මිල්ටියාඩිස් ස්ටාව්‍රෝව් | ජීවිත කතාව
“යෙහෝවා දෙවියන් අපේ ළඟින්ම ඉඳන් අපිට පාර පෙන්නුවා”
ලෙබනන්වල ට්‍රිපලි නගරේ කොයි වෙලෙත් ලස්සන ලස්සන වාහන එහාට මෙහාට යනවා. මං ඉස්සර හරි ආසයි ඕවා දිහා බලාගෙන ඉන්න. එතකොට මට අවුරුදු 13ක් විතර ඇති. දවසක් ඔහොම බලබල ඉද්දී රතු පාට ඇමරිකන් කාර් එකක් එතනින් ගියා. ඒක මාර ලස්සනයි. ඒක අයිති කෙනා සිරියානු ජාතිකයෙක්. හැබැයි අපේ ඕතඩොක්ස් පල්ලියේ පූජකයා කියපු දෙයක් අහලා මට පුදුම හිතුණා. එයා කිව්වා ඒ කාර් එකට ගල් ගහන්න කියලා. මොකද ඒක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ගේ.
අපි එතකොට පූජකයාට කිව්වා “අපි ගල් ගැහුවොත් ඒ මනුස්සයාට තුවාල වෙයිනේ” කියලා. හැබැයි එතකොට පූජකයා අපිට කිව්වා “ඔය මිනිහාව මරලා දාන්න. ඊටපස්සේ ඇවිල්ලා ඔයාලගේ අත්වල තියෙන ලේ ටික මගේ ලෝගුවෙන් පිහදාගන්න” කියලා. ඒ වෙන කල්ම මට ග්‍රීක ඕතඩොක්ස් පල්ලිය ගැන පුදුම භක්තියක් තිබුණා. හැබැයි එයා කියපු ඒ වචන ටික නිසා පස්සේ කාලෙක මට පල්ලිය එපාම වුණා. දැන් හිතලා බලද්දී තමයි තේරෙන්නේ මං යෙහෝවා ගැන සත්‍යය හොයන්න පෙලඹුණේ ඒ සිද්ධිය නිසා කියලා.
යෙහෝවා දෙවියන්ව හොයාගෙන ගිය ගමන
මං ජීවත් වුණ ට්‍රිපලි නගරයේ වරායක් තිබ්බා. ඒ නිසා එහේ එක එක සංස්කෘතිවල, ජාතිවල, ආගම්වල අය හිටියා. එහේ හිටපු හැම පවුලක්ම වගේ තමන්ගේ ජාතිය, සංස්කෘතිය ගැන මහ ඉහළින් හිතාගෙන හිටියේ. අපේ පවුලේ අයත් එච්චරම තමයි. ඔහොම කාලයක් යද්දී මං මගේ අයියලා තුන්දෙනාත් එක්ක විශ්වාසයේ හමුදාව කියලා කණ්ඩායමකට බැඳුණා. ඒක සාක්ෂිකරුවන්ට විරුද්ධව වැඩ කරපු කණ්ඩායමක්. අපිට කවදාවත් සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තිබ්බේ නෑ. හැබැයි පූජකයා අපිට කිව්වා “ඒගොල්ලෝ ඕතොඩොක්ස් පල්ලියට විරුද්ධව වැඩ කරන කල්ලියක්, එයාලගේ ලොක්කා තමයි යෙහෝවා” කියලා. පූජකයා කොයි වෙලෙත් අපිට කිව්වේ “සාක්ෂිකරුවන්ට දැක්ක තැන ගහන්න” කියලා.
