මට ඕන වුණේ නෑ. ඒ නිසා මං තීරණේ කළා රැස්වීම්වලදී එයාලත් එක්කම ඉඳගන්න.
ඒ කාලේ බ්‍රිතාන්‍යයේ සංඥා භාෂා සභා තිබුණේ නෑ. බිහිරි අයත් රැස්වීම් ගියේ ඉංග්‍රීසි සභාවට. ඉංග්‍රීසි සභාවේ සහෝදරයන් රැස්වීමේ කොටස් සංඥාවලින් එයාලට පැහැදිලි කළා. එයාලා කළේ ඉංග්‍රීසි වාක්‍යයේ රටාවටම වචනෙන් වචනේ සංඥා කරපු එක. කොහොමහරි බිහිරි සහෝදර සහෝදරියෝ මට හරිම ඉවසීමෙන් සංඥා භාෂාව ඉගැන්නුවා. ඔහොම ඉගෙනගද්දී මට තේරුණා එයාලාගේ භාෂාවෙන් අදහස් ප්‍රකාශ කරන්න වෙනමම ක්‍රමයක් තියෙනවා කියලා. ඇත්තටම ඉංග්‍රීසි කියන්නේ එයාලට වෙනස්ම භාෂාවක්. ඒක දැනගත්තාම එයාලා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ, ගෞරවේ තවත් වැඩි වුණා. මොකද රැස්වීමේ කියන දේවල් එයාලට හොඳටම තේරුණේ නැතත් එයාලා අත්හරින්නේ නැතුව ආවා. ඕකෙන් පස්සේ සංඥා භාෂාව ඉගෙනගන්න මගේ දෑත් උපරිමෙන් පාවිච්චි කරන්න මං පටන්ගත්තා.
බ්‍රිතාන්‍යයේ බිහිරි අයගේ නිල භාෂාව තමයි බ්‍රිතාන්‍ය සංඥා භාෂාව (BSL). රැස්වීම් පරිවර්තනය කරපු අය කාලයත් එක්ක ඒ භාෂාව ඉගෙනගත්තා. ඒ නිසා බිහිරි අයට රැස්වීම්වලින් වැඩිපුර ප්‍රයෝජන ගන්න පුළුවන් වුණා. ඒකෙන් පස්සේ බිහිරි අයයි, අනිත් සහෝදර සහෝදරියනුයි තව එක්සත් වුණා. පහුගිය අවුරුදු 50 දිහා බලද්දී යෙහෝවා සංඥා භාෂා ක්ෂේත්‍රයට කොච්චර ආශීර්වාද කරලා තියෙනවාද කියලා මට සැක නැතුව කියන්න පුළුවන්. සංවිධානයේ වුණ ලොකු ලොකු වෙනස්කම්වලට මටත් හවුල් වෙන්න ලැබුණ විදිහ ගැන මං ඔයාලට කියන්නම්.
සංඥා භාෂා ක්ෂේත්‍රයේ ලොකු දියුණුවක්
මං වැඩිමහල්ලෙක් වෙලා අවුරුද්දකට විතර පස්සේ, ඒ කියන්නේ 1973දී මයිකල් ඊගර්ස් කියන බිහිරි සහෝදරයා මට කිව්වා BSLවලින් රැස්වීම් තිබ්බොත් කොහොමද කියලා. ශාඛා කාර්යාලයෙන් මටයි, තව වැඩිමහල්ලෙක්ටයි අවසර දුන්නා මාසෙකට සැරයක් සංඥා භාෂාවෙන් රැස්වීම් තියන්න. අපි ඒක පටන්ගත්තේ ලන්ඩන්වල ගිනිකොනදිගට වෙන්න තිබුණ ඩෙට්ෆර්ඩ් කියන පැත්තේ.
