යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ගැලවීම ගැන ස්ථිර විශ්වාසෙන් ඉන්න!
යෙහෝවා දෙවියන්ගේ ඉවසීමට සීමාවක් තියෙනවා. ළඟදීම බොරු ආගම් විනාශ වෙනවා. ජාතීන්ගේ එකතුවක් දෙවියන්ගේ සෙනඟට ප්‍රහාරයක් එල්ල කරනවා. හර්–මගෙදොන් යුද්ධයේදී යෙහෝවා දුෂ්ටයන්ව පොළොවෙන් අතුගාලා දානවා. අපි මේ දේවල් වෙන තුරු බලාගෙන ඉන්නේ නොඉවසිල්ලෙන්.
මහත් පීඩාව කාලේදී සිද්ධ වෙන හැම දෙයක් ගැනම අපි දන්නේ නැහැ. උදාහරණෙකට ඒක පටන්ගන්නේ කවදාද? බොරු ආගම්වලට පහර දෙන්න ආණ්ඩු ඉදිරිපත් කරන්නේ මොන වගේ හේතුද? යෙහෝවාගේ සෙනඟට ජාතීන් කොච්චර කාලයක් පහර දෙයිද? කොයි විදිහට පහර දෙයිද? හර්–මගෙදොන් යුද්ධයේදී දුෂ්ටයන්ව යෙහෝවා විනාශ කරන්න පාවිච්චි කරන්නේ මොන ක්‍රමද? මේ ගැන අපි දන්නේ නැහැ.
හැබැයි අනාගතේට විශ්වාසෙන් සහ ධෛර්යයෙන් මූණ දෙන්න අපිට ඕනෙ කරන හැම තොරතුරක්ම බයිබලයේ තියෙනවා. උදාහරණෙකට අපි දන්නවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” අග්ගිස්සේ කියලා. (2තිමෝ 3:1) බොරු ආගම්වලට පහර දෙන කාලය යෙහෝවා “කෙටි කරනවා” කියලත්, ඒ නිසා සැබෑ ආගම විනාශ වෙන්නේ නැහැ කියලත් අපි දන්නවා. (මතෙ 24:22) යෙහෝවා ඔහුගේ සෙනඟව ගලවාගන්නවා කියලත් අපි දන්නවා. (2පේතෘ 2:9) ඒ වගේම අපි දන්නවා දුෂ්ටයන්ව විනාශ කරලා මහත් සමූහයව බේරගන්න යෙහෝවා තෝරගෙන තියෙන්නේ ධර්මිෂ්ඨ වගේම බලවත් කෙනෙක්ව කියලා.—එළි 19:11, 15, 16.
ඉස්සරහට වෙන දේවල් දකින මිනිස්සු ‘බයෙන් ක්ලාන්ත වෙලා ඇද වැටෙයි.’ ඒත් අපි යෙහෝවා අතීතයේදී ඔහුගේ සෙනඟව බේරගත්ත විදි ගැන වගේම ඔහු අනාගතය ගැන කියලා තියෙන දේවල් කියවලා ගැඹුරින් කල්පනා කරන එක අත්‍යවශ්‍යයි. එහෙම කෙරුවොත් ‘ධෛර්යය උපදවාගෙන නැඟිටින්නත් අපේ හිස් ඔසවන්නත්’ අපිට පුළුවන්. මොකද අපේ ගැලවීම අත ළඟයි!—ලූක් 21:26, 28.