ෆිලිස් ලියෑං | ජීවිත කතාව
මගේ අවංක ආසාවට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා
“මම කැමතියි!” බයිබලේ තියෙන මේ වචන ටික කිව්වේ රෙබෙකා. යෙහෝවා දෙවියන්ගේ අරමුණ වෙනුවෙන් එයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න වෙද්දී එයා ඒකට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. (උත්පත්ති 24:50, 58) මං රෙබෙකා තරම් විශේෂ කෙනෙක් නෙමෙයි. ඒත් මොන විදිහකින් හරි යෙහෝවාට සේවේ කරන්න මටත් තිබුණේ එයාට වගේම ලොකු ආසාවක්. අභියෝග තිබුණා. ඒත් දෙවියන්ට සේවේ කරන්න මට තිබුණ ආසාවට ඔහු ආශීර්වාද කරපු විදිහ මං අද්දැක්කා. සමහර ආශීර්වාද මට ලැබුණේ මං හිතුවෙවත් නැති විදිහට.
අමුත්තෙක් අරන් ආපු නිධානය
අපේ පවුලේ අය දකුණු අප්‍රිකාවේ රූඩෙපෝර්ට් කියන ටවුමේ පදිංචියට ගියා. එහෙට ගිහින් අවුරුදු කීපයකට පස්සේ මගේ තාත්තා නැති වුණා. ඉතිං පවුලේ අයට උදව් කරන්න ඕනෙ නිසා 1947දී මං ආණ්ඩුවේ දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක රස්සාවට ගියා. එතකොට මට වයස අවුරුදු 16යි. එක දවසක් මං ගෙදර ඉද්දී වයසක පිරිමි කෙනෙක් අපේ ගෙදරට ඇවිත් ඇහුවා ‘මුරටැඹ’ සඟරාව සල්ලි ගෙවලා තැපෑලෙන් ගෙදරටම ගෙන්නගන්න කැමතිද කියලා. ඒ මනුස්සයාගේ ඉල්ලීම අහක දාන්න බැරිකමට මායි, අක්කායි ඒකට කැමති වුණා.
කෙහොමවුණත් ඉක්මන්ටම අපි බයිබලේ තියෙන දේවල් ගැන හොයලා බලන්න කැමති වුණා. මගේ අම්මා එයාගේ පුංචි කාලේ ගිහින් තිබුණේ ඕලන්ද සභාවට. හැබැයි බයිබලේ තියෙන දේවල් ඒ පල්ලියේ උගන්නපු දේවල්වලට වඩා කොච්චර වෙනස්ද කියලා අම්මා දැක්කා. ඉතින් මායි, අම්මායි, අක්කායි ඉක්මන්ටම බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. රැස්වීමුත් ගියා. 1949දී මං බව්තීස්ම වුණා. අපේ පවුලෙන් ඉස්සෙල්ලාම බව්තීස්ම වුණේ මං. ඔහොම තව අවුරුදු කීපයක් රස්සාව කෙරුවත් මට ඕනෙ වුණේ තවත් වැඩියෙන් යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න.
ප්‍රචාරකයෝ අඩු පැතිවල සේවේ කරන්න තිබුණ කැමැත්ත
1954දී මං ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා. මට ගිහිල්ලා සේවේ කරන්න පුළුවන් ප්‍රචාරකයෝ අඩු පැත්තක් එහෙම තියෙනවාද කියලා ඒ කාලේ මං දකුණු අප්‍රිකාවේ ශාඛා කාර්යාලයෙන් අහලා බැලුවා. එයාලා මට යන්න කිව්වේ ප්‍රිටෝරියා කියන නගරෙට. මාත් එක්ක එහෙට යන්න තව පුරෝගාමි සහෝදරියක්වත් එයාලා ලෑස්ති කළා. එහේ අපිට නවතින්න පුළුවන් විදිහේ තැනක් හොයාගන්න එක අමාරු වුණේ නැහැ. මට තාමත් මතකයි අපි නැවතිලා හිටපු පැත්තේ විකුණපු රසම රස කෑම ජාතියක්. ඒවාට කියන්නේ කුක්සිස්ටස් (Koeksisters) කියලා. ඒවා හදන්නේ කොණ්ඩ කරලක් වගේ ගොතලා, තෙලේ බැදලා, පැණිවල පොඟවලා. හරිම රසයි, පැණි බේරෙනවා!