ප්‍රතිඵල අතිවිශිෂ්ටයි! අපේ පළවෙනි BSL රැස්වීමට ලන්ඩන්වලින් සහ එංගලන්තේ ගිනිකොන පැත්තෙන් සහෝදර සහෝදරියන් ගොඩදෙනෙක් ආවා. එයාලට සත්‍යය ගැන එයාලාගෙම භාෂාවෙන් තව දැනගන්න ලැබුණා. ඒ වගේම රැස්වීමෙන් පස්සේ අපි අද්දැකීම් බෙදාගත්තා. කට්ටිය එක්ක පොඩි කෑමක් ගන්නත් අමතක කළේ නෑ. එයාලව දිරිගන්වන්නත් මට අවස්ථාව හම්බ වුණා.
පස්සේ බර්මිංහැම්වලයි, ෂෙෆීල්ඩ්වලයි සංඥා භාෂාවෙන් රැස්වීම් පටන්ගත්තා. බිහිරි නැති සහෝදර සහෝදරියන් හුඟදෙනෙකුත් ඒ රැස්වීම්වලට ආවා. මොකද එයාලට ඕන වුණේ BSL ඉගෙනගන්න. ඉතිං එහෙම ආපු හුඟදෙනෙක් සංඥා භාෂාවෙන් සේවේ කරන්න එංගලන්තයේ එක එක පැතිවලට ගියා.
මගේ ගමනට සහකාරියක්
1974දී මට අපූරු සහෝදරියක් ඇහැ ගැටුණා. එයාගේ නම ස්ටෙලා බාකර්. එයා බෙතෙල් එක ළඟ තිබුණ සභාවේ සේවේ කරපු විශේෂ පුරෝගාමියෙක්. අපි දෙන්නා ආදරේ කරලා 1976දී බැන්දා. බැඳලා දෙන්නාම විශේෂ පුරෝගාමි සේවේ කළා. අපේ සභාව තිබුණේ උතුරු ලන්ඩනයේ හැක්නී කියන පැත්තේ. එහෙදී ස්ටෙලාත් සංඥා භාෂාවෙන් සේවේ කරන්න මාත් එක්ක එකතු වුණා. ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී මට කියන්න පුළුවන් පුරෝගාමි සේවේ අපි දෙන්නාගේ විවාහෙට හොඳ ආරම්භයක් වුණා කියලා.
වැඩි කල් යන්න කලින් ස්ටෙලාටයි, මටයි සතියට දවස් කීපයක් බෙතෙල් එකේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ අපිට සූ ගාලා වැඩ. මං ආදේශක චාරිකා සේවකයෙක් විදිහටත් වැඩ කළා. පත් කළ සහෝදරයන් සඳහා පාසැල්වල (වැඩිමහල්ලෝ) උපදේශකයෙක් විදිහටත් සේවේ කළා. පස්සේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණ තුන්දින සමුළු සංඥා භාෂාවට පරිවර්තනය කරන වැඩ සංවිධානය කරන්නත් මට අවස්ථාව ලැබුණා. සමහර දවස්වලට ලොකු තෙහෙට්ටුවක් දැනුණත් ලැබුණ සතුට නිසා ලොකු පණක් ලැබුණා.—මතෙව් 11:28-30.
1979 අපේ ලොකු පුතා සයිමනුයි, 1982 පොඩි පුතා මාකුයි ඉපදුණා. ඒකෙන් අපිට ලොකු සතුටක් වගේම වගකීම් ගොඩකුත් කරට ආවා. කොහොමද අපි සේවෙයි, ළමයි බලාගන්න එකයි දෙකම කළේ? වෙන පැත්තකට පැවරුමක් කරන්න මට යන්න වෙද්දී පවුල පිටින් යන්න ස්ටෙලායි, මායි තීරණේ කළා. එහෙම ගියාම අපි විනෝද වෙන්නත් දේවල් කළා. මොකද අපිට ඕන වුණා යෙහෝවා දෙවියන්ට සේවේ කරන එකෙන් කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද කියලා අපේ කොල්ලො දෙන්නාට පෙන්නන්න. දෙන්නා ටික ටික ලොකු වෙද්දී එයාලා සංඥා භාෂාව ඉගෙනගත්තා විතරක් නෙවෙයි පුරෝගාමි කරන්නත් පටන්ගත්තා. අපේ අම්මලාගේ වහු පැටියා බෙතෙල් සේවේ කරන්න පටන් අරන් අවුරුදු 40කට පස්සේ සයිමනුයි, මාකුයි “බෙතෙල් සේවේ” පටන්ගත්තා. ඒ ගැන අපිට හරිම සතුටුයි.