මං දැනගෙන හිටියේ නැති වුණාට අපේ අයියලා තුන්දෙනෙක්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හම්බෙලා තිබුණා. හැබැයි ඒගොල්ලෝ එයාලට ගහන්න කරන්න ගිහිල්ලා නෑ. ඒ වෙනුවට එයාලත් එක්ක බයිබලේ පාඩම් කරන්න කැමති වෙලා. එහෙම කළේ සාක්ෂිකරුවන් වැරදියි කියලා ඔප්පු කරන්න හිතාගෙන. දවසක් හැන්දෑවේ මං ගෙදර එනකොට සාක්ෂිකරුවෝ රොත්තක් අපේ සාලේ මැද්දේ. බලද්දී පවුලේ අයයි, අපේ ගෙවල් පැත්තේ කීපදෙනෙකුයි එකතු වෙලා එයාලත් එක්ක බයිබලේ සාකච්ඡා කරනවා. මට ඒක දැකලා හොඳටම අප්සට් ගියා. මට හිතුණා ‘කොහොමද මෙයාලා අපේ ආගම මේ විදිහට පාවලා දෙන්නේ’ කියලා. ඔය කට්ටිය අතරේ අපේ පැත්තේ ප්‍රසිද්ධ දත් දොස්තර කෙනෙකුත් හිටියා. එයාත් සාක්ෂිකරුවෙක්. මං එතනින් එන්න හදද්දී එයා මට කිව්වා “ඇවිත් වාඩි වෙලා පොඩ්ඩක් මේ කියන දේ අහගන්න” කියලා. මාත් ඉතිං බෑ කියන්න බැරිකමට එතනින් වාඩි වුණා. ඒ වෙලාවේ අපේ හොඳ හිතවතෙක් මගේ බයිබලෙන් ගීතාවලිය 83:18 කියව කියව හිටියේ. ඒක ඇහුවාම තමයි මට තේරුණේ පූජකයා කියලා තියෙන්නේ කොච්චර ලොකු බොරුවක්ද කියලා. මොකද යෙහෝවා කියන්නේ කල්ලි නායකයෙක් නෙවෙයි, සැබෑ දෙවියන්ගේ නම කියලා එතකොට තමයි මං දැනගත්තේ.
මට ඕනෙ වුණා යෙහෝවා දෙවියන් ගැන තව දැනගන්න. ඉතිං ඒ නිසා මාත් අපේ ගෙදර තිබ්බ බයිබල් සාකච්ඡාවට හවුල් වුණා. ඒක කළේ මිෂෙල් අබූඩ් කියලා සහෝදරයෙක්. දවසක් ඔහොම සාකච්ඡා කරගෙන ඉද්දී මගේ යාළුවෙක් එකපාරටම එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එයා ඇහුවේ දෙවියන්ව හැදුවේ කවුද කියලා. ඔය ප්‍රශ්නේ ගැන මාත් පුංචි කාලේ ඉඳන්ම හිත හිත හිටියේ. සහෝදර අබූඩ් එතකොට ඒ ළඟ සෙටියක නිදාගෙන හිටපු පූසෙක්ව පෙන්නලා කිව්වා “ඔය පූසාට මිනිස්සු කතාබහ වෙන දේවල්, මිනිසුන්ගේ තර්ක, එයාලා තේරුම්ගන්න දේවල් තේරෙන්නේ නෑනේ. ඒ වගේ තමයි මිනිස්සුන්ටත් දෙවියන් ගැන හැම තොරතුරක්ම දැනගන්න බෑ” කියලා. එදා එයා කියපු උදාහරණේ මගේ හිතට පුදුම විදිහට වැදුණා. කොහොමහරි වැඩි කාලයක් යන්න කලින් ඒ කියන්නේ 1946දී මං යෙහෝවා දෙවියන්ට මගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වුණා. එතකොට මට වයස 15යි.
පුරෝගාමී සේවය මගේ ජීවිතේ වෙනස් කළා
මගේ එක අයියා කෙනෙක්ට ස්ටූඩියෝ එකක් තිබ්බා. මං 1948දී එයාත් එක්ක එකට වැඩ කරන්න පටන්ගත්තා. එයාගේ ෂොප් එකට එහා පැත්තේ කඩේ අයිති කෙනාත් සාක්ෂිකරුවෙක්. එයාගේ නම නාජිබ් සැලම්. a නාජිබ් කියන්නේ පොඩ්ඩක්වත් බය නැතුව හරිම උද්‍යෝගයෙන් සේවේ කරපු කෙනෙක්. ඒ සහෝදරයා අවුරුදු 100දී මැරෙන කල්ම විශ්වාසවන්තව සේවේ කළා. මං එයාත් එක්ක සේවේ යද්දී දැක්ක දෙයක් තමයි විරුද්ධවාදිකම් ආවා කියලා එයා නෙවෙයි පොඩ්ඩක්වත් බය වුණේ. ඒ වගේම තමයි එයාට ඕනම ආගමක කෙනෙක් එක්ක ටක් ගාලා බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න පුළුවන්. ඒ සහෝදරයාගේ ආදර්ශය මට ගොඩක් බලපෑවා.