මාත් එක්ක සේවේ කරපු සහෝදරී කසාද බැන්දාට පස්සේ ශාඛා කාර්යාලයේ සේවේ කරපු සහෝදර ජෝර්ජ් ෆිලිප්ස් මගෙන් ඇහුවා විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවේ කරන්න කැමතිද කියලා. මං ඒකට එක පයින් කැමති වුණා.
විශේෂ පුරෝගාමියෙක් විදිහට මට පැවරුම ලැබුණේ 1955දී. ඒ හැරිස්මිත් කියන නගරේ. එහෙදී නම් මටයි, මං එක්ක පුරෝගාමි කරපු සහෝදරීටයි නවතින්න හොඳ තැනක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. මොකද ඒ ටවුමේ තිබුණ පල්ලියේ අයට අපි ගැන ආරංචි වෙලා අපි හිටපු ගේ අයිති ගෑණු කෙනාට බල කරලා තිබුණා අපිව එහෙන් යවන්න කියලා.
පස්සේ මට ජොහැන්නස්බර්ග් නගරේ පාක්හර්ස්ට් කියන දිහාට පැවරුමක් ලැබුණා. එහෙදී මට සේවේ කරන්න හම්බුණේ තවත් මිෂනාරි සහෝදරියෝ දෙන්නෙක් එක්ක. පස්සේ එක සහෝදරියක් බැන්දා, අනිත් එක්කෙනාව වෙන දිහාවකට මාරු කෙරුවා. ඒ දවස්වලම අයිලින් පෝටර් කියලා කරුණාවන්ත සහෝදරියක් එයාගේ ගෙදර නවතින්න එන්න කියලා මට කිව්වා. හැබැයි එහේ මටම කියලා කාමරයක් තිබුණේ නැහැ. මං නිදාගත්තෙත් එයාලාගේ ගෙදර කර්ටන් එකකින් වෙන් කරපු පුංචි කෑල්ලක. අයිලින් හරිම කරුණාවන්ත, හැම වෙලේම අනිත් අයව දිරිගන්නපු සහෝදරියක්. ඒ නිසා එයාලාගේ ගෙදර ඉන්න එක මට පොඩ්ඩක්වත් අමාරු වුණේ නැහැ. එයාට ගෙදර ගොඩක් වැඩ රාජකාරී තිබුණත් සත්‍යය ගැන එයාට තිබුණ කැක්කුම දැකලා මං ගොඩක් පුදුම වුණා.
ඊටපස්සේ මට නැඟෙනහිර කේප් පළාතේ උතුරු අලිවාල්වලට පැවරුමක් ලැබුණා. එහෙදී මං සේවේ කෙරුවේ මර්ලින් ලෝරන්ස් (මර්ලි) කියන සහෝදරී එක්ක. වයස විසි ගණන්වල හිටපු අපි දෙන්නාම වයසක සහෝදරියක්ගේ ආදර්ශෙන් හුඟක් දිරිගැන්වුණා. එයා තමයි සහෝදරී ඩොරති. අපි එයාට ආදරේට කිව්වේ ආන්ටි ඩොට් කියලා. එයා තරුණ කාලේ, දවසක් සේවේ යද්දී බල්ලෝ රංචුවක් ඇවිල්ලා එයාව හොඳටම හපලා තිබුණා. හැබැයි එහෙම වුණා කියලා එයාගේ උද්‍යෝගය නම් පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ.
1956දී ගිලියද් පාසැලේ 28වෙනි පන්තියට සහභාගි වෙන්න මර්ලි ගියා. එවෙලේ මටත් හිතුණා ‘අනේ මටත් එයාත් එක්ක ගිලියද් යන්න තිබුණා නං’ කියලා. කෙහොමවුණත් ආන්ටි ඩොට් මාව හොඳට බලාගත්තා. අපි දෙන්නාගේ ලොකු වයස් පරතරයක් තිබුණත් අපි හොඳ යාළුවෝ වුණා.