බිහිරි අයට උදව්
1990 ගණන් වෙද්දීත් බ්‍රිතාන්‍යයේ බිහිරි අයගෙන් කවුරුත් වැඩිමහල්ලෝ වෙලා හිටියේ නෑ. හැබැයි සහායක සේවකයෝ කීපදෙනෙක් නං හිටියා. සංඥා භාෂාව දන්නේ නැති වැඩිමහල්ලන්ට සිද්ධ වුණා ඒ සහායක සේවකයන් අතරින් ‘උගන්නන්න සුදුසුකම් තියෙන,’ වැඩිමහල්ලන් විදිහට සේවේ කරන්න පුළුවන් අය ඉන්නවාද කියලා බලන්න. (1 තිමෝති 3:2) ඒ වගේ එක සහායක සේවකයෙක් තමයි බර්නාඩ් ඔස්ටින් කියන්නේ. එයා ගියේ ඉංග්‍රීසි සභාවට. එයා සහෝදර සහෝදරියන්ට ආදරේ කරපු හරිම හොඳ සහෝදරයෙක්. එයාව වැඩිමහල්ලෙක් විදිහට පත් කරලා කියලා දැනගත්තාම මට පුදුම සතුටක් දැනුණේ. ඇත්තටම එයා තමයි බ්‍රිතාන්‍යයේ පළවෙනි බිහිරි වැඩිමහල්ලා.
1996දී ඉතිහාසගත වෙන දෙයක් වුණා. බ්‍රිතාන්‍යයේ මුල්ම සංඥා භාෂා සභාව පිහිටුවන්න ශාඛා කාර්යාලයෙන් අවසර ලැබුණා. ඒක තිබුණේ බටහිර ලන්ඩනයේ අර්ලින්වල.
හැම රැස්වීමකින්ම ප්‍රයෝජන ගත්තා
අසූ අනූ ගණන්වල මං ගෙදර ඉඳන් බෙතෙල් එකේ සේවා අංශයට උදව් කළා. මගේ පැවරුම වුණේ සංඥා භාෂා ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රශ්නවලට උත්තර දෙන එක. සමහර සහෝදරයන් බෙතෙල් එකට ලියුම් එවලා ඇහුවා රැස්වීම්වල, සමුළුවල දෙන දේශන බිහිරි අයට මීට වඩා හොඳට තේරුම්ගන්න උදව් කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ කාලේ සමුළුවල දේශන සංඥා භාෂාවට පරිවර්තනය කරන්න සැලැස්මක් තිබුණේ නෑ. ඒ වගේම බිහිරි අයට ප්‍රකාශන තිබුණෙත් නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට මට සහෝදරයන්ට කියන්න වුණා යෙහෝවා දේවල් කරන කල් අපි ඉවසීමෙන් බලන් ඉමු කියලා. ඒ ඉවසීමට යෙහෝවා ආශීර්වාද කළා. වැඩි කල් ගියේ නෑ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන සමුළු, රැස්වීම් සංඥා භාෂාවට පරිවර්තනය කරන්න ශාඛා කාර්යාලයෙන් සැලසුම් කළා.
ඒත් එක්කම තවත් හොඳ වෙනසක් වුණා. ඒ තමයි රැස්වීම්වලදී, සමුළුවලදී බිහිරි අය ඉස්සරහින්ම ඉඳගන්න පටන්ගත්ත එක. එතකොට එයාලට පරිවර්තකයාවයි, දේශනය දෙන සහෝදරයාවයි හොඳට පේනවා. මේ වෙනස්කම් නිසා බිහිරි සහෝදර සහෝදරියන්ට යෙහෝවාගේ ආදරේ තවත් දැනුණා. එයාලත් මේ ලොකු පවුලේ කොටසක් කියලා එයාලට දැනුණා.