දවසක් මං අයියාගේ ෂොප් එකේ ඉන්නකොට එතනට සහෝදරියක් ආවා. එයාගේ නම මේරි ශායා. එයා ඇමරිකාවේ ඉඳලා ඇවිල්ලා හිටපු ලෙබනන් ජාතිකයෙක්. අම්මා කෙනෙක් විදිහට එයාට ගොඩක් වගකීම් තිබුණත් එයා හරි උද්‍යෝගයෙන් පුරෝගාමි සේවය කරපු කෙනෙක්. එදා එයා අපේ ෂොප් එකට ආවාට පස්සේ මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. පැය දෙකක් විතර එයා සේවෙන් ලබපු අද්දැකීම් අපිත් එක්ක බෙදාගත්තා. එයා යන්න ටිකකට කලින් මගේ දිහා බලලා ඇහුවා “මිල්ටෝ, ඔයා තාම තනිකඩයිනේ. ඇයි පුරෝගාමී සේවේ කරන්නේ නැත්තේ” කියලා. මාත් ඉතින් ගත් කටටම කිව්වා “අපිත් ඉතිං ජීවත් වෙන්න රස්සාවක් කරන්න එපැයි” කියලා. ඊටපස්සේ ඒ සහෝදරි මගෙන් ඇහුවා “දැන් මං ඇවිත් කොච්චර වෙලාද?” මං කිව්වා “පැය දෙකක් විතර.” ඊටපස්සේ එයා මට කිව්වා “මේ පැය දෙකට ඔයා එච්චර ලොකු වැඩක් කරනවා මං දැක්කේ නෑනේ. ඉතිං හැමදාම ඔය විදිහට පැය දෙක දෙක සේවේ කළා නං ඔයාට පුරෝගාමි කරන්න පුළුවන්. අවුරුද්දක් විතර එහෙම කරලා බලන්න. හොඳයි කියලා හිතෙනවා නං දිගටම කරන්න.”
සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ අය ගෑනු අය කියන දේවල් එච්චර ගණන් ගන්නේ නෑ. හැබැයි මේ සහෝදරිය කියපු දේ ඇත්තක් තියෙනවා කියලා මට තේරුණා. මාස දෙකකට පස්සේ ඒ කියන්නේ 1952 ජනවාරිවල මං පුරෝගාමි පටන්ගත්තා. ඊට අවුරුදු එකහමාරකට පස්සේ මට 22වෙනි ගිලියද් පාසැලට යන්න ආරාධනාවක් ලැබුණා.
පාසැලෙන් මට පැවරුම ලැබුණේ මැදපෙරදිගට. එහෙට ගිහිල්ලා අවුරුද්දක් යන්නත් කලින් මං ඩොරිස් වුඩ් කියන සහෝදරියත් එක්ක විවාහ වුණා. එයා කොයි වෙලෙත් විහිළු තහළු කරලා හරිම සතුටින් ඉන්න කෙනෙක්. එයාත් එංගලන්තයේ ඉඳලා මැදපෙරදිගට ඇවිල්ලා හිටියේ මිෂනාරි සේවය කරන්න.
සිරියාවේ කරපු සේවය
අපි බැඳලා වැඩි දවසක් යන්න කලින් ඩොරිස්ටයි, මටයි සිරියාවේ අලෙප්පෝ කියන නගරයට පැවරුමක් ලැබුණා. එහේ අපේ වැඩකටයුතු තහනම් කරලයි තිබුණේ. ඒ නිසා සත්‍යයට උනන්දු අයව අපි හොයාගත්තේ බයිබල් පාඩම් කරපු අයගේ උදව්වෙන්.
දවසක් අපිත් එක්ක පාඩම් කරපු එක කාන්තාවක්ව අපි බලන්න ගියා. එයා දොර ඇරලා බයෙන් වෙවුල වෙවුල අපිට කිව්වා “පරෙස්සමෙන්, මේ දැන් පොලීසියෙන් ඇවිල්ලා ගියා. එයාලා මගෙන් ඇහුවා ඔයාලා ඉන්නේ කොහෙද කියලා.” ඒකෙන් පස්සේ අපිට තේරුණා රහස් පොලීසිය අපි බයිබල් පාඩම් කරන්නේ කා එක්කද කියලා හොඳට දැනගෙන ඉඳලා තියෙනවා කියලා. ඉතින් අපි මේ ගැන ඉක්මනටම මැදපෙරදිග වැඩකටයුතු බලා කියා ගත්ත සහෝදරයන්ට දැනුම් දුන්නා. එයාලා අපිට කිව්වේ පුළුවන් තරම් ඉක්මනට රටින් පිට වෙන්න කියලා. අපේ බයිබල් පාඩම් දාලා යන එක අපිට ලේසි වුණේ නෑ. හැබැයි අපි අකමැත්තෙන් වුණත් ඒක කළා. ඒ හැම වෙලාවකම යෙහෝවා අපිව ආදරෙන් රැකබලා ගත්ත විදිහ අපි දැක්කා.