පස්සේ මටත් මර්ලි වගේම ගිලියද් පාසැලට යන්න ආරාධනාවක් ලැබුණා. එදා මට දැනුණ සතුට ඔයාලට හිතාගන්න පුළුවන්ද! මං ගිලියද් යන්න කලින් මාස අටක් විතර නයිජල් කියන ටවුමේ කැතී කුක් කියන සහෝදරී එක්ක එකට සේවේ කෙරුවා. එයා ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු කෙනෙක්. පාසැල ගැන එයා මට කියපු දේවල් නිසා මං එහේ යන්න හිටියේ ඉස්පාසුවක් නැතුව. ඉතිං මං 1958 ජනවාරි මාසේ නිව්යෝක්වලට ගියා.
පුහුණුව ලබන්න තිබුණ කැමැත්ත
ගිලියද්වල මං නතර වෙලා හිටපු කාමරේ තව සහෝදරියෝ දෙන්නෙක් හිටියා. එයාලා තමයි සැමෝවන් ජාතික ටියා අලුනි සහ මවුරි කෙනෙක් වුණ අයිවි කාවේ. මං දකුණු අප්‍රිකාවේ ඉද්දී නං කලු සුදු භේදය නිසා ආණ්ඩුවෙන් සුදු ජාතිකයන්ව අනිත් අයගෙන් වෙන් කරලයි තිබ්බේ. ඉතිං මේ සහෝදරියෝ දෙන්නත් එක්ක එකට කාමරේ ඉන්න එක මට අලුත් දෙයක් වුණා. ඉක්මන්ටම මං ඒ දෙන්නට ගොඩක් කිට්ටු වුණා. ඒ විතරක් නෙමෙයි එක එක ජාතීන්වල අයත් එක්ක එකම පන්තියක ඉන්න ලැබුණ එකටත් මං ගොඩක් සතුටු වුණා.
සහෝදර මැක්ස්වල් ෆ්‍රෙන්ඩ් ගිලියද් පාසැලේ හිටපු එක උපදේශකයෙක්. එයා අපිට ඉගැන්නුවේ හරිම වෙනස් විදිහකට. උගන්නද්දී එයා ලයිට් තුනක් පාවිච්චි කෙරුවා. ඒවා නම් කරලා තිබුණේ කටහඬේ “ශබ්දය,” “ස්වරය” සහ “වේගය” කියලා. ශිෂ්‍යයෙක් පැවරුමක් කරද්දී ඒකේ මොනා හරි අඩුවක් තිබ්බොත් එයා ඒ අඩුව පෙන්වන ලයිට් එක පත්තු කරනවා. මං ගොඩක් ලැජ්ජාශීලී කෙනෙක් නිසා ඇත්තටම කිව්වොත් මට තමයි ඔය ලයිට් වැඩි හරියක් පත්තු වුණේ. සමහර වෙලාවට මං ඇඬිලත් තියෙනවා. ඉතිං පැවරුමක් කරන්න වෙද්දී මං ඉන්නේ මර බයෙන්. ඒත් සහෝදර ෆ්‍රෙන්ඩ් හරිම හොඳ කෙනෙක්. මං එයාට හරි ආදරෙයි. සමහරදාට එක පන්තියක ඉඳලා අනිත් පන්තියට යන්න කලින් පන්ති කාමරේ අස් කරකර ඉද්දී එයා මට කෝපි එකක් හදන් ඇවිත් දීලත් තියෙනවා.
මාස කීපයක් යද්දී මාව කොහේට දායිද කියලා මං හිතහිත හිටියා. මාත් එක්ක කලින් සේවේ කරපු මර්ලිව ගිලියද් පාසැලෙන් පස්සේ පේරුවලට යවලා තිබුණා. මර්ලිත් එක්ක සේවේ කරකර හිටපු සහෝදරී කසාද බඳින්න හිටපු නිසා මර්ලි මට කිව්වා සහෝදර නේතන් නෝර්ගෙන් අහන්න කියලා එයා වෙනුවට මාව පේරුවලට යවන්න පුළුවන්ද කියලා. සහෝදර නෝර් තමයි ඒ කාලේ සංවිධානේ වැඩකටයුතු බලාගත්තේ. එයා සති කීපයකට සැරයක් අපේ පාසැල පැත්තේ එන නිසා එයාත් එක්ක ඒ ගැන කතා කරන්න එච්චර අමාරු වුණේ නැහැ. කෙහොමහරි අන්තිමට මට පැවරුම ලැබුණේ පේරුවලට!