1995 අප්‍රියෙල් 1වෙනිදා, එදා තමයි පළවෙනි සංඥා භාෂා සමුළුව පැවැත්තුවේ. ඒක තිබුණේ වෙස්ට් මිඩ්ලන්ඩ්වල සමුළු ශාලාවේ. චාරිකා සේවකයෙක් වුණ සහෝදර ඩේවිඩ් මෙරීට සමුළුවේ වැඩ සංවිධානය කරන්න මං උදව් කළා. සමහර බිහිරි සහෝදරයන් හැතැක්ම සිය ගාණක් ගෙවාගෙනයි ඒ සමුළුවට ආවේ. සමහරු ආවේ උතුරු ස්කොට්ලන්තයේ ඉඳන්. තවත් අය නිරිතදිග කෝර්න්වෝල්වල ඉඳන් ඒ සමුළුවට ආවා. මේ ඓතිහාසික සමුළුවට ආපු 1,000කට වඩා වැඩිදෙනාගේ මූණුවල තිබුණ සතුට මට අද වගේ මතකයි.
2001දී ශාඛා කාර්යාලයෙන් සහෝදර මෙරීගෙනුයි, මගෙනුයි ඇහුවා ඊළඟ අවුරුද්දේ BSLවලින් තුන්දින සමුළුව තියන්න සංවිධානය කරන්න පුළුවන්ද කියලා. ඒකට නං වැඩ කෝටියක් කරන්න තිබුණා. හැබැයි යෙහෝවා ඒ හැම ස්වේච්ඡා සේවකයෙක්ගෙම මහන්සියට ආශීර්වාද කරපු නිසා ඒ සමුළුව සාර්ථක කරගන්නත් කවදාවත් අමතක නොවන සමුළුවක් කරගන්නත් පුළුවන් වුණා. එදා ඉඳන් සංඥා භාෂා සමුළුවල වැඩ අධීක්ෂණය කරන පැවරුම මට හම්බ වුණා. ඒ වැඩේට යෙහෝවා තරුණ සහෝදරයන් පුහුණු කරන කල්ම මං ඒ පැවරුම කළා.
බිහිරි අයට වීඩියෝ
1998 සංවිධානෙන් පළවෙනි BSL ප්‍රකාශනය මුදාහැරියා. ඒකේ නම ‘දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?’ ඒක ආවේ වීඩියෝ විදිහට. ඒක පාවිච්චි කරලා සහෝදර සහෝදරියන් බයිබල් පාඩම් ගොඩක් කළා. ඊටපස්සේ සංවිධානෙන් තවත් ගොඩක් ප්‍රකාශන මුදාහැරියා.
2002 සමුළුවේදී තමයි මුලින්ම ගීතිකා BSLවලට පරිවර්තනය කළේ. ඒ නිසා ගීතිකාව යද්දී බිහිරි අයට ගායකයාත් එක්ක එකතු වෙලා රිද්මෙට ඒක කියන්න පුළුවන් වුණා. එක බිහිරි වැඩිමහල්ලෙක් මුල්ම වතාවට ගීතිකාව කියද්දී එයාගේ ඇස්වලින් සතුටු කඳුළු වැටුණ විදිහ මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
2002 සමුළුවේ තවත් ඓතිහාසික දෙයක් සිද්ධ වුණා. ලන්ඩනයේ සංඥා භාෂා සභාවට භාර දීලා තිබුණා ඒ සමුළුවේ නාට්‍යය පටිගත කරන්න. ඒත් කොහොමද ඒක කරන්නේ? අපි ඒ වෙද්දී ඒ වගේ දෙයක් කරලා තිබුණේ නෑ. මේ පාරත් යෙහෝවා අපේ උදව්වට හිටියා. ඔහුගේ උදව් නිසා අපිට පුළුවන් වුණා ඒ නාට්‍යය හදන්න සහ එඩිට් කරන්න සහෝදරයන්ව හොයාගන්න. ඒ නාට්‍යය හොඳටම තිබුණා. ඊටපස්සේ ඒ ලබපු අද්දැකීම් නිසා 2003 ඉඳන් 2008 වෙන කල් සංඥා භාෂාවෙන් නාට්‍යය පටිගත කරන වැඩ බෙතෙල් එකේ ඉඳන් අධීක්ෂණය කරන්න මට අවස්ථාව හම්බ වුණා.