ඉරාකයේදීත් යෙහෝවා අපිව තනි කළේ නෑ
1955දී අපිට ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට පැවරුමක් ලැබුණා. එහෙදී ඉරාකයේ ඉන්න හැම කෙනෙක්ටම වගේ පරෙස්සමෙන් සාක්ෂි දරන්න අපිට පුළුවන්කම තිබුණත් අපි විශේෂයෙන්ම අවධානය දුන්නේ ක්‍රිස්තියානි පසුබිමක් තිබුණ අයට.
අපි එහෙදී මාකට් එකට යන ගමන්, පාරේ යන එන ගමන් නිතරම වගේ මුස්ලිම් අයත් එක්කත් සුහදව කතාබහ කළා. ඩොරිස් එයාට හම්බෙන අයත් එක්ක හිතවත් වෙන්න හුඟක් වෙලාවට එයාලා අහන්න ආස විෂයන් ගැන කතා කළා. සමහරු එක්ක සාකච්ඡාවක් පටන්ගන්න ඕනෙ නිසා එයා කිව්වා “මගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි අපි හැමෝටම දෙවියන්ට ගණන් දෙන්න වෙනවා කියලා.” (රෝම 14:12) ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “තාත්තා කියපු ඒ දේ මගේ ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. ඔයා මොකද ඒ ගැන හිතන්නේ?”
අපි බැග්ඩෑඩ්වල අවුරුදු තුනකට කිට්ටු කාලයක් සේවය කළා. එහෙදී හරිම පරෙස්සමෙන් දේශනා සේවේ සංවිධානය කරන්නේ කොහොමද කියලා අපි එහේ සහෝදරයන්ට කියලා දුන්නා. ඒ දවස්වල අරාබි භාෂාවෙන් රැස්වීම් තිබ්බේ අපි හිටපු මිෂනාරි නිවසේ. ඒ පැත්තේ එක ජන පිරිසක් හිටියා, එයාලාගෙන් වැඩිදෙනෙක් ඇදහුවේ ක්‍රිස්තියානි ආගම. එයාලා අපේ රැස්වීම්වලටත් ආවා. අපි අතර තිබුණ ආදරේ, එකමුතුකම දැකලා එයාලා තේරුම්ගත්තා මේ තමයි යේසුස්ගේ සැබෑම අනුගාමිකයෝ කියලා.—යොහන් 13:35.
අපි ඉරාකයේ හිටපු කාලේ නිකලස් අසීස් කියලා මහත්තයෙක් මාත් එක්ක බයිබලේ පාඩම් කළා. එයා හරිම කාරුණාවන්ත, නිහතමානී කෙනෙක්. එයාත් එක්ක එයාගේ නෝනා හෙලනුත් පාඩම කළා. බයිබලේ පාඩම් කරද්දී යේසුස් සහ දෙවියන් කියන්නේ දෙන්නෙක් කියන ඉගැන්වීම එයාලා හරිම ඉක්මනට පිළිගත්තා. (1 කොරින්ති 8:5, 6) නිකලසුයි, තව 20දෙනෙකුයි යුප්‍රටීස් ගඟේ බව්තීස්ම වෙච්ච දවස මට අද වගේ මතකයි.
ඉරානයේදීත් යෙහෝවා අපිට අත දුන්නා
ඉරාන හමුදාවේ කට්ටියක් රජයට විරුද්ධව කැරලිගහලා 1958 ජූලි 14වෙනිදා දෙවෙනි ෆයිසාල් රජ්ජුරුවන්ව මැරුවා. ඒ සිද්ධිය වෙලා වැඩි දවසක් යන්න කලින් අපිව ඉරාකයෙන් ඉරානයට පිටුවහල් කළා. හැබැයි එහේ හිටපු කාලේ පුරාම අපි හරිම පරෙස්සමෙන් පිටරටවලින් ඇවිල්ලා හිටපු අයට සාක්ෂි දරුවා.