කඳුකරයේ සේවය
ආයෙත් මර්ලි එක්ක එකට සේවේ කරන්න ලැබුණ එක ගැන මං හිටියේ පුදුම සතුටකින්. අපි සේවේ කෙරුවේ පේරුවල ලීමා කියන නගරේ. ගිය අලුතම ස්පාඤ්ඤ භාෂාව දක්ෂ විදිහට කතා කරන්න බැරි වුණත් මුල ඉඳන්ම හොඳ බයිබල් පාඩම් හොයාගන්න මට පුළුවන් වුණා. පස්සේ මර්ලිවයි මාවයි අයකුචෝ කියන කඳුකර පැත්තට යැව්වා. ඇත්තම කිව්වොත් ඒ පැවරුම නං හරිම අමාරුයි. මට ස්පාඤ්ඤ භාෂාව ටිකක් පුළුවන් වුණත් එහේ හිටපු හුඟක් අය කතා කළේ කෙචුවා භාෂාව. අනික ඒ කඳුකර පැත්තට හුරු වෙන එකත් අපි දෙන්නාට ලේසි වුණේ නැහැ.
අයකුචෝවලදී මට හරි හමං සේවේයක් කරගන්න බැරි වුණා කියලා මට දැනුණා. මට වෙලාවකට හිතුණා ඒ පැත්තේ මිනිස්සු කවදා සත්‍යයේ දියුණු වෙයිද කියලා. ඒත් දන්නවාද, දැන් අයකුචෝවල ප්‍රචාරකයෝ 700කටත් වඩා ඉන්නවා. අපේ පොත් පත් කෙචුවා භාෂාවට පරිවර්තනය කරන්න ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලෙකුත් එහේ පිහිටවලා තියෙනවා.
කාලයක් ගියාට පස්සේ මර්ලිත් චාරිකා සේවය කරකර හිටපු රමොන් කස්තීයෝව කසාද බැන්දා. 1964දී රමොන් ගිලියද් පාසලේ මාස 10ක පුහුණුවකට ගියා. ඒ පුහුණු පාසලට ෆු ලෝන් ලියෑං කියන තරුණ සහෝදරයත් ඇවිත් හිටියා. එයා මාත් එක්ක ගිලියද් පාසලේ හිටපු යාළුවෙක්. එයා ඒ වෙද්දී සේවේ කරකර හිටියේ හොංකොංවල. ඒත් අමතර පුහුණුවකට තමයි ආයෙත් ගිලියද්වලට කතා කරලා තිබුණේ. a ෆූ ලෝන්, රමොන්ගෙන් මං ගැන අහලා තිබුණා. පස්සේ අපි දෙන්නාට දෙන්නා ලියුම් ලිව්වා.
අපි ලියන්න පටන්ගත්ත මුල් කාලේදීම වගේ ෆූ ලෝන් මට කිව්වා අපි මෙහෙම ලියන්නේ නිකම්ම නිකං යාළුකමට නෙමේ කියලා. ඒ කාලේ හොංකොංවල හිටියා හැරල්ඩ් කිං කියලා මිෂනාරි සහෝදරයෙක්. එයා තමයි ෆූ ලෝන් මට එවන ලියුම් තැපැල් කළේ. ඒ ලියුම් මට එවද්දී සහෝදර හැරල්ඩ්, ලියුම් කවරේ පොඩි පින්තූරයක් හරි පොඩි ජෝක් එකක් හරි ලියලා එවනවා. “මෙහෙම ලියලා හරියන්නෑ, තව ලියලා එවන්න කියලා මං කියන්නංකෝ.” ඔන්න ඔය වගේ දේවල් තමා ලියුම් කවරවල ලියලා තිබුණේ.
ලියන්න පටන් අරන් මාස 18කට පස්සේ අපි දෙන්නා කසාද බඳින්න තීරණේ කෙරුවා. ඉතිං පේරුවල අවුරුදු හතක් තිස්සේ කරපු සේවේට මං සමු දුන්නා.