පුතාලා එක්ක බෙතෙල් සේවේ කරන්න ලැබුණ එක ගැන ස්ටෙලාටයි, මටයි ලොකු සතුටක් දැනුණා. හැබැයි කරන්න තිබුණ වැඩ කන්දරාව නං ලේසි නෑ. සති ගාණක් පුහුණුවීම් කරද්දී නළු නිළියන්ටයි, නිෂ්පාදන කණ්ඩායමේ අයටයි ලොකු තෙහෙට්ටුවක් දැනුණා. හැබැයි ඒ නාට්‍යය බලද්දී බිහිරි සහෝදර සහෝදරියන්ට ඒ බයිබල් චරිත ජීවමාන වුණා. ඒ නිසා එයාලාගේ ඇස්වලට සතුටු කඳුළු ඉණුවා. ඕක දැකලා අපිටත් දැනුණේ පුදුම සතුටක්. අපිට තේරුණා අපේ මහන්සියට ආශීර්වාද තිබුණා කියලා.
යෙහෝවාගේ තෑගි එතනින් නැවතුණේ නෑ. 2015දී ‘මුරටැඹ’ පාඩම් කලාපය BSLවලින් වීඩියෝ විදිහට ලැබුණා. ඊටපස්සේ 2019දී මතෙව් පොතත් ඒ විදිහටම ලැබුණා. දැන් අපිට සම්පූර්ණ ග්‍රීක ලියවිල්ලම BSLවලින් තියෙනවා. හෙබ්‍රෙව් ලියවිල්ලත් ළඟ ළඟම එනවා. යෙහෝවාගෙන් ලැබෙන මේ තෑගි ගැන බිහිරි සහෝදර සහෝදරියන්ගේ හිත්වල තියෙන්නේ පුදුම අගයක්.
ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා හැමෝටම එක වගේ ආදරේ කරනවා. (ක්‍රියා 10:34, 35) ඔහුගේ පවුලේ අයත් ඔහුව ආදර්ශයට ගන්නවා. අන්ධ, බිහිරි අය ඇතුළු හැමෝටම සත්‍යය ගැන දැනගන්න උදව් කරන්න සංවිධානෙන් ලොකු කාලයක්, මහන්සියක්, මුදලක් යොදවනවා. ඒ ගැන කල්පනා කරද්දී තාමත් මටයි, මගේ පවුලේ අයටයි පුදුමයි. a
අපේ මහන්සිය මල්පල ගැන්වුණා. දැන් බ්‍රිතාන්‍යයේ සංඥා භාෂා සභා කීපයක්ම තියෙනවා. “සුළුවෙන් පටන්ගත්ත වැඩේ” දැන් වර්ධනය වෙලා. (සෙකරියා 4:10) ඒකට මගේ දෑත් පුංචි විදිහකින් හරි පාවිච්චි කරන්න ලැබුණ එක ගැන මට තියෙන්නේ පුදුම සතුටක්. ඇත්තටම මේ හැම දේකම ගෞරවේ යන්න ඕනෙ යෙහෝවාට. ඔහු තමයි සංවිධානෙට මඟ පෙන්නන්නේ. හැම මනුෂ්‍යයෙක් ගාවටම සත්‍යය ගෙනියන්න ඔහුගේ සේවකයන්ට අවශ්‍ය දේවල් දෙන්නේ ඔහුයි. ඒ වගේම අවංක හදවත්වල රාජ්‍යයේ බීජ වැඩෙන්න සලස්වන්නෙත් ඔහුයි.
a “ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි - හිත්වලට කතා කරන තිත්” කියන ලිපිය බලන්න.