මාස හයකට පස්සේ අපිට ඉරානයේ අගනුවර වුණ ටෙහෙරාන්වලිනුත් යන්න වුණා. එහෙන් යන්න කලින් පොලීසියෙන් මාව ප්‍රශ්න කරන්න අරන් ගියා. ඒ වෙලාවේ තමයි මට තේරුණේ අපි යන එන හැම තැනක් ගැනම පොලීසිය ඇහැගහගෙන ඉඳලා තියෙනවා කියලා. පොලීසියෙන් එළියට ආපු ගමන් මං ඩොරිස්ට කතා කරලා කිව්වා “පොලීසිය අපි ගැන මේ ටිකේ විපරමින් ඉන්න නිසා මං ගෙදර එන්නේ නැතුව ඉන්නං. රටින් පිට වෙන කල් අපි දෙන්නා වෙන වෙනම ඉමු” කියලා.
අපි ගුවන් තොටුපොළේ හම්බ වෙන කල් ඩොරිස්ටත් ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තැනක් හම්බ වුණා. ඒත් පොලීසියේ අයගේ ඇස් වහලා ඩොරිස් ගුවන් තොටුපොළට එන්නේ කොහොමද? ඒ ගැන කියලා එයා යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා.
එකපාරටම මහ හයියෙන් වහින්න පටන්ගත්තා. ඒ වෙලාවේ හැමෝම පොලීසියේ අය පවා වැස්සෙන් බේරෙන්න කඩපිල්වලට දිව්වා. කවුරුත්ම පාරේ හිටියේ නෑ. ඒ නිසා කිසිම කරදරයක් නැතුව ඩොරිස්ට එන්න පුළුවන් වුණා. ඩොරිස් කියනවා “එදා ගංවතුර දාන තරමට වැස්සා. ඒක නං ඇත්තටම ආශ්චර්යයක්!” කියලා.
අපි ඉරානයෙන් පිට වුණාට පස්සේ අපිට තවත් ප්‍රදේශයක සේවය කරන්න පැවරුමක් ලැබුණා. එහේ එක එක ජන පිරිස්වලට එක එක ආගම්වලට අයිති අයට අපි සාක්ෂි දැරුවා. ඔහොම ටික කාලයක් සේවේ කරද්දී 1961දී අපිට චාරිකා සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ පැවරුම නිසා මැදපෙරදිග පුරාම ගොඩක් පැතිවලට ගිහිල්ලා අපේ සහෝදර සහෝදරියන්ව මුණගැහෙන්න අපිට අවස්ථාව ලැබුණා.
අපි යෙහෝවාගේ බලය අත්වින්ඳා
මැදපෙරදිග සේවය කරපු කාලේ පුරාම යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් තමන්ගේ සෙනඟව එක්සත් කරන විදිහ මං ඇස් දෙකෙන්ම දැක්කා. මට මතකයි මං ඒ දවස්වල එඩී සහ නිකලස් කියලා දෙන්නෙක් එක්ක බයිබලේ පාඩම් කළා. එයාලා දෙන්නා පලස්තීන ජාතිකයන්. ඒ දෙන්නා මුලදී හරි ආසාවෙන් රැස්වීම්වලට ආවා. හැබැයි එයාලට තිබ්බ දැඩි දේශපාලනික මත හින්දා ටික දවසකින් පාඩම නතර කළා. එයාලගේ දැඩි හිත් මොළොක් කරන්න කියලා මං සෑහෙන්න වතාවක් යාච්ඤා කළා. ඔහොම කාලයක් යද්ද්දී එයාලට තේරුණා පලස්තීන ජාතිකයන්ගේ විතරක් නෙවෙයි හැම කෙනෙක්ගෙම ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලා. ඒක තේරුම්ගත්තාට පස්සේ එයාලා ආයෙත් පාඩම් කරන්න පටන්ගත්තා. (යෙසායා 2:4) කාලයක් පුරා මුල් බැහැගෙන තිබ්බ ජාතිවාදී හැඟීම් අයින් කරගෙන එයාලා දෙන්නා දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වුණා. පස්සේ කාලෙක නිකලස් චාරිකා සේවකයෙකුත් වුණා.