හොංකොංවල අලුත් ජීවිතයක්
1965 නොවැම්බර් 17වෙනිදා අපි දෙන්නා බැන්දා. හොංකොංවල අලුත් ජීවිතේට මං හුඟක් ආස වුණා. අපි එහේ ශාඛා කාර්යාලයේ හිටියේ තව ජෝඩු දෙකක් එක්ක. ෆූ ලෝන් ශාඛා කර්යාලයේ පරිවර්තන වැඩවලට උදව් වෙද්දී මං සේවේ ගියා. එහේ අය කතා කළේ චීන කැන්ටනීස් භාෂාව. ඒ භාෂාව ඉගෙනගන්න එක අමාරු වුණත් අනිත් මිෂනාරි සහෝදරියන් දෙන්නායි, මගේ මහත්තයායි ඉවසීමෙන් මට උදව් කළා. කැන්ටනීස් ඉගෙනගන්න ගමන්ම මං පොඩි ළමයි කීපදෙනෙක් එක්ක බයිබලේ පාඩම් කෙරුවා. ඒක මට උදව් වුණා මට දැනුණ පීඩනය ටිකක් අඩු කරගන්න.
අවුරුදු කීපයකට පස්සේ අපි දෙන්නා හොංකොංවල ක්වුන් ටොං කියන පැත්තේ තියෙන මිෂනාරි නිවසකට ගියා. එහෙදී ෆු ලෝන් අලුතින් එන මිෂනාරීන්ට කැන්ටනීස් භාෂාව ඉගැන්නුවා. b මං සේවේ ගියා. එහේ සේවේට මං කොච්චර ආස වුණාද කියනවා නං සමහරදාට ගෙදර එන්න හිතුණෙත් නැහැ!
1968දී බයිබල් පාඩම් කරන්න ‘සදාකාල ජීවනයට මඟ පෙන්වන සත්‍යය’ කියන අලුත් පොත අපිට හම්බුණා. ඒක කලින් අපි පාවිච්චි කරපු ‘දෙවි සැබෑ බව ඔප්පු වේවා!’ (ඉංග්‍රීසියෙන්) කියන පොතට වඩා හරි සරලයි. බයිබලේ ගැන, දෙවියන් ගැන එච්චර දන්නේ නැති අය එක්ක පාඩම් කරන්න අලුත් පොත හරිම ෂෝක්.
ගොඩක් සරල නිසා බයිබල් ශිෂ්‍යයොත් හොඳට උත්තර දුන්නා. ඒ නිසා මං හිතුවේ හරිම ඉක්මන්ට එයාලා බයිබලේ තියෙන සත්‍යය පිළිගත්තා කියලා. හැබැයි මං වැරදියි. මාත් එක්ක පාඩම් කරපු එක ගෑණු කෙනෙක් ‘සත්‍යය’ පොත සම්පූර්ණයෙන්ම ඉවර කළා. පුදුමේ කියන්නේ පොත ඉවර වෙලත් එයා දෙවියන්ව විශ්වාස කෙරුවේ නැහැ. ඒකෙන් මං ඉගෙනගත්තා, පාඩමක් කරද්දී නිකම්ම ප්‍රශ්නෝත්තර ක්‍රමේට කරනවාට වඩා වැඩි දෙයක් මං කරන්න ඕනෙ කියලා. ශිෂ්‍යයන්ගේ හිතේ තියෙන දේ එළියට ගන්න මං තව ටිකක් වැඩියෙන් එයාලා එක්ක කතා කරන්න පුරුදු වුණා.
ක්වුන් ටොංවල අවුරුදු කීපයක් හිටියාට පස්සේ අපි ආයෙත් ශාඛා කාර්යාලයට ගියා. එහෙදී ෆූ ලෝන් ශාඛා කර්යාල කමිටු සාමාජිකයෙක් විදිහට සේවේ කළා. මං අවුරුදු ගාණක්ම බෙතෙල් එක පිරිසිදු කරන වැඩවල හවුල් වුණා. අමුත්තන්ව පිළිගැනීමේ අංශෙත් වැඩ කළා. සමහර වෙලාවට සංවිධානේ රහසිගත පැවරුම්වලට ෆූ ලෝන්ට තනියම යන්න සිද්ධ වුණා. හැබැයි ඒ වගකීම්වලට එයාට උදව් කරන්න ලැබුණ එක ගැන මට හුඟක් සතුටුයි.