අපි ඔහොම සේවය කරගෙන රටින් රටට යද්දී හුඟක් පීඩාවලට මූණ දෙන සහෝදරයන්ව අපිට හම්බ වුණා. එයාලා යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න ලොකු සටනක් කළා. මට ඕනෙ වුණේ එයාලා ඉන්න සභාවලට චාරිකා යද්දී පුළුවන් විදිහට එයාලට ශක්තියක් වෙන්න, එයාලව දිරිගන්වන්න. (රෝම 1:11, 12) ඒ දේ කරන්න නං එයාලට වඩා මං උසස් නැහැ කියලා එයාලට දැනෙන්න ඕනේ. (1 කොරින්ති 9:22) ඒ විදිහට සහෝදර සහෝදරියන්ට උදව් කරන්න ලැබුණ එක මට ලොකු සතුටක්.
අපිත් එක්ක බයිබලේ පාඩම් කරපු අය දෙවියන්ට විශ්වාසවන්තව සේවේ කරනවා දකින එක තරම් සතුටක් තවත් නැහැ. හැබැයි රටේ ඇති වුණ කලබලකාරී තත්වයන් නිසා එයාලගෙන් සමහරුන්ට වෙන රටවල්වලට යන්න වුණා. එයාලා ඕස්ට්‍රේලියාව, කැනඩාව, යුරෝපය සහ ඇමරිකාව වගේ රටවල්වල අරාබි භාෂාව කතා කරන සභාවලට ලොකු ආශීර්වාදයක් වෙලා තියෙනවා. මෑත කාලේදී එයාලගේ දරුවෝ වැඩි සේවයක් කරන්න ආයෙමත් මැදපෙරදිගට ආවා. අපිත් එක්ක පාඩම් කරපු අයගේ දරුවෝ ඉතිං අපෙත් දරු මුනුපුරෝ වගේ තමයි.
හැමදාමත් දෙවියන්ගේ පියාපත් සෙවණේ
යෙහෝවා දෙවියන් අපේ ළඟින්ම ඉඳන් අපිට මඟ පෙන්නපු විදිහ අපේ ජීවිත කාලේ පුරාම අපි අද්දැක්කා. තරුණ කාලේ මං මගේ ආගම, ජාතිය ඔළුව උඩ තියාගෙන හිටියේ. හැබැයි ඒ හැඟීම් ගලවලා විසි කරන්න යෙහෝවා මට උදව් කළා. ඒක කරන්න සංවිධානයෙන්, සහෝදර සහෝදරියන්ගෙන් මට හොඳ පුහුණුවක් ලැබුණා. එයාලා පැති ගන්නේ නැතුව ධෛර්යවන්තව වැඩ කරන විදිහ මං දැක්කා. ඒක තමයි මාවත් පෙලඹුවේ හැම කෙනෙක්වම එක විදිහට සලකලා එයාලට ශුභාරංචිය කියන්න. මායි, ඩොරිසුයි රටින් රටට සේවය කරන්න යද්දී ගොඩක් අභියෝගවලට මූණ දුන්නා. සමහර වෙලාවට ඊළඟට වෙන්නේ මොනවාද කියලවත් අපි දැනගෙන හිටියේ නෑ. හැබැයි ඒ හැම වෙලාවකම අපි ගැන නෙවෙයි යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඔහු අපිට ඉගැන්නුවා.—ගීතාවලිය 16:8.
දෙවියන්ට සේවය කරපු දශක ගාණ දිහා හැරිලා බලද්දී ඔහු අපිව ආදරෙන් රැකබලා ගත්ත විදිහ ගැන ඔහුට ස්තුති කරන්න මට වචන නෑ. ඩොරිස් නිතරම වගේ කියන දෙයක් තමයි “අපිට මොන ප්‍රශ්න ආවත් අපිව මරනවා කියලා තර්ජනය කළත් යෙහෝවාව නං අත්හරින්න හොඳ නෑ” කියලා. මැදපෙරදිග රටවල්වලට ගිහිල්ලා දෙවියන් හැමෝටම සාමය උදා කරනවා කියන ඒ ශුභාරංචිය කියන්න අපිටත් අවස්ථාවක් දීපු එක ගැන අපි යෙහෝවාට සදා ණය ගැතියි. (ගීතාවලිය 46:8, 9) හෙට දවස ගැන අපිට එක දෙයක් හරිම විශ්වාසයෙන් කියන්න පුළුවන්. යෙහෝවාගේ පියාපත් සේවණේ රැකවරණ පතන අයව ඔහු කවමදාකවත් තනි කරන්නේ නෑ.—යෙසායා 26:3.
a සහෝදර නාජිබ් සැලම්ගේ ජීවිත කතාව 2001 සැප්තැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 22-26 දක්වා පිටුවල සඳහන් වෙනවා.