හිතුවේ නැති වෙනසක්
2008දී එක රැයකින් මගේ ජීවිතේම කණපිට පෙරළුණා. පැවරුමකට ගිහින් හිටපු වෙලාවේ මගේ ආදරණීය ෆූ ලෝන් හදිස්සියේම නැති වුණා. එතකොට යේසුස්ගේ මරණය සිහි කිරීම සමරන්න ඔන්න මෙන්න තිබුණේ. මට දැනුණේ කියාගන්න බැරි තරම් දුකක්. හැබැයි ඒ වෙලාවේ සහෝදර සහෝදරියෝ තමයි මට හයියක් වුණේ. සිහි කිරීමේ දේශනේ දෙන වෙලාවේ මං අඬන්නේ නැතුව හිටියේ හරිම අමාරුවෙන්. එහෙම කරන්න පුළුවන් වුණේ එදා ඇවිත් හිටපු අලුත් කෙනෙක්ට බයිබලේ පෙරළන්න උදව් කරකර හිටපු නිසා. ෆූ ලෝන් හුඟක් ආස කරපු බයිබල් පදයක් ඒ කාලේ මට ලොකු ශක්තියක් වුණා. ඒකේ කියන්නේ “යෙහෝවා දෙවි වන මම ඔබේ දකුණතින් අල්ලාගෙන සිටින්නෙමි. මම ඔබේ උපකාරයට සිටින්නෙමි” කියලා.—යෙසායා 41:13.
ෆූ ලෝන් නැති වෙලා අවුරුදු හතකට පස්සේ මගේ සෞඛ්‍යය ගැන හිතලා පහසුකම් වැඩි, වෙන ශාඛා කාර්යාලයකට මාව මාරු කෙරුවා. ඉතිං 2015දී මං දකුණු අප්‍රිකාවට ගියා. මෙහේ ශාඛා කාර්යාලය තියෙන්නේ 1947දී මට මුලින්ම සත්‍යය ලැබුණ කාලේ මං හිටිපු දිහාට කිට්ටුව.
මං අවුරුදු ගාණක් යෙහෝවාට සේවේ කළේ හරිම සතුටින්. සේවේ කරන්න මට තිබුණ ඒ කැමැත්තට, ඒ ආසාවට යෙහෝවා හුඟක් ආශීර්වාද කළා. මාත් එක්ක බයිබලේ පාඩම් කරපු ගොඩක් අය දැන් විශ්වාසවන්තව දෙවියන්ට සේවේ කරනවා. එයාලා තාමත් මාත් එක්ක කතා කරනවා. යෙහෝවාට සේවේ කරන්න අපි කරන පුංචිම දේකට වුණත් ඔහු ආශීර්වාද කරන විදිහ මං හොඳටම අද්දැක්කා. උදාහරණෙකට 1958 වෙද්දී පේරුවල ප්‍රචාරකයෝ හිටියේ 760ක් විතර. හැබැයි 2021දී ඒ ගාණ 1,33,000ක්. ඒ විතරක් නෙමෙයි 1965දී හොංකොංවල ප්‍රචාරකයෝ හිටියේ 230යි. ඒත් 2021දී ඒ ගාණ 5,565ක් වෙලා.
දැන් මගේ වයස නිසා කලින් වගේ සේවේ කරන්න මට බැහැ. හැබැයි යෙහෝවාට සේවේ කරන්න මට තිබුණ ඒ ආසාව තාමත් එහෙම්මයි! ඒ නිසා පාරාදීසේදී තව වැඩියෙන් සේවේ කරන්න මං බලන් ඉන්නේ පුදුම ආසාවකින්. එදාටත් මං යෙහෝවාට කියනවා “මම කැමතියි” කියලා.
a සහෝදර ෆූ ලෝන් ලියෑං සත්‍යට ආපු විදිහ ගැන දැනගන්න 1974 ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ (ඉංග්‍රීසියෙන්) 51වෙනි පිටුව බලන්න.
b ක්වොන් ටොංවලදී සහෝදර ෆූ ලෝන් ලබපු අද්දැකීමක් ගැන දැනගන්න 1974 ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ’ (ඉංග්‍රීසියෙන්) 63වෙනි පිටුව බලන්